අකුරු කරන්න කි.මී. 28ක් පයින්ම යන්න අරණායක ගම්මාන හතරක දරුවන්ට සිදු වෙලා | දිනමිණ

අකුරු කරන්න කි.මී. 28ක් පයින්ම යන්න අරණායක ගම්මාන හතරක දරුවන්ට සිදු වෙලා

දිප්පිටිය මුස්ලිම් විදුහලට යන හින්දු දරුවන්ට ඉස්ලාම් චාරිත්‍ර පිළිපදින්නත් වෙලා

අරණායක ප්‍රාදේශිය ලේකම් කලාපයට අයත් සබරගමු පළාත් මායිමේ පිහිටා ඇති ගම්මාන හතරක පමණ ජිවත් වන දුප්පත් දෙමළ වතු ජනතාවගේ දරුවන්ට පාසල් අධ්‍යපනය වෙනුවෙන් නිසි පාසලක් නොමැති කම නිසා මේ වන විට පාසල් දරුවන් 110 ක් පමණ තෝරා ගත් පාසල් කිහිපයක් වෙත යන්නේ දෛනිකව කිලෝමිටර් 28 ක දුරක් කැලෑ මැද අඩිපාරක් දිගේය.

එම දරුවන්ගෙන් තවත් පිරිසක් කිලෝමිටර් 10 ක පමණ දුරක් ගෙවා ගෙන අරණායක දිප්පිටිය නගරයේ පිහිටි මුස්ලිම් මහා විද්‍යාලයට පැමිණියද එම පාසලේදි මෙම සිසුන්ට ඉස්ලාම් ආගමත් එම මුස්ලිම් දරුවන් පාසලට යන විට අදින පර්දාව ඇතුලු ඉස්ලාම් ආගමේ ක්‍රමයට ඇදුම් ඇදිමට බලපෑම් සිදු වෙන බව දෙමළ දරුවන්ගේ මාපියයෝ පවසති. දරුවන්ට අධ්‍යාපනය කෙසේ හෝ ලබා දිමට වෙනත් මගක් නොමැතිකම නිසා වසර ගණනවාක්ම මෙම ගැටලුවෙන් දරුවන් පිඩා විදිමින් දෙමළ දරුවන් බොහෝමයක් හින්දු ආගමික චාරිත්‍ර විදි වලින් ඇත් වි ඉස්ලාම් ආගමික මුහුණුවරක් ගැනිම මගින් අනාගයේ ගැටලු සහගත තත්වයත් අනිවාර්යෙන්ම ඇති වන බවද මාපියෝ පවසති. ඔවුන් පවසන්නේ තව ටික කාලයකින් හින්දු ආගම දන්නා එහි චාරිත්‍ර දන්නා දරුවන් මෙන්ම වැඩිහිටියන් තම ගම්මානයේ අඩු වි යන බවයි.

තවද අරණායක දෝතල් ඔය සහ අවට ප්‍රදේශ වල වතු දමිළ ජනතාවගේ මෙම ගැටලුව සම්බන්ධයෙන් කිසිදු වගකිව යුත්තෙක් අවදානය යොමු නොකිරිමේ ගැටලුව මත මෙම දරුවන්ගෙන් දිප්පිටිය මුස්ලිම් මහා විද්‍යාලයට යන දරුවන්ට හින්දු ආගමික මුහුණුවරින් වෙනස් වි ඉස්ලාම් ආගමික ඇදුම් සහ ඉස්ලාම් ආගම පවා ඉගෙනිමට සිදු වි ඇත්තේ මුස්ලිම් පාසල වෙත හින්දු ආගම උගන්වන්නට වගකිව යුත්තන් විසින් ගුරුවරුන් එම පාසල වෙත ලබා නොදිම හා එම පාසලේ විදුහල්පතිවරයාට මෙන්ම ගුරුවරුනට වතු දමිළ ජනතාවගේ දරුවන් ගැන එතරම් සැලකිල්ලක් නැති බව මෙම කරුණූ වලින් අපටද පැහැදිලි වෙයි. අරණායක දෝතල් ඔය, කැලි ගෲප් , තලපාල, නාරංගල, අඔදෙනියවත්ත, අලුප්තැන්න යන ප්‍රදේශවල බොහෝ දෙනෙක් ඉහත ගැටලුවෙන් පිඩා විදිති.

