නීතියේ ආධිපත්‍ය හා අධිකරණයේ ස්වාධීනත්වය වෙනුවෙන් ආණ්ඩුව පෙනී සිටිනවා | දිනමිණ


 

නීතියේ ආධිපත්‍ය හා අධිකරණයේ ස්වාධීනත්වය වෙනුවෙන් ආණ්ඩුව පෙනී සිටිනවා

ස්වර්ණා විජේකෝන්
රෝෂන් තුෂාර
සන්ධ්‍යා කරුණාරත්න

පසුගිය සමයේ විනිසුරුවන්ගේ ගෞරවය හෑල්ලු කළා 
- ඇමැති ලක්ෂ්මන් යාපා අබේවර්ධන

රන්ජන්ගේ සීඩී තැටි ජනසතු කිරීම වැරැදියි 
- රනිල් වික්‍රමසිංහ

විනිසුරුවරු කණිෂ්ඨ මන්ත්‍රීවරු ළඟ බැගෑපත් වෙන තත්ත්වයක් තිබුණා 
- රාජ්‍ය ඇමැති අනුර ප්‍රියදර්ශන යාපා

ජනපති කී සමහර දේ සමඟ මම එකඟයි 
- සරත් ෆොන්සේකා

19 යෙන් බලාපොරොත්තු වූ දේ ඉටුවූයේ නැහැ 
- ඇමැති නිමල් සිරිපාල

නීතියේ ආධිපත්‍ය අධිකරණයේ ස්වාධීනත්වය හා පොලිසීයේ විනය ස්ථාපිත කිරීම වෙනුවෙන් ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රමුඛ රජය පෙනීසිටින බව විදුලිබල රාජ්‍ය ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ මහතා ඊයේ (07) පාර්ලිමේන්තුවේදී පැවසීය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳව විපක්ෂය යෝජනා කළ කල් තැබිමේ විවාදයට එක්වෙමින් රාජ්‍ය ඇමැතිවරයා එසේ පැවසීය. කතානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුව ඊයේ (07) පස්වරු 01ට රැස්විය.

ලිපි ලේඛන වාර්තා පිළිගැන්වීමෙන් පසුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත්කළ ප්‍රතිපත්ති ප්‍රකාශනය පිළිබඳ කල් තැබීමේ විවාදය ආරම්භ විය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අළුත්ගමගේ මහතා මෙසේද පැවසීය. රටට අහිතකර කිසිදු විදේශ ගිවිසුමක් රජය අත්සන් නොකරන බවත් විපක්ෂනායක වරයා ඉරා දමන්න යැයි කියන එම් සී සී ගිවිසුමක් ආණ්ඩුව අත්සන් කර නොමැති බවත් පැවසූ විදුලිබල රාජ්‍ය ඇමැති මහින්දානන්ද අළුත්ගමගේ මහතා පසුගිය අණ්ඩුව කැබිනට් මණ්ඩලය එම් සී සී ගිවිසුම් ගැන සාකච්ඡා කිරීමේදී සිටියේ කොහේදැයි විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතාගෙන් ඊයේ (07) පාර්ලිමේන්තුවේදී විමසීය.

සභාව කල් තැබීමේ යෝජනාව ඉදිරිපත් කරමින් ගාල්ල දිස්ත්‍රික් මන්ත්‍රී බන්දුලාල් බණ්ඩාරිගොඩ මහතා (එජාප)

ජනාධිපතිවරයා ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කරමින් භාණ්ඩ මිල අඩු කිරීම, රැකියා විරහිත තරුණ තරුණියන්ට රැකියා ලබාදීම වැනි පොරොන්දු ලබාදුන්නා. ප්‍රතිපත්ති ප්‍රකාශය පසෙක දමා ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් දඩයම් කරමින් සිටිනවා. ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් කරුණු ක්‍රියාවට නංවන ලෙස අපි ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා.

