තේරීම් කාරක සභාවට නාම යෝජනා කැඳවයි | දිනමිණ


 

තේරීම් කාරක සභාවට නාම යෝජනා කැඳවයි

ස්වර්ණා විජේකෝන්

අට වැනි පාර්ලිමේනතුවේ සිව්වැනි සැසිවාරයට අදාළ “තේරීම් කාරක සභාව’’ පත්කිරීමට නාම යෝජනා කැඳවීමට ඊයේ (13) රැස් වූ පාර්ලිමේන්තුවේ පක්ෂ නායක හා දේශපාලන පක්ෂ නියෝජිත රැස්වීමේ දී තීරණය විය.  මේ අනුව පක්ෂ විපක්ෂ නියෝජිතයන්ට අදාළ නාම යෝජනා ලබන බ්‍රහස්පතින්දා (16) පස්වරු 3ට පෙර පාර්ලිමේන්තු මහලේකම් කාර්යාලයට ලබා දෙන ලෙස කථානායකවරයා දැනුම් දී තිබේ. ඊට අදාළ යෝජනාව ලබන 21 දා පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයට ඇතුළත් කිරීමට ද නියමිතය.

පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 114 අනුව සෑම සභා වාරයක් ආරම්භයේ දීම ‘’තේරීම් කාරක සභාවක්’’ යනුවෙන් හැඳින්වෙන කාරක සභාවක් පත් කළ යුතු අතර, එමගින් අනෙකුත් කාරක සභාවල සේවය සඳහා මන්ත්‍රීවරුන් නම් කිරීම ඇතුළු අදාළ අනෙකුත් කටයුතු තීරණය කිරීම සිදුවේ. මෙම තේරීම් කාරක සභාව කථානායකවරයාගේ සභාපතිත්වයෙන් සහ දේශපාලන පක්ෂවල නායකයන් හෝ ඔවුන්ගේ නියෝජිතයන් ඇතුළත්ව පාර්ලිමේන්තුව එක් එක් සභා වාරය ආරම්භයේ දී නම් කළ යුතු සාමාජික මන්ත්‍රීවරුන් දොළොස්දෙනකුගෙන් සමන්විතව පත් කෙරේ.

එමෙන්ම ඊයේ (13) පැවැති පක්ෂ නායක රැස්වීමේ දී ලබන 21, 22, 23, 24 යන දිනවල දී පාර්ලිමේන්තු රැස්වීම් පැවැත්වීමට තීරණය විය. මේඅනුව 21 දා ධීවර සහ ජලජ සම්පත් පනත යටතේ නියෝග 9ක් ද 22 දා ඉදිකිරීම් කර්මාන්ත හා සංවර්ධන පනත යටතේ නියෝග 3ක් ද, 23දා වන සත්ත්ව හා වෘක්ෂලතා ආඥා පනත යටතේ නියෝග 4ක් ද විවාදයට ගැනීමට නියමිත අතර, 24දා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසා මහතා වෙනුවෙන් ශෝකය පළ කිරීමේ යෝජනාව ඉදිරිපත් කිරීමට තීරණය විය.

කථානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති රැස්වීමට සභානායක, අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක , අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා , පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල සහ පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානායක යන මහත්වරු එක්වූහ.

නව අදහස දක්වන්න