මෙම ගම්මානවල පිහිටා ඇති තේ වතු වල කම්කරුවන් මෙන්ම කුලි වැඩ කටයුතු කරන හරි හමන් රැකියාවන් නැති, හිසට සෙවනක් නැති ගෙවල් වල සහ අඩු පහසුකම් වලින් සමන්විත ලයින් කාමර වල ජිවත් වන දෙමළ ජනතාවගෙන් වැඩි දෙනෙක් සිටිති. මෙම සමාගම් වතු වල වැඩ කරන දෙමළ කම්කරුවෙකුගේ වැටුප දිනකට රුපියල් 730 ත් 750 ක් වන අතර ඔවුන් දහඩියෙන් මහන්සියෙන් අපේ රටේ ජාතික ආර්ථිකයට විශාල වු දායකත්වයක් තේ කර්මාන්තය හරහා ලබා දෙයි. නමුත් ඔවුන්ගේ දරුවන්ට අද වන විට අපේ රටේ නිදහස් අධ්‍යාපනයේ දොරගුලු වැසි ගොස් ඇත.

රජයේ ග්‍රාම නිලධාරි කාර්යාලය හැරුණු විට මෙම වතු වල කිසිදු පහසුකමක් නැති අතර දැනට මෙහි පාසල් යන වයසේ පසුවෙන දරුවන් 110 ක් පමණ සිටින අතර ඔවුන්ගෙන් කොටසක් මධ්‍යම පළාතේ පිහිටා ඇති දොළොස් භාගේ දෙමළ මහා විද්‍යාලයට යන්නේ තම වත්තේ සිට කිලෝමිටර් 14 ක පමණ දුරක් කඳු හෙල් කැලෑ රෝදවල් මෙන්ම දිය පහරවල් සහ විෂ උරගයින් මෙන්ම දිවියන් ඇතුලු සතා සිවුපාවගෙන් බේරෙමින් දිනකට කිලෝමිටර් 28 ක් ඇවිද ගොස්ය. දැනට මෙම පාසල වෙත යන වයසින් අඩුම දරුවාට අවුරුදු 10 ක් වන අතර ඔවුන් නිවසින් පිටත් වෙන්නේ උදෑසන 4 පසුවි එළියට වැටෙන්නට කලින්ය.

පාසල් හැරි නැවත කැලෑ පාරෙන් නිවස වෙත පැමිණෙන විට රාත්‍රිය ළ වන්නේ ලංකාවේ බොහෝ මං මාවත් සංවර්ධනය වන කාලයක මේ ජනතාවගේ ගැටලු සම්බන්ධයෙන් සොයා බලන්නට කිසිවෙකුටවත් තිබෙන උවමනාව සහ වගකිමක් නොමැති කම නිසාය. අරණායක දෝතල්ඔය වත්තේ සිට මෙම කිලෝමිටර් 14 ක කොටස කාපට් ඇතුරා සංවර්ධනය කර හොත් ඒ මගින් සබරගමු පළාත සහ මධ්‍ය පළාත යා වෙනවාත් සමගම මේ ජනතාවගේ බොහෝ ගැටලු ප්‍රශ්න මෙන්ම මෙම දරුවන්ගේ පාසල් අධ්‍යාපනයට පවා විශාල පහසුවක් ඇති වෙයි. වැස්සට ඉතා අපහසුවෙන් මෙම මාර්ගය භාවිතා කරන දරුවන් සවස් කාලයේ නිවසට පැමිණෙන විට මත්ද්‍රව්‍ය බී ගත් බේබද්දන් මෙන්ම රස්තියාදු කාරයන්ගෙන් පවා විවිධ වු අපසුතාවයන් වලට ලක් වෙන බියෙන් සමහර මාපියන් කණ්ඩායම් ගත වි දරුවන් නිවස වෙත එන තෙක් ඔවුන්ගේ ආරක්ෂාවට යති. පාසලේ පන්ති පැවැත්වෙන දිනයන්හිදි සමහර දරුවන් මහ රෑ නිවස වෙත එන්නේ මෙම මාර්ග අපසුතාවය නිසාවෙන්ය.