සෞභාග්‍යයේ දැක්ම ජනාධිපතිතුමා සභාගත කළා. අටවැනි පාර්ලිමේන්තවේ 4 වැනි සැසිවාරයේ එතුමා ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශනය සහ සෞභාග්‍යයේ දැක්ම අතර වෙනසක් ඇති බව අපට පැහැදිලි වුණා. මේ වන විට තරුණ තරුණියන්ගේ රැකියා අහිමි කරමින් දේශපාලන පළිගැනීම් 11,000ක් කර ඇති බවට වාර්තා වෙනවා.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා - පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශයත්, සෞභාග්‍යයේ දැක්මත් තුළින් ඉදිරිපත් කර ඇති කරුණුවලට, එය ක්‍රියාවට නංවනවා නම් අපි 225 දෙනාගේම සහාය ලබාදීමට සුදනම් , අප්‍රේල් මාර්තු වන තෙක් තුනෙන් දෙකක් ලබාගන්නා තුරු සිටින්න අවශ්‍ය නැහැ. සතුට කියන දර්ශකය උපයෝගි කර ගත් විට ඡන්දයට පෙර තිබූ බඩු මිලත් ජනවාරි 06 වැනිදා තිබෙන බඩු මිලත් සම්බන්ධව ඇති වී තිබෙන විපර්යාසය තුළින් සංසන්දනය කළ හැකියි. එමඟින් සන්තුෂ්ඨි දර්ශකය තීරණය කළ හැකියි. අපිට අවශ්‍ය වී ඇත්තේ 69 ලක්ෂයක් ලබාදුන් වරම ක්‍රියාත්මක කිරීමටයි. ජනතාවට ආණ්ඩුව ලබාදුන් පොරොන්දු ඉටු කර දෙන්න. අවශ්‍ය නම් ලබන සතියේ අයවැයක් ඉදිරිපත් කරන්නේ නම් හයෙන් පහක බලයක් අපි ලබාදෙනවා. පොහොර නොමිලේ දෙනවා කිව්වා. නමුත් දැන් වන විට ගොවි ජනතාවට කියා තිබෙන්නේ පොහොර සහනාධාරයක් දෙනවා කියලා. ජනතාවට බඩු මල්ලක් දෙනවා කිව්වා. ඒ සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ආණ්ඩුව ගන්න. අපි මුළුමණින්ම සහාය දෙනවා. උපාධිධාරීන්ට පොරොන්දු වූ පරිදි රැකියා 54000ක් දෙනවා කියලා වත්මන් ආණ්ඩුව ප්‍රකාශ කළා. පාසල් දරුවන්ට සපත්තු නොමිලේ දෙනවා කිව්වා. ජාතික පාසල් 1000ක් දක්වා වැඩි කරනවා කිව්වා. මේ යෝජනා ක්‍රියාත්මක කිරීමට ආණ්ඩුව පියවර ගන්න. මේ සියලු දේට අපි සහාය දෙනවා. මේ යෝජනා ක්‍රියාත්මක කිරීමට අප්‍රේල්, මැයි වන තෙක් සිටිය යුතු නැහැ. මහජනතාව හා ප්‍රතිවාදී දේශපාලඥයින් දඩයම් කරනවා වෙනුවට ජනතාශීලි යෝජනා ක්‍රියාවට නැංවීමට ආණ්ඩුව පියවර ගත යුතුයි. ජාතික ආරක්ෂාවට මුල් තැන දෙන බවට මේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් වෙනවා. ත්‍රිවිධ හමුදාවේ, පොලිසියේ, සිවිල් ආරක්ෂක නිලධාරීන්ගේ මානසික ශක්තිය, සතුට නංවා සුභසාධනයන් ලබාදෙමින් ඔවුන් ශක්තිමත් කිරීමෙන් මෙරට ජාතික ආක්ෂාව නංවාලිය හැකියි. බුද්ධි අංශය යුද ජයග්‍රහණය වෙනුවෙන් විශේෂ කැපවීමක් කළා. දෙමළ බස කතා කරන බහුතරයක් අය බුද්ධි අංශයේ සිටිනවා. ඔවුන් ජාතික ආක්ෂාව ශක්තිමත් කරන්නට සහාය දෙනවා. කිසිම විටක ජාතිවාදය, ආගම්වාදය රට තුළ සපිරීම නොකළ යුතුයි. එම්. සී. සී. ගිවිසුම ක්‍රියාවට නැංවුවහොත් රට ලේ විලක් වන බව ජනාධිපතිවරණ වේදිකාවේදි වත්මන් ආණ්ඩු පක්ෂයේ අය එදා ප්‍රකාශයට පත් කළා. මේ ගිවිසුම ඉරා දමන්න අපි කැමැතියි. ඒ සඳහා හොඳම දිනය පෙබරවාරි 04 වැනිදා කියලා මම යෝජනා කරනවා. ඇක්සා, සෝපා ඉවත් කරන්න වුවත් අපි විපක්ෂයේ සහාය දෙනවා. ආණ්ඩු පක්ෂයේ ජනතාවාදී ප්‍රගතිශීලි යෝජනා ක්‍රියාත්මක කිරීට අපේ විපක්ෂයේ සහාය දෙනවා.

