වත්මන් ආණ්ඩුවේ අධ්‍යාපන විප්ලවය | දිනමිණ


 

වත්මන් ආණ්ඩුවේ අධ්‍යාපන විප්ලවය

අධ්‍යාපනයේ ගුණාත්මකභාවය සහ කාර්යක්ෂමතාව ඉහළ නැංවීමට නවීකරණය හා නූතන ප්‍රවේශ පදනම් කර ගනිමින් සුදුසු පසුබිමක් නිර්මාණය කිරීම රජයේ මෙන්ම විශ්වවිද්‍යාලවල අරමුණු බවට පත්වී ඇත. මෙතෙක් කාලයක් පාසල් පද්ධතිය තුළ බොහෝ දරුවන් උසස් පෙළින් පසු අධ්‍යාපන කටයුතු අවසන් කිරීමට පෙළඹිණි. පාසල තුළින් ලබා දෙන අධ්‍යාපනය දරුවන්ට අනිවාර්ය වුවත් දහතුන් වසරක් සහතික කළ අධ්‍යාපනයට වටිනාකමක් ලබා දුන්නේ වර්තමාන ආණ්ඩුවයි.

ලෝකයේ සංවර්ධිත රටවල් විසින් ලෝකය සමඟ ගනුදෙනු කළ හැකි තම දේශයට අනන්‍ය වූ වෘත්තීන් බිහිකරන ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියක් අනුගමනය කරනු ලබයි. අමෙරිකාව, චීනය, රුසියාව, ජපානය වැනි රටවල් නිදසුන් ලෙස දැක්විය හැකිය. නමුත් ශ්‍රී ලංකාවේ පවතින්නේ ආණ්ඩුවෙන් ආණ්ඩුවට වෙනස් අධ්‍යාපන ප්‍රතිපත්තියකි. මෙසේ ප්‍රතිසංස්කරණ හඳුන්වාදීම අධ්‍යාපන ක්ෂේත්‍රයේ ගැටලු ඇතිවීමට බලපා ඇත. විවිධ ආණ්ඩු හඳුන්වා දුන් ඇතැම් ප්‍රතිසංස්කරණ සාර්ථක වී ඇති අතර ඇතැම් ප්‍රතිසංස්කරණ අසාර්ථක වී ඇත. රටේ ඉදිරි ගමනට අවශ්‍ය වන්නේ වෙනස් නොවන ශක්තිමත් අධ්‍යාපන රටාවක් බව හඳුනා ගනිමින් වර්තමාන ආණ්ඩුව අධ්‍යාපනය සඳහා පහසුකම් සැපයීම හා ප්‍රමිතීන් සැකසීම කාලෝචිතය.

රැකියා වෙළෙඳපොළ ඉලක්කය

නිදහස් අධ්‍යාපන ක්‍රමයක් අප රටේ පැවතියද අධ්‍යාපන පහසුකම් පිළිබඳ ගැඹුරු විෂමතාවක් පවතී. මෙරට අධ්‍යාපනය හා රැකියා වෙළෙඳපොළ අතර සෘජු සම්බන්ධයක් නැත. එහෙත් දියුණු රටවල් වෘත්තීය කුසලතා සහිත පුද්ගලයන් නිර්මාණය කිරීමට අධ්‍යාපනය ඉවහල් කර ගනියි. දියුණු රටවල් ශීඝ්‍ර සංවර්ධනයක් කරා ගමන් කිරීමට හේතු වූයේ ද මෙයයි. ශ්‍රී ලංකාවේ සංවර්ධනය අඩු මට්ටමක පැවතීමට හේතු වී ඇත්තේ වෘත්තීය අධ්‍යාපනය පිළිබඳව අඩු උනන්දුවක් දැක්වීමයි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය විදේශීය අත්දැකීම් පාදක කර ගනිමින් නූතන අධ්‍යාපනය හා රැකියා වෙළෙඳපොළ අතර සම්බන්ධය ගොඩනැගීමට රටට හා ලෝකයට ගැළපෙන ජාතික අධ්‍යාපනයක් ගොඩනැගීමට ගන්නා උත්සාහය සාධනීය වන්නේ මේ තත්ත්වය තුළය.

අනාගත දැනුම කේන්ද්‍රීය සංවර්ධනය සඳහා මානව ප්‍රාග්ධන පදනම සකස් කිරීමේ අරමුණෙන් මෙම වසරේ සිට විශ්වවිද්‍යාලවලට සිසුන් බඳවා ගැනීම සියයට විසිපහක් දක්වා වැඩි කිරීමට රජය අවධානය යොමු කර ඇත. මේ සමඟම විශ්වවිද්‍යාල පද්ධතිය නවීකරණය වූ අංගෝපාංග සහිතව ප්‍රතිනිර්මාණය කිරීමට අවධානය යොමු කිරීමෙන් සමස්ත ක්‍රියාවලියම ඵලදායී කරගත හැකිය. රටේ අනෙකුත් ක්ෂේත්‍ර ශීඝ්‍රයෙන් සංවර්ධනය වන මොහොතක මෙම වැඩපිළිවෙළ යටතේ පහසුකම් සහිත ගුණාත්මක අධ්‍යාපනයක් ලැබීමට සෑම විශ්වවිද්‍යාල ශිෂ්‍යයකුටම අවස්ථාව ලබා දෙන්නේ නම් එය හොඳ ප්‍රවණතාවයකි. මෙම වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීමට අධ්‍යාපන විශේෂඥයන්ගේ දැනුම ලබා ගත යුතුය.

පවතින අධ්‍යාපන ක්‍රමවේදය තුළ ශාස්