බුද්ධි ගලනයට තිත තැබීම | දිනමිණ


 

බුද්ධි ගලනයට තිත තැබීම

අසර්බයිජානයේ දී ශ්‍රී ලාංකික ශිෂ්‍යාවන් තිදෙනකු මරණයට පත්වීම රට පුරා කතාබහට ලක්වන මාතෘකාවක් බවට පත් වී ඇත. මේ සිද්ධියෙන් කරුණු කිහිපයක් පැහැදිලි වෙයි. උසස් අධ්‍යාපනය සම්බන්ධයෙන් අපේ රට තුළ පවතින තරගය හා අවුල එක කාරණයකි. ප්‍රමිතියකින් තොර විදේශීය අධ්‍යාපන ආයතන වෙත අපේ දරුවන් යොමු කිරීම තව කාරණයකි. රටේ තරුණ පරම්පරාවේ බුද්ධිය, දැනුම හා කුසලතා නිසි පරිදි මෙහෙයවීමට විධිමත් ක්‍රියාමාර්ග නොතිබීම තවත් කාරණයකි. අපේ විශ්වවිද්‍යාල අධ්‍යාපනය සඳහා ඇත්තේ බලවත් තරගයකි. එම තරගයට අනුව ඉතා සුළු පිරිසක් පමණක් විශ්වවිද්‍යාලවලට ඇතුළත් වෙති. සිසුහු විශාල ප්‍රමාණයක් අතර මං වෙති. මේ ක්‍රමය වෙනස් විය යුතුය.

විශාල පිරිසක් වාර්ෂික ව විදේශීය විශ්වවිද්‍යාල කරා ඇදී යති. එය ‍ෙබාහෝ රටවල ධනෝපායන මාර්ගයක් බවට පත් වී ඇත. ඇතැම් රටවල ‍ෙපෟද්ගලික විශ්වවිද්‍යාල ප්‍රමිතියෙන් තොරය. මියගිය ශිෂ්‍යාවන් තිදෙනා ඉගෙන ගත් අසර්බයිජාන් වෙස්ට් කැස්පියන් විශ්වවිද්‍යාලයද එවැන්නකි. එහි නේවාසිකාගාර පහසුකම් නැත.අනුමත කළ පෞද්ගලික නේවාසිකාගාර ලබා දෙන ක්‍රමයක් ද එම විශ්වවිද්‍යාලයට නැත. ඒ අනුව ‍ෙපෟද්ගලිකව නේවාසික පහසුකම් සපයා ගැනීමට ශිෂ්‍ය ප්‍රජාවට සිදුවී ඇත. ශිෂ්‍යාවන් තිදෙනා එලෙස සපයාගත් ‍ෙන්වාසිකාගාරයේ ඇති වූ ගින්නකින් මරණයට පත් වී ඇති බව වාර්තා වී ඇත. ගින්නෙන් නැඟුණු විෂදුම් නිසා මරණ සිදු වී ඇති බව ද නිරීක්ෂණවලදී පැහැදිලි වී ඇත.

උපාධියක් හෝ පශ්චාද් උපාධියක් හෝ ලබා ඉහළ වැටුප් සහිත රැකියාවකට යෑම තරුණ පරම්පරාවේ බොහෝ දෙනකුගේ ඉලක්කය වී ඇත. ශ්‍රී ලංකාව තුළ එම අවස්ථාව නො ලබන අය විශාල මුදලක් වැය කොට පිටරට උපාධි ලබා ගනිති. වැයවන මුදල හා ශිෂ්‍ය ප්‍රජාව සතු සුදුසුකම් අනුව එකිනෙක රටවල විශ්වවිද්‍යාල තෝරා ගනු ලැබේ. නේපාලය, අසර්බයිජානය වැනි රටවල පාඨමාලා හැදෑරීම සඳහා අය කරගනු ලබන මුදල සාපේක්ෂ වශයෙන් ගත් කල අඩුය. එහෙත් එම රටවල පෞද්ගලික උසස් අධ්‍යාපන ආයතනවල අධ්‍යාපනය සේම පහසුකම් ද ප්‍රමිතියකින් තොරය. නේවාසිකාගාර ලෙස ටකරන් මඩු ලබා දෙන ආයතන පවතින බව ද වාර්තා වී ඇත. එහෙත් උපාධි පතා පිටරට යන ශිෂ්‍ය ප්‍රජාවගේ අඩුවක් දකින්නට නැත. වාර්ෂිකව එම ප්‍රමාණය වැඩි වෙයි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා රටේ උසස් අධ්‍යාපනය කෙරෙහි ද තරුණ ප්‍රජාවගේ සහජ කුසලතා කෙරෙහි ද දැඩි අවධානයක් යොමු කර ඇති බව පෙනෙයි.