අපි එම්.සී.සී. කිසිවිටක අත්සන් කරන්නේ නැහැ අපි ගොවියන්ට පොහොර නොමිලේ දෙනවා. පසුගිය වසර හතර හමාර තුළම රැකියා නොදී එජාපය පාක්ෂිකයන්ට සැලකුවේ නැහැ. මැතිවරණය ප්‍රකාශයට පත්කළාම තමයි එජාප මැති ඇමැතිවරුන්ට තම පාක්ෂිකයන්ට රැකියාදීමට මතක් වුණේ. එහෙම මතක් වුණාම නීත්‍යානුකූල නොවන විදියට තරුණයන්ට රැකියා ලබාදීම සිදුකළා. රුපියල් බිලියන 6 ක් පසුගිය ආණ්ඩුවෙන් ආයතනවලට ගෙවන්න තිබෙනවා. හාල්, එළවළු මිල ඉහළයි කියලා අපි පිළිගන්නවා. ජනතාවගේ බඩු මිල ගැන අපි ඉදිරියේදී කටයුතු කරනවා. බොරු නඩු දාලා කිසි කෙනෙක් අත්අඩංගුවට ගන්න අපි කටයුතු කරන්නේ නැහැ. බැඳුම්කර නඩුවේ වරදකරුවන් 09 දෙනාගෙන් 7 ක් ම සිටින්නේ පාර්ලිමේන්තුවේ. නීතියේ ආධිපත්‍ය අපට අද හදන්න වෙලා තිබෙනවා. රන්ජන් රාමනායක මහතා අත්අඩංගුවට ගත්තා. ඒ පනතෙන්ම තමයි එදා බැසිල් රාජපක්ෂ, නාමල් රාජපක්ෂ, මහින්දානන්ද අත්අඩංගුවට ගත්තේ. අධිකරණය ස්වාධීන විය යුතුයි. අපි උත්සාහ කරන්නේ ඒ සඳහායි. පසුගිය ආණ්ඩුව අධිකරණය, පොලිසිය විනාශ කළා. විපක්ෂ නායකවරුන් 4 ක් පාර්ලිමේන්තුවේ සිටිය නොහැකියි. එක් විපක්ෂ නායකයකු තෝරාගන්න. ප්‍රජාතන්ත්‍රවාදය කතා කරන්න කලින් විපක්ෂ නායකයකු පත්කර ගන්න.

පොළොන්නරු දිස්ත්‍රික් මන්ත්‍රී සිඩ්නි ජයරත්න මහතා මූලාසනයට පැමිණියේය.

අපනයන කෘෂිකර්ම රාජ්‍ය ඇමැති ජානක වක්කුඹුර මහතා - විපක්ෂ නායකතුමාට සුබපැතීමට මම මෙය අවස්ථාවක් කරනවා. පසුගිය ආණ්ඩුව මේ රටේ ගොවියා ගැන විශ්වාසය තැබුවේ නැහැ.

කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී නලින්ද ජයතිස්ස මහතා (ජවිපෙ) - වත්මන් ආණ්ඩුවට දින 50 ක් ගතව තිබෙනවා. දැන් මේ වරාය පවරා ගැනීමට පියවර ගත යුතුයි. එම්.සී.සී. ගිවිසුම ගැන වෙනම කමිටු පත්කරන්න අවශ්‍ය නැහැ.

