සෞඛ්‍ය ව්‍යාපෘති සඳහා ගෝලීය අරමුදලෙන් යූරෝ මිලියන 20ක් | දිනමිණ

සෞඛ්‍ය ව්‍යාපෘති සඳහා ගෝලීය අරමුදලෙන් යූරෝ මිලියන 20ක්

ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ගුණාත්මක භාවය හා සෞඛ්‍ය දර්ශක ඉහළ නැංවීමට 2020-2022 සෞඛ්‍ය ව්‍යාපෘති සඳහා යුරෝ මිලියන 20ක මුදලක් ලබාදීමට ගෝලීය අරමුදල එකඟතාවය පළකර තිබේ.
 
ගෝලීය අරමුදලේ ව්‍යාපෘති අධ්‍යක්ෂිකා පුබුදු ද සොයිසා මහත්මිය සහ අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය අතර සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී පසුගියාද පැවති හමුවකදී එම තොරතුරු අනාවරණය විය. 
 
දිවයින තුල ක්ෂය රෝගය, මැලේරියාව හා ලිංගශ්‍රිත රෝග පාලනය කිරීමට 2003 වසරේ සිට වසර 18ක පමණ කාලයක් පුරා ගෝලීය අරමුදල ශ්‍රී ලංකාවට රුපියල් මිලියන 18.3ක මූල්‍යාධාර මෙතෙක් සපයා තිබේ.
 
මෙම ව්‍යාපෘතියේ 2019-2021 ව්‍යාපෘතිය ද මේ වන විට ක්‍රියාත්මකය. සෞඛ්‍ය අමාත්‍යාංශය, ක්ෂය රෝගය, මැලේරියාව හා ලිංගාශ්‍රිත රෝග පාලනය කිරීමට හා තුරන් කිරීමට ක්‍රියාත්මක කර ඇති ව්‍යාපෘති සඳහා සහයෝගය දැක්වීම ද ගෝලීය අරමුදලේ ව්‍යාපෘතිය යටතේ සිදු කෙරේ. වසර 2025 වන විට එච්.අයි.වී ඒඩ්ස් රෝගය මෙරටින් තුරන් කිරීමටද, වසර 2030 දී ක්ෂය රෝගය මෙරටින් තුරන් කිරීමට ද මෙම ව්‍යාපෘතිය මගින් මුදල් ආධාර සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත ලබා දෙනු ඇත.

නව අදහස දක්වන්න