ඉතිහාසයේ පළමුවරට ක්‍රීඩා ඇමැති ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගෙන් කරුණු විමසයි | දිනමිණ

ඉතිහාසයේ පළමුවරට ක්‍රීඩා ඇමැති ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගෙන් කරුණු විමසයි

නිලධාරීන්ගෙන් සහයෝගය ලැබුණේ නෑ සාග් ගිය ක්‍රීඩක ක්‍රීඩිකාවෝ ඇමැති හමුවේ කියති

නේපාලයේ පැවැති 13 වැනි දකුණු ආසියානු ක්‍රීඩා උළෙලට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් එක්වූ බොහෝ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට තරග බලධාරීන්ගෙන් සැලකිය යුතු සහයෝගයක් සහ අවධානයක් නොලැබුණු බවත්, ලැබිය යුතු පහසුකම් නිසියාකාරව ලබාදෙනු වෙනුවට බලධාරීන් විසින් විශාල මූල්‍ය අක්‍රමිකතා සිදුකරන ලද බවත් ක්‍රීඩා උළෙලට එක්වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් අධ්‍යාපන, ක්‍රීඩා හා තරුණ කටයුතු ඇමැති ඩලස් අලහප්පෙරුම මහතාට පවසා ඇතැයි වාර්තා වෙයි.

සාග් ක්‍රීඩා උළෙලට එක්වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට තම අත්දැකීම්, තමන්ට මුහුණදීමට සිදුවූ අභියෝග, අසාධාරණකම් සහ අක්‍රමිකතා ඉදිරිපත් කිරීම සඳහා ක්‍රීඩා ඇමැති ඩලස් අලහප්පෙරුම මහතා විසින් අවස්ථාව ලබාදී තිබූ අතර ක්‍රීඩක ක්‍රීඩිකාවන් එම කරුණු පවසා ඇත්තේ එහිදීය.

ක්‍රීඩා උපකරණ, ඇඳුම් පැළඳුම් ආදියට මුදල් වෙන්කර තිබූ නමුත් නිසියාකාරව එම ප්‍රතිලාභ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට හිමි වී නොමැති බවද මෙහිදී අනාවරණය වී ඇති අතර බලධාරීන් විසින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් කෙරෙහි දක්වන ලද අනවධානය, නොසැලකිල්ල හා මන්දගාමී බව නිසා යහපත් මානසික ශක්තියක් ඇතිව ආත්ම විශ්වාසයෙන් තරගවලට මුහුණ දීමට බොහෝ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට අවස්ථාවක් නොලැබුණු බවත් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ මෙහිදී අමාත්‍යවරයා හමුවේ සඳහන් කර ඇත.

ක්‍රීඩා අමාත්‍යාංශයේ පැවැති මේ විශේෂ හමුවට ක්‍රීඩා උළෙලට ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට පමණක් එක්වීමට අවස්ථාවක් ලබාදී තිබීම විශේෂත්වයක් වන අතර මෙලෙස ක්‍රීඩා විෂය භාර ඇමැතිවරයකු සමඟ ඉතා ස්වාධීන ව එකිනෙකාගේ අදහස්, තරගාවලිය තුළ තමන් මුහුණ දුන් අත්දැකීම් ඇතුළු සියලු තොරතුරු හුවමාරු කරගැනීමට අවස්ථාවක් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට හිමිවූයේ ඉතිහාසයේ පළමු වරටය.

ක්‍රීඩා දිවිය තුළ තමන්ට මුහුණ දෙන්නට සිදුවන අභියෝග, අසාධාරණකම් හා අක්‍රමිකතාවයන් නොබිය ව අනාවරණය කරන ලෙසත්, එවැනි ක්‍රියාකලාපයේ නිරතවන පුද්ගලයන්ගේ තරාතීරම නොබලා ඔවුන්ගෙන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැකගැනීමට තමා නිරන්තරයෙන් පෙනී සිටින බවත් අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කර ඇතැයි වාර්තා වෙයි.

ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් රජය විසින් නොමිළේ ලබාදෙන ලද පෝෂණ ආධාරය නැවතත් ලබාදීමටත්, පුහුණු කාලසීමාව තුළ වෘත්තීය දීමනාවක් ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙත ලබාදීමට ද මෙහි දී ඇමැතිවරයාගේ එකඟතාව පළවී තිබේ.

ශ්‍රී ලංකාවේ රාජ්‍ය නායකයකු ක්‍රීඩා ආර්ථිකයක් (Sports Economy) ගැන, ක්‍රීඩා විශ්වවිද්‍යාල ගැන කතාකරන තත්ත්වයට පත්ව සිටීම මෙරට ක්‍රීඩාවට යහපත් අනාගතයක් උදාකිරීමේ සුබ සලකුණු බව ද, දැක්මක් ඇතිව ඉලක්ක හඹායාමේ හැකියාව ඇති ජනාධිපතිවරයෙක් සමඟ විෂය භාර අමාත්‍යවරයා වශයෙන් ඇමැති පුටුවෙන් පිට්ටනියට බැස ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට සවන් දෙන තැනට පැමිණීමට තමන් සූදානම් බව ද අමාත්‍යවරයා මෙහි දී අවධාරණය කර ඇති අතර මෙලෙස ක්‍රීඩා ඇමැතිවරයා විසින් මෙරට ක්‍රීඩා ක්ෂේත්‍රය ගැන දක්වන උද්යෝගය අතිශයින් අගය කරන බව ද එහිදී ක්‍රීඩක ක්‍රීඩිකාවෝ පවසා තිබේ.

 

නව අදහස දක්වන්න