මොරගහකන්ද ජල කාන්දුව යථා තත්ත්වයට | දිනමිණ


 

මොරගහකන්ද ජල කාන්දුව යථා තත්ත්වයට

මොරගහකන්ද ජලාශයේ ප්‍රධාන වේල්ලේ පසුගියදා ඇතිවූ ජල කාන්දුව සම්පූර්ණයෙන්ම අද (14) දින වන විට අවසන් කළ බව මොරගහකන්ද ජලාශ ව්‍යාපෘති නිලධාරීහු පවසති.

මේ වන විට ජල කාන්දුව සම්පූර්ණයෙන් යථා තත්ත්වයට පත් කර එහි සවිකොට තිබූ ආරක්ෂිත යකඩ වැට ඉවත් කිරීමේ කටයුතු 14 දින උදෑසන සිට ආරම්භ කළ බව නිලධාරීහු වැඩිදුරටත් සඳහන් කර ප්‍රකාශ කරති.

පසුගියදා පැවති ධාරානිපාත වර්ෂාවත් සමඟ මොරගහකන්ද ජලාශ උපරිම ජල සීමාව ලැබීමත් සමඟ ප්‍රධාන වේල්ලේ ඉහළින් විනාඩියකට ලීටර් දෙසීයක පමණ ජල කාන්දුවක් සිදු වූ බව වාර්තා වෙයි

ඒ අනුව අවස්ථා කිහිපයකදී සොයා බැලීම් කටයුතු සිදු කළ මහවැලි බලධාරීන් කියා සිටියේ දින දහයක කාලයක් තුළ චීන කොන්ත්‍රාත් සමාගම හරහා සම්පුර්ණයෙන්ම කොන්ක්‍රීට් වලින් මෙම ජල කාන්දුව වසා දැමීමට හැකියාව පවතින බවය.

ඒ අනුව දින 10ක් ගතවීමට මත්තෙන් ජලාශයේ පැවති ජල කාන්දුව සම්පූර්ණයෙන්ම නිමා කිරීමට හැකිවූ බව මොරගහකන්ද- කළු ගඟ ජලාශ ව්‍යාපෘති කළමනාකරු ඉංජිනේරු ඩී. බී. විජයරත්න මහතා පවසයි.

නව අදහස දක්වන්න