හම්බන්තොට දිස්ත්‍රික් මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා (එජනිස) - පසුගිය ජනාධිපතිවරණයෙන් ගෝඨාභය මහතා ජයග්‍රහණය කරවීම ගැන රටේ ජනතාවට ස්තුතිවන්ත වෙනවා. පසුගිය ආණ්ඩුව ජනතාවට පොරොන්දු රැසක් ලබාදී රට බාරගත්තා. නීතිය ආරක්ෂා කරනවා. මුදල් රටේ ආර්ථිකය ඉහළ නංවනවා කියා පොරොන්දු ලබාදීම පසුගිය ආණ්ඩුව කළා. බොරු පොරොන්දු ලබාදීලා බැඳුම්කර වංචාව සිදුකළා. ඒ තුළින් රට මහා අගාධයකට පත්කිරීමට පසුගිය ආණ්ඩුව කටයුතු කළා. වොක්ස්වැගන්, සිමෙන්ති, තෙල් පිරිපහදු කර්මාන්ත හදන්නට මුල්ගල් තබන බව පවසා ජනතාව රැවටුවා. එන්.සී.සී.ය වගේ නීත්‍යානුකූල ‍නොවන ආයතන පිහිටුවා දේශපාලන වැඩබිමක් බවට රට පත් කළා. තිස්ස අත්තනායක මහතා එදා පාර්ලිමේන්තුවට පැමිණීමට පෙර වරප්‍රසාද කඩකරමින් තමයි අත්අඩංගුවට ගත්තේ. අපිව අත්අඩංගුවට ගත්තේ එහෙමයි. අද එහෙමද? අද එහෙම නැහැ. අධිකරණ පද්ධතිය ගැන ජනතාව තැබූ විශ්වාසය නැති කිරීමට පසුගිය ආණ්ඩුව කටයුතු කළා. ඒ නැති කළ අධිකරණයේ විශ්වාසය නැවත ස්ථාපිත කිරීමට පියවර ගන්නවා. යොවුන් සේනාංකයේ ගොඩනැගිලි හැදීමට ලබා දුන් මුදල් මංකොල්ල කෑමට පසුගිය ආණ්ඩුවේ නායකයන් පියවර ගත්තා.

තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ඇමැති ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා - ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරීමට සමගාමීව අද විවිධ අදහස් සභාව තුළ ඉදිරිපත් වුණා. ජනතාව මෙවර බලය දුන්නේ හාල්, එළවළුවලට නොවේ. ගෝඨාභය මහතාට ඡන්දය දුන්නේ වෙනත් කරුණුවලට. රටේ සුරක්ෂිත බව, රටේ විනය, රටේ ආර්ථිකය කියන කරුණු තුන මුල්කරගෙන තමයි ගෝඨාභය මහතා ජයග්‍රහණය කරවූයේ.

ජනතාවට බියක් සැකයක් නොමැතිව ජීවත්වෙන්න පුළුවන් පරිසරයක් අද රට තුළ නිර්මාණය කරලා තිබෙනවා. ඒ වගේම රට තුළ විනයක් ස්ථාපිත කර තිබෙනවා. තුන්වෙනි කාරණය තමයි ආර්ථිකය. මේ ප්‍රතිපත්ති ප්‍රකාශය අවුරුදු පහකට ඉදිරිපත් කළ එකක්. රටේ සුරක්ෂිතභාවය ඇතිකරලා තිබෙනවා. ර‍ෙට් බදු අඩුකරලා තිබෙනවා.

පසුගිය ආණ්ඩුවට ක්‍රියාත්මක කරන්න බැරිවුණු කොළඹ ෂැංග්‍රිලා හෝටලය අසල ඉඩම බදු ක්‍රමයට ලබාදීමට ජනාධිපතිතුමා කටයුතු කළා. නිවාස 700 ක්, වෙළෙඳ සංකීර්ණයක් සහිත මේ ආයෝජන ගිවිසුමේ වටිනාකම ඩොලර් මිලියන 250 ක්. ලක්ෂ 78000 ක් වෙනවා.

