රන්ජන්ගේ හඬපට අධිකරණයේ ස්වාධීනත්වයට ප්‍රහාරයක් | දිනමිණ


 

රන්ජන්ගේ හඬපට අධිකරණයේ ස්වාධීනත්වයට ප්‍රහාරයක්

ජනපති කොමිසමකින් විමර්ශන කළ යුතුයි අගමැති අවධාරණය කරයි

පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාගේ හඬපට ඔස්සේ හෙළිවන කරුණුවලින් අධිකරණයේ ස්වාධීනත්වයට දැඩි පහරක් එල්ලව තිබෙන බැවින් ජනාධිපති කොමිසමක් පත්කර ඒ සම්බන්ධයෙන් සොයා බැලිය යුතු බව අගමැති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය. අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කරලීම සම්බන්ධයෙන් ආණ්ඩුවට වගකීමක් තිබෙන බව පැවසූ රාජපක්ෂ මහතා, එමෙන්ම අධිකරණය සම්බන්ධයෙන් හෙළිදරව් කෙරුණු කරුණු ගැන අගවිනිසුරුවරයා පරීක්ෂණ පැවැත්විය යුතු බවත් පැවසීය.

අගමැති මහින්ද රාජපක්ෂ මහතා මෙම අදහස් පළ කළේ පුවත්පත් කර්තෘවරුන් සමඟ අරලියගහ මන්දිරයේ දී ඊයේ (9) පැවැති හමුවට එක් වෙමිනි. මෙම හඬපට නිකුත් වීම නිසා පසුගිය කාලයේ අධිකරණයට කෙතරම් බලපෑමක් වී ඇත් ද යන්න හෙළිදරව් වන බව පැවසූ රාජපක්ෂ මහතා එම තීන්දු සම්බන්ධයෙන් ජනතාව තමන්ගෙන් ප්‍රශ්න කරමින් සිටින බවත් ප්‍රකාශ කළේය.

අධිකරණය කෙරෙහි ජනතාවගේ පවතින විශ්වාසය පළුදු වීම එතරම් යහපත් නොවන බවත් එසේ වූ විට අධිකරණයේ සෑම තීන්දුවක් ගැනම ජනතාව සැකයෙන් බලන්නට හුරු වන බවත් රාජපක්ෂ මහතා පෙන්වා දුන්නේය. මෙම කාරය දේශපාලන පළිගැනීම් සඳහා සිදුකළ එකක් ලෙසට ලඝු කළ නොහැකි බවත් එය අධිකරණයේ ස්වාධීනත්වයට කෙරුණු බලපෑමක් ලෙස සැලකිය යුතු බවත් අධ්‍යාපන, ක්‍රීඩා හා තරුණ කටයුතු ඇමැති ඩලස් අලහප්පෙරුම මහතා මෙහිදී ප්‍රකාශ කළේය.

හිටපු අධිකරණ ඇමැති විජයදාස රාජපක්ෂ මහතා කළ හෙළිදරව්ව අනුව මෙය රන්ජන් රාමනායක මහතා පමණක් නොව හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ, සරත් ෆොන්සේකා, පාඨලී චම්පික රණවක, අජිත් පී පෙරේරා, අනුර කුමාර දිසානායක ඇතුළු පිරිස එක්ව රාජ්‍ය අනුග්‍රහයෙන් විපක්ෂය මර්දනය කිරීමට කළ වැඩපිලිවෙළක් බව විදුලි බල රාජ්‍ය ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ මහතා මෙහිදී පැවසීය.

ඇමැතිවරුන් වන බන්දුල ගුණවර්ධන, කෙහෙළිය රඹුක්වැල්ල , ෂෙහාන් සේමසිංහ, පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහත්වරු ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක් වූහ.

ගාමිණී ජයලත්

නව අදහස දක්වන්න