මෙම වත්තේ ජිවත් වෙන තවත් පිරිසක් කිලෝමිටර් 7 ක් පමණ දුර ගෙවා සිංහල පාසල් වෙත දරුවන් අධ්‍යාපනයට යවන අතර ඒ යන්නේ ද 10 කට ආසන්න පිරිසකි. දරුවන් 90 කට වැඩි කොටසක් අධ්‍යපනය ලබන්නේ දැනට වසර 40 කටත් වඩා ඈත අතීතයක සිට දිප්පිටිය මුස්ලිම් මහා විද්‍යාලයටයි. එම පාසල වෙත එන්නේ කිලෝමිටර් 10 කට ආසන්න දුරක් ගෙවා ගෙන වුවත් එම පාසල වෙත පැමිණෙන්ට ඔවුන්ට ගමේ සිට බස් රථ සේවාවන් ඇත්තේ ඒ වන තෙක් ගමන් කරන්නට මාර්ගය දැනට වසර 4 කට පමණ පෙර කාපට් අතුරා සංවර්ධනය කර තිබිම නිසාය.

මෙම පාසලට පැමිණෙන දෙමළ ජනතාවට දැනට වසර ගණනාවක්ම සිදු වි ඇති ආසාධාරණය නම් මුස්ලිම් පාසලක් වන එහි දරුවන් සිටිය යුත්තේ එම පාසලේ අනිකුත් මුස්ලිම් ජනතාව අදින පලදින විදිහට ගැහුණු දරුවන් පර්දාව ඇදගෙනයි. පිරිමි දරුවන් ද මුස්ලිම් තොප්පිය දමා සිටිය යුතු නිතීයක් මෙම පාසලේ පාලන අධිකාරිය විසින්ම නිතී ගත කරගනිමින් එය කාලයක සිට පවත්වාගෙන එමින් තිබුණි.

කිහිප වතාවක්ම දෙමළ ජනතාවගේ දෙමාපියන් මේ සඳහා විරෝධතාවය ප්‍රකාශ කර තිබුණත් විදුල්පතිවරයා ඇතුලු ගුරුමණ්ඩලය පවසා ඇත්තේ එය එසේ වෙනස් කිරිමට හැකියාවක් නොමැති බවයි. දෙමළ දරුවන්ගේ මාපියන් තම දරුවන් වෙනත් පාසල්වලට යවන්නට හෝ උත්සාහ කර නැත්තේ වෙනත් දෙමළ මාධ්‍යයේ පාසලක් ඒ ආසන්නයේ නොමැති කම නිසාවෙනි. තවද මාපියන් කිහිප අවස්ථාවක් ගොස් කලාපයෙන් හා පාසලෙන් ඉල්ලිමක් කර ඇත්තේ පාසලේ දෙමළ ජනතාවගේ දරුවන්නට හින්දු ආගම උගන්වන්නට ගුරුවරයකු පාසල වෙත ලබා දෙන ලෙසයි. නමුත් ඊට විදුහල්පතිවරයාගෙන් හෝ වගකිව යුත්තන්ගේ අවධානය යොමු වි නොමැති අතර දෝතල්ඔය වත්තේ දමිළ සිසුන්ගේ මාපියන් පිරිසක් ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යංශයට පවා ගොස් මේ සම්බන්ධයෙන් බලධාරින් දැනුවත් කර තිබුණූ අතර ඒවායින් සමහරක් ලියුම් කඩදාසි වලට පමණක් සිමා විය.

