සැඟ­වුණු සොඳුරු මන්දාරම් නුවර | දිනමිණ

සැඟ­වුණු සොඳුරු මන්දාරම් නුවර

සුමුදු චතුරාණි ජයවර්ධන

නුවරඑළිය බොහෝ දෙනාගේ ජනප්‍රියම ගමනාන්තයක්. පුංචි එංගලන්තයේ සංචාරය කරන බොහෝ දෙනා ඒ අවට ඇති ජනප්‍රිය ස්ථාන කිහිපය පමණක් බලා සීතලෙන් සැනහී නැවත ගම්රට බලා ඒම සාමාන්‍ය දෙයක්. ඒත් පරිසරයේ අනේකවිධ සොඳුරු තැන් අපමණයි. හොඳ දේවල් පහසුවෙන් නොලැබෙන බව ඔබ දන්නවා. මිහිකතේ සොඳුරු ම තැන් ඒ තරම් පහසුවෙන් නැරඹිය හැකි ලෙස පිහිටා නෑ. ගොඩක් සුන්දර දේවල් තියෙන්නේ සැඟවීලා. පරිසරයට වගේම ජීවිතයටත් ඒ ධර්මය පොදුයි.

අද මම ඔබට කියන්නට යන්නේත් සැඟව ඇති මේ ලොව අතිශය සුන්දර ම ස්ථානයක් ගැන. මන්දාරම් නුවර තවමත් බහුතර සංචාරකයන්ගේ ජනප්‍රිය ගමනාන්තයක් නොවෙයි. ඒත් ඔබ මගෙන් ඇහුවොත් දිව්‍ය ලෝකේ ඔබ හිතන විදියට මොනවගේ තැනක්ද කියලා! මම දෙවරක් නොසිතා දෙන පිළිතුර තමයි; මන්දාරම් නුවර වගේ ඇති කියලා. ඒ තරම් ම මේ පරිසරයත්, එහි වෙසෙන මිනිසුනුත් සුන්දරයි.

සංචාරය කරන ඔබ දන්නවා, පරිසරයේ සුන්දරත්වය නරඹන්නට හොඳ ම වෙලාව අලුයම බව. මුළු පරිසරය ම නැවුම්; පිනිබිඳු තණපත් අග දිලිසෙන්නේ ජීවිතයට වරම් ඉල්ලමින්. ඒත් හිරු පායා එද්දී ඒ පිනි බිඳුවලට ජීවිතය හැරදා යන්න වෙනවාමයි. නුවරඑළිය හරහා කඳපොළ හයිෆොරස්ට් වතුයාය මැදින් අපි මන්දාරම් නුවරට ළඟා වෙද්දි උදා ඉර තුරු අගිසි සිපගන්නට සූදානම් වෙමින් සිටියේ.

ඒ තරම් ම උදෑසනින් අපි මන්දාරම් නුවරට ආවේ හිරු නැඟ එන සුන්දර දසුන තේ යාය මැද සිට නරඹන්නයි. මන්දාරම් නුවර යන ඔබ ඔබේ වාහනයේ ධාවන තත්ත්වය, ඉන්ධන ප්‍රමාණය, ටයර්වල තත්ත්වය ආදිය ගැන සැලකිලිමත් විය යුතුමයි. මන්දාරම් නුවරට යන මාර්ගය දෙපස තේ යාය මනස්කාන්ත දර්ශනයක් සේ අපේ නෙත පින වුවත් එය දලු කඩන, වල් ගලවන අපේම සහෝදරයන්ගේ ලේ කඳුළු මිශ්‍ර වූ වැඩබිමක්. උදෑසනම තේ දලු මල්ල පිටේ එල්ලා ගත් ඒ අපේම සහෝදරියන්ට සිනාවකින් සංග්‍රහ කරන්නට අමතක කරන්න එපා. ඔවුන් ඔබට අතවනමින් මිත්‍රශීලී බව ප්‍රකට කරද්දී අහක බලාගෙන නම් යන්න එපා.

වාහන දෙකක් මාරු වීමට තරම්වත් පළල් නොවන මාර්ගයේ ඔබ පරිස්සමින් රිය පැදවිය යුතුයි. පල්ලම්, ඒ පල්ලම් ඉවර වෙන ඉනික්බිති කඳු, මාර්ගය පුරා හෑරුණු වළවල් මෙහි බහුලයි. මේ දුෂ්කර මාර්ගය අවසන් කර ඉපැරණි මන්දාරම් නුවර තේ කර්මාන්ත ශාලාව අසලින් ඔබට වාහනය නවතා සොබාදහමේ කොටසක් වීමට නික්ම යා හැකියි.

මන්දාරම් නුවර අපේ හිතමිතුරු ගැමියන් හරිම සංග්‍රහශීලී, කරුණාවන්ත අය. ඔවුන් තම නිවෙසින් තේ කෝප්පයක් බී යෑමට අරාධනා කරන්නේ දෙපාරක් නොසිතා. හැබැයි ඒ කිසිවක් ම බලාපොරොත්තුවෙන් නම් නොවෙයි; ඔවුන්ට අවැසි ඔබේ මිත්‍රශීලී බව ම පමණයි. ඔවුන් ඔබෙන් එක ම ඉල්ලීමක් කරනවා; ඒ දිය ඇලිවලින් නාන්න එපා කියලයි. ඒකට හේතුව ‍ගමේ හැමෝම ඒ දිය ඇලිවලින් ගලා බසින ජලය පානයට ගැනීමයි. ඔවුන් කිව්වත් නොකිව්වත් ඔබ ඒ සුන්දර පරිසරය නම් දූෂණය නොකරන්නට සිතට ගත යුතුයි.