රාජපක්ෂ මහතාට පවතින ක්‍රමය වෙනස් කිරීමේ වුවමනාවක් ඇති බව ද පෙනෙයි. කොතලාවල ආරක්ෂක විද්‍යා පීඨයේ උපාධි ප්‍රදානෝත්සවයේ ප්‍රධාන දේශනය පැවැත් වූ ජනාධිපතිවරයා රටේ උසස් අධ්‍යාපනය සම්බන්ධයෙන් වැදගත් අදහස් ගණනාවක් පළ කර තිබේ. රටක් වේගවත් ලෙස සංවර්ධනය කිරීමට නම්: බුද්ධි ගලනය නැවැත්විය යුතු බව ඔහු කියා සිටී. ජාත්‍යන්තර මට්ටමේ අධ්‍යාපනයක් ලබාදීමට අපේ ආයතන සමත්වන්නේ නම්; විදේශීය සිසුන් ද ශ්‍රී ලංකාවට ගෙන්වා ගත හැකි බව ද ජනාධිපතිවරයා පෙන්වා දෙයි.

බුද්ධි ගලනය දීර්ඝ කාලයක සිට සංවාදයට ලක් වූ කාරණයකි. එහෙත් ඊට නිශ්චිත විසැඳුමක් මෙතෙක් ලැබී නැත. පශ්චාද් උපාධි පතා විදේශ ගත වන බොහෝ දෙනා විදේශයන්හි පුරවැසිභාවය ලබා එම රටවලම නතර වෙති. ශිෂ්‍යත්වලාභියෝ පවා එසේ ක්‍රියා කරති. ගිවිසුම් අස්සන් කොට සිය රට සේවය සඳහා නැවත එන බවට ප්‍රතිඥා දුන් අය ද ඒවා කඩකරති. විශ්වවිද්‍යාලවල ඇතැම් විෂය ධාරාවන් ඉගැන්වීම සඳහා ගුරුවරුන් හිඟය. ඊට හේතුව එම ක්ෂේත්‍ර නියෝජනය කරමින් පශ්චාද් උපාධි ලබාගැනීම සඳහා විදේශ ගතවූ අය නැවත ශ්‍රී ලංකාවට නොපැමිණීම ය. දියුණු රටවල උගතුන් සඳහා ඇති වෘත්තීය ගෙවීම් හා වෙනත් පහසුකම් දෙස බලන විට ඉහත විද්‍යාර්ථීනට දොස් පැවරීම ද කළ නො හැකි ය. ඒ කාගේත් අපේක්ෂාව සුවපහසු ජීවිතයක් වන බැවිනි.

දියුණු රටවල් බුද්ධි ගලනය නවත්වාගෙන ඇත්තේ විධිමත් වැඩසටහන් ඔස්සේ ය. උසස් අධ්‍යාපනය සඳහා ඉහළ ම පහසුකම් සැපයීම, වෘත්තීය සුදුසුකම්වලට ඉහළම පිළිගැනීමක් ලබාදීම, වෘත්තිකයන් රටේ සංවර්ධන ක්‍රියාදාමයට සෘජු ලෙස දායකකරගැනීම ඒ අතර පවතී. අපේ රටේ එවැන්නක් දකින්නට නැත. විශ්වවිද්‍යාල පාඨමාලා හා රටේ නිෂ්පාදන ක්‍රියාවලිය අතර සම්බන්ධයක් ද නැත. මේ අනුව එක අතෙකින් රැකියා විරහිතභාවය වර්ධනය වෙයි. තව අතෙකින් නිෂ්පාදන ක්‍රියාවලියට අවශ්‍ය වෘත්තිකයන් සඳහා පුරප්පාඩු වැඩි වෙයි. මෙය හැඳින්විය හැක්කේ විෂම චක්‍රයක් හැටියට ය. ජනාධිපතිවරයාට අවශ්‍ය වී ඇත්තේ මේ විෂම චක්‍රය වෙනස් කොට උසස් අධ්‍යාපනය හා රටේ සංවර්ධනය අතර සෘජු සම්බන්ධයක් ඇති කිරීමට ය.

සරසවි අධ්‍යාපනය පිළිබඳ පැහැදිලි වෙනසක් දැන් දකින්නට ලැබේ. ශිෂ්‍ය ප්‍රජාවට සංවේදී ලෙස ඇහුම්කන් දෙන රජයක් තිබේ. කඳුළු ගෑස් හා ජල ප්‍රහාර වෙනුවට ශිෂ්‍යයන්ගේ ගැටලු සාකච්ඡා කරන තැනකට බලධාරීන් නම්‍යශීලී වී ඇත. මෙය හොඳ තත්ත්වයකි. රටේ උසස් අධ්‍යාපන ආයතන ජාත්‍යන්තර මට්ටමේ ප්‍රමිතියකින් යුතුව පවත්වාගෙන යා යුතු බව ජනාධිපතිවරයා සඳහන් කර ඇත. එබඳු තත්ත්වයක් ඇති කරගත හැකිනම්, මෙරට සිසුන් පිටරටවල් කරා ඇදී යෑම වළකිනු ඇත. ඒ මඟින් විශාල විදේශ විනිමයක් ද ඉතිරි කරගත හැකි ය. අපේ විශ්වවිද්‍යාලවල තත්ත්වය තවදුරටත් ඉහළට ගෙන යා හැකි නම්: විදේශීය ශිෂ්‍ය ප්‍රජාවගේ ආකර්ෂණයද දිනාගත හැකි ය. ඒ මඟින් විදේශ විනිමය උපයා ගත හැකි ය.

 

නව අදහස දක්වන්න