නාංරගල වත්තේ ක්‍රිස්නවේන් තම දරුවන්ගේ පාසල් අධ්‍යාපනය පිළිබඳ මෙසේ සඳහන් කළේය.

අපේ දරුවන්ට ළඟම කියලා පාසලක් තියෙන්නේ සිංහල පාසලක් නමුත් මුස්ලිම් පාසලක් කියලා තියෙන්නේ දිප්පිටිය මුස්ලිම් මහා විද්‍යාලය. එම පාසලෙන් තමයි මමත් ඉගෙනුම ලැබුවේ. ඒ කාලේ අපේ වත්තේ දෙමළ පාසලක් තිබුණා. ඒ පාසල කනිෂ්ඨ පාසලක් එහි ප්‍රාථමික අධ්‍යාපනය හදාරලා දිප්පිටිය මුස්ලිම් මහා විද්‍යාලයේ අධ්‍යාපනය ලැබුවා.

ඒ පාසලේ ඉගෙනුම ලැබුවා කියලා අපිට මේ වාගේ කරදරයක් තිබුණේ නැහැ. නමුත් අපේ වත්තේ ඉදලා එම පාසලට දැන් යන ළමයින්ට මුස්ලිම් අය කියන විදිහට “ පර්දාව ” දාගෙන පිරිමි ළමයින්ට මුස්ලිම් තොප්පිය දාගෙන එන්න කියලා දැන් ඉන්න පාසලේ විදුහල්පතිවරයා ඇතුළු ගුරුමණ්ඩලය කියනවා අපේ සමහර දරුවෝ දැන් පාසල් යන්න බැහැ කියලා අඩනවා.

සමහර අය පාසල් යන්නේ නැතිව නැවතිලා ඉන්නවා. ඒ නිසා අපිට හින්දු ආගම ඉගෙන ගන්න ගුරුවරයෙක් ඉල්ලලා මෑතකදිත් වසරකට වැඩි කාලයක ඉදන් උත්සාහ කලා අපි පාසලේ විදුහල්පතිවරයා සහ ගුරුවරුන්ට කිවත් ඒවා ගණන් ගත්තේ නැහැ. යන්න තියෙන අධ්‍යාපන කාර්යාලවලටත් ගිහිල්ලා එහෙනුත් ලියුමක් අරගෙන ඇවිත් දුන්නත් ඒම ලියුම්වත් භාර ගත්තේ නැහැ.

අපේ ළමයින්ට අනිවාර්යෙන් හින්දු ආගම ඉගෙන ගන්න ඔනෑ. කරුණාකාරලා අපේ ළමයින්ට හින්දු ආගම ඉගෙන ගන්න ගුරුවරයෙක් ලබලා දෙන්න කියලා අපි ඉල්ලන අතරේ අපිට අපේ සංස්කෘතිය විදිහට එම පාසලේ ඉගෙන ගන්න අවස්ථාව ලබා දෙන්න කියලාත් ඉල්ලන්න කැමැතියි. ඒ වාගේම මෙම පාසලේ දරුවන් භාර ගැනිමට රුපියල් 15000 ක මුදලක් ඉල්ලනවා කියලා ආරංචියක් තිබෙනවා. අපි වතු වල ඉන්න ජනතාව එච්චර ගෙවන්න අපිට මුදලක් නැහැ. ඒ සඳහාත් අපිට පිළියමක් කරලා දෙන්න. අපේ දරුවෝ දෙන්නෙක් පාසල් ගියොත් අපි 30,000 ගෙවන්න ඔනෑ අපිට එච්චර සල්ලි කොහෙන්ද ?

මාවනැල්ල විශේෂ සමන් විජය බණ්ඩාර

 

නව අදහස දක්වන්න