හෙල්මලු ක්‍රමයට වගා කරන ලද වගා බිම් පසු කරමින් අප කන්ද මුදුනට ම ළඟා වුණා. ඒ පරිසරය විස්තර කරන්නට තරම් මා සතු වාග් කෝෂය පොහොසත් නෑ. කුරුල්ලන් ඔබට ඔච්චම් කරමින් කන් අසලින් ම විවිධ නාද නඟමින් පියඹා යන්නේ ඒ පරිසරයට ඔබ ආගන්තුකයකු නොකරමින්. විවිධ පැහැයෙන් යුතු ගඳපාන මල් පරිසරය ම විචිත්‍රවත් කරනවා. මාර්ගය පුරා නෙක පැහැයෙන් යුතු මල් පිපිලා. ඒ විචිත්‍රත්වය කොහොමද වචනවලට නඟන්නේ. මට තවමත් සිතාගත නොහැකි තරම්.

ඔබ යන මාර්ගයේ මකුළුවන් ඔවුන්ගේ සුන්දර නිවෙස් තනා තිබෙනවා. ඒවාට පිනිබිඳු වැටී හිරු එළියෙන් දිස්න දෙමින් අපූරු රටා මවනවා. ඔවුන්ගේ පැවැත්මට බාධා කරන්නට නම් එපා; පුළුවන් තරම් ඒවා මඟ හැර යන්න.

අප ගමන් කරමින් සිටින්නේ පිදුරුතලාගල පහළම පෙදෙසකින්. පසෙකින් පිදුරුතලාගල කන්දත්, තවත් පසෙකින් රන් කොටියාගල බොක්කත් ඔබට දිස්වේවි. කඳුවැටි මැදින් ඇති අඩි පාරේ පරෙස්සමට යන ඔබට මුලින් ම කොළපතන ඇල්ල දිස් වේවි. වැසි වැටී සශ්‍රීකව ඇති අවධියේ අප ගිය නිසා කොළපතන ඇල්ල අතිශයින් ම සක්‍රීයයි; සුන්දරයි. නැරඹුම් ස්ථානයෙන් පමණක් දිය ඇල්ල නරඹා නික්ම යන්නට අපට සිත් දුන්නේ නෑ, ඒ නිසාම පහළට වැටී තිබුණු හීන් අඩිපාරක් දිගේ අපි පරෙස්සමට පහළට බැස්සා. මේ මිහිකතේ ඇති සුන්දරම දසුන නරඹන්නට නම් ඒ ඇල්ල පාමුලට ඔබ යා යුතුමයි. කදිමට ස්වභාවිකව හැඳුණු ජල තටාකයත් සමඟ සුදෝ සුදු පෙණ පිඩු විසුරවමින් ගලා හැලෙන කොළපතන ඇල්ල වචනයේ පරිසමාප්ත අර්ථයෙන් ම මනස්කාන්තයි. ඒ නිකළැල් ජලය දෝතට ගත් අපි මඳක් පානය කළා. වතුර කොයිතරම් රස බීමක් ද කියලා දැනගන්න නම් එසේ කළ යුතුමයි.

මඟ පෙන්වන්නකු සමඟ ‍නොගිය නිසා ඊට ඉහළින් තිබූ දිය ඇලි බලාගන්නට යෑමට අපිට හැකි වූයේ නැහැ. ඒ දිය ඇලි පිහිටා ඇත්තේ, කන්ද මුදුනට ම වෙන්න. ලංකාවේ දෙවැනියට උසම ඇල්ල වන “කුරුඳු ඇල්ල” පිහිටා තිබෙන්නෙත් මේ කඳු වැටියේම ඉහළට වෙන්නයි. ඒත් වනාන්තරයේ අතරමං වීමට බොහෝ ඉඩකඩ ඇති නිසා මඟ පෙන්වන්නෙක් නැතිව එහි යෑම අනතුරුදායකයි.

පරිසරයේ සුන්දරත්වයත් සමඟ ඒකාත්මික වෙමින් ඒ සිහිල් පරිසරයේ පැය කිහිපයක් ගත කළ අපි ආයෙත් පල්ලම් බැස්සේ පරිසරයට පවා අප ආ බව නොදැනෙන්නට පරිස්සම් වෙමින්. ඒ තරම් ඒ පරිසරය තවමත් නිකැළැල්. කුඩා චීන පේර ගස්වල ගෙඩි පීරී තිබුණා. කුරුල්ලන් ගේ කොටහට පාඩුවක් නොවන්නට ඒ ඇඹුල් පේර ගෙඩි කිහිපයක රස විඳින්නට අපි දෙවරක් හිතුවේ නෑ.

පල්ලම් බහිද්දී ‍ඒ මාර්ගය අසලම පිහිටි කුඩා නිවෙසේ මාමා කෙනෙක් අපට තේ බී යෑමට ආරාධනා කළා. කන්ද නැඟලා මහන්සි ඇති නොවැ, කැවුමක් කාලා තේ එකක් බීලා යන්න... ගෙදර නැන්දා කිව්වේ හරිම ආදරෙන්. ඒ අාදරේ හදවතේ බරට ම තැන්පත් වුණේ මන්දාරම් නුවර ගැන ලෝබකමක් හිතේ රඳවමින්.

 
 

නව අදහස දක්වන්න