පසුගිය සමයේ හරි පාලනයක් විනයක් තිබුණේ නෑ. ව්‍යවස්ථාදායකය විධායකය අධිකරණය විනාශ වුණා. පාර්ලිමේන්තුවේ ගෞරවය නැති කළා. 19 ගෙනැල්ලා පාර්ලිමේන්තුව විනාශ කළා. අද අධිකරණය නැති කරමින් විනිසුරුවන්ගේ ගෞරවය හෑල්ලු කරමින් මන්ත්‍රීවරුන් කරන ප්‍රකාශ ගැන තීන්දුවක් ගත යුතුයි.

පුත්තලම් දිස්ත්‍රික් මන්ත්‍රී පාලිත රංග බණ්ඩාර මහතා (එජාප) - හිටපු අගවිනිසුරු සරත්නන්ද සිල්වා මහතා තීන්දු දීලා ජනතාවගෙන් සමාව ගත්ත අයුරු බලනකොට අධිකරණයේ ස්වාධීනත්වය හිතාගන්න පුළුවන්.

නිවාස රාජ්‍ය ඇමැති ඉන්දික අනුරුද්ධ හේරත් මහතා - පසුගිය ආණ්ඩුව තුළ විනිවිදභාවයක් වගකීමක් තිබුණේ නෑ. වී ගොවියට සහතික මිලක් ලබානොදුන්න විපක්ෂය අද ආණ්ඩුවක් කළේ නෑ වගේ කතා කරනවා. ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම මහතා (එජාප) - ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පසුගිය 03 දින සිය ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කළේ කාටද යන්න මට ප්‍රශ්නයක්.

අභ්‍යන්තර වෙළෙඳ හා පාරිභෝගික සුබසාධන රාජ්‍ය ඇමැති අනුර ප්‍රියදර්ශන මහතා - පසුගිය සමයේ පැවැති ආණ්ඩුවට ත්‍රස්තවාදය අවසන් කර තිබු රටේ ආගමික ත්‍රස්තවාදයක් ඇතිකරන්න තරම් බෙලහීන වුණා. රස්සා ලක්ෂ ගණන් දෙනවා කියලා තරුණයෝ අසරණ කළා. අද අපිට පේනවා අධිකරණයේ ගෞරවය නැතිකරන්න සමහර මන්ත්‍රීවරු ක්‍රියාකරලා තිබෙනවා. විනිසුරුවන්ගේ උසස්වීම් සම්බන්ධයෙන් ඇඟිලි ගසා තිබෙනවා. අපි හිතුවා ව්‍යවස්ථාදායක සභාව පිහිටවූවාම මේ පත්වීම් උසස්වීම් ස්වාධීන වෙයි කියලා. එහෙම වෙලා නෑ. කනිෂ්ඨ ඇමැතිවරයෙක් ළඟ බැගෑපත් වන තරමට අසරණ නිලධාරීන් අසරණ කරලා. යහපාලනය කියන වචනය සම්පූර්ණයෙන්ම විනාශ කරලා. අපෙන් අහනවා දින 52 තුළ මොකද කළේ කියලා. අපිට තව අවුරුදු පහක් වැ‍ඩ කරන්න තිබෙනවා. අපි ඊළඟට මහ මැතිවරණයට යනවා. මට විශ්වාසයි අපිට තුනෙන් දෙකක බහුතරයක් ලැබෙනවා.

පත්කළ මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා (එජාප) - ජනාධිපතිවරයා කුරහන් සාටකය ගැන කතා කළා. එතුමා එය නොඇන්දත් එය සංකේතය බව කිව්වා. එහි ‍හොඳක් තිබෙනවා. නරකත් තිබෙනවා. ඔහු මෙරට වසර 70 ක් පාලනය කළ ආකාරය ගැන කතා කළා. එහිදී මම එකඟවන දේවල් තිබෙනවා. පාර්ලිමේන්තුවේ විනය ගැන නම් මමත් එතුමා සමඟ ඉන්නවා.

කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා - පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද මහතා ඝාතනය කිරීමට මම කුමන්ත්‍රණය කළ බවට චෝදනා කළා. මම එසේ කර නැහැ. රන්ජන් රාමනායකගේ නිවසේ තිබූ සී. ඩී. තැටි ටික පොලිසිය භාරගත්තා. නමුත් ඒ සී. ඩී. තැටි දැන් මහජන දේපළ බවට පත්වෙලා සංසරණය වෙනවා. නමුත් මෙම තත්ත්වය වැරදියි. ඒ නිසා මෙම සී.ඩී. පටි නැවත එකතු කරගන්නා ලෙස කතානායකවරයා මාර්ගයෙන් හෝ දැනුම් දෙනවා.

පත්කළ මන්ත්‍රී අතුරලියේ රතන හිමි (ස්වාධීන) - අද වන විට ඕස්ට්‍රේලියාව බරපතළ පාරිසරික අර්බුදයකට ලක්වෙලා. ගල් අඟුරු නිසා ලෝකයම බරපතළ අර්බුදයකට ලක්වෙලා. පාරිසරික තත්ත්වයන් අනුව ශ්‍රී ලංකාව ඉදිරිගාමී රටක් බවට පත්කළ යුතුයි. ගල්අඟුරු වෙනුවට විකල්ප බලශක්ති ප්‍රභවයන් කෙරෙහි යොමුවන බවට ජනාධිපතිවරයා සිය ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන් ද සඳහන් කර තිබෙනවා. ඒ වගේම අපි කාබනික පොහොර භාවිතය, කාබනික වගාවන් කෙරෙහි අවධානය යොමුකරන බවත් ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් වෙන සිංගප්පූරු සංකල්ප නෙවෙයි. කෘෂි ආර්ථික සංකල්පය ඉතා වැදගත්.

අධිකරණ හා බන්ධනාගාර ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා - පසුගිය සමයේ අපි 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සහාය ලබා දුන්නේ මැතිවරණ ක්‍රමය වෙනස් කරන්න. ප්‍රදේශයට වගකියන ජනතා නියෝජිතයින් පත්කරන්න මිශ්‍ර මැතිවරණ ක්‍රමය ගේන්න. නමුත් ව්‍යවස්ථාදායකය තුළ නිසා ඒවා ක්‍රියාත්මක වූයේ නැහැ. ඒ නිසා තමයි ගෝඨාභය ජනාධිපතිවරයා අන්තවාදීන්ගෙන් තොර පාලනයක් පිළිබඳව සිය ප්‍රතිපත්ති ප්‍රකාශයේදී අදහස් කළේ ශක්තිමත් ආණ්ඩුවක් පිහිටවිය යුතුයි කිව්වේ.

ඒ වගේම පළාත් පාලන මැතිවරණ ක්‍රමය ද වෙනස් විය යුතුයි. පසුගිය ජනාධිපතිවරණයේදි ඇපවත් බේරාගන්න බැරි පක්ෂ ගණනාවක් ඉදිරිපත් වුණා. සමහර දේශපාලන පක්ෂ මේ හරහා ජාවාරම් කරනවා.

ජනාධිපති බලයට පත්වීමත් සමඟ ගොවි ජනතාවගේ ආදායම් ශක්තිමත් වුණා. ජනාධිපතිවරයා කාර්ය මණ්ඩලය, ආරක්ෂක රථ ඉවත් කරමින් රටට ආදර්ශයක් දී තිබෙනවා.

කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී නලින් බණ්ඩාර ජයමහ මහතා (එජාප) - මේ ආණ්ඩුව බලයට පත්වුණේ මහ දවල් මහ බැංකුව කැඩූ හොරු ඇල්ලීමට. නමුත් අද රංජන් රාමනායක මන්ත්‍රීතුමා පස්සේ යනවා.

කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා (එජාප) -

ප්‍රතිපත්ති ප්‍රකාශය ක්‍රියාත්මක කරනවා වෙනුවට විපක්ෂයේ මන්ත්‍රීවරුන් දඩයම් කිරීම ආරම්භ කරලා තිබෙනවා. පොලිසිය අරන් ගිය සී. ඩී. තැටි මාධ්‍ය වෙත ගියේ කොහොමද?

ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය (එජනිස) -

විපක්ෂයේ මන්ත්‍රීවරු දඩයම් කිරීමට රජයට අවශ්‍යතාවක් නැහැ. අද වන විට ජනතාව අතර විශාල පිබිදීමක් තිබෙනවා. තරුණයො පුරන් කුඹුරු අස්වද්දනවා. තරුණ තරුණියෝ සිතුවම් අඳිනවා. සෑම තරාතිරමකම අය අතර පිබිදීමක් දක්නට ලැබෙනවා.

කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී ශාන්ත බණ්ඩාර මහතා (එජනිස) - අපේ රටට ගැළපෙන කෘෂිකර්ම ක්‍රමයක්, අධ්‍යාපන ක්‍රමයක් ඇතිකර ගැනීමට තවම සමත්වෙලා නැහැ. අධ්‍යාපනය සම්බන්ධව ක්‍රමවේදයක් ඇතිකිරීමට ජනාධිපතිතුමා අපේක්ෂා කරනවා. එකම ජාතික පාසලක්වත් නැති ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට ප්‍රථමයෙන්ම ජාතික පාසලක් ස්ථාපිත කිරීමට අවධානය යොමුකර තිබෙනවා. තරුණ තරුණියට රැකියා ලබාදීම ගැන එතුමා අවධානය යොමුකර තිබෙනවා.

තාක්ෂණ හා නවෝත්පාදන රාජ්‍ය ඇමැති තිලංග සුමතිපාල මහතා - තාක්ෂණ නවීකරණ සංස්කෘතියක් ගොඩනැඟීමට අපි පියවර ගන්නවා. ඒ සඳහා ජනාධිපතිතුමාගේ උපදෙස් ලබා දී තිබෙනවා. ජීව තාක්ෂණය, පරමාණු තාක්ෂණය, නැනෝ තාක්ෂණය, අභ්‍යවකාශ තාක්ෂණය, රොබෝ තාක්ෂණය ලෙස තාක්ෂණය කොටස් නමයක් හඳුනාගෙන තිබෙනවා. ඉන්ධන හා තෙල් පරීක්ෂා කිරීමට රටේ තාක්ෂණයක් නැහැ. එම තාක්ෂණය රට තුළ ස්ථාපිත කිරීමට ඉදිරියේදී පියවර ගන්නවා. උසස් තාක්ෂණ විද්‍යාල 19 ක් මේ අමාත්‍යාංශ්‍යයට අයත් වෙනවා.

පාර්ලිමේන්තුව අද (08) සවස 1.00 ට නැවත රැස්වේ.


ජනපතිගේ ප්‍රතිපත්ති ප්‍රකාශය ක්‍රියාවට නැංවීමට සහාය දෙනවා 
- විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරයා බවට පත්කිරිම වෙනුවෙන් ඡන්දය ලබදුන් හැටනව ලක්ෂයක ජනතාවගේ ප්‍රාර්ථනාවන් මල්ඵල ගැන්වීමට හා රටේ සංවර්ධනය උදෙසා වත්මන් ආණ්ඩුව ඉදිරිපත් කරන ප්‍රගතිශිලි ජනතා හිතවාදී යෝජනාවලට විපක්ෂයේ පූර්ණ සහාය ලබාදෙන බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහමතා පාර්ලිමේන්තුවේදී ඊයේ (07) ප්‍රකාශ කළේය. ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාපක්ෂ මහතා ලබාදුන් පොරොන්දු හා ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ඉදිරිපත් කළ දැක්ම ඉටුකිරීමට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලයක් අවශ්‍ය නොවන බවත් මන්ත්‍රිවරුන් 225 දෙනාම සහාය ලබාදී කැපවී කටයුතු කරන බවත් හෙතෙම පැවසීය. පොහොර සහනාධාරය, රැකියා ලබාදීම පාසල් දරුවන්ට සහසන සැළසීම ඇතුළු යෝජනා සිහිපත් කළ විපක්ෂනායකවරයා මෙම සහන ලබාදීමට ලබන මැයි මාසය වනතෙක් බලා නොසිටින ලෙසත් ඉල්ලීමක් සිදුකළේය. මෙම සහන සැළසීම වෙනුවෙන් අයවැයක් ඉදිරිපත් කරන්නේ නම් හයෙන් පහක බලයක් ආණ්ඩුවට ලබාදෙන බවත් සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

නව අදහස දක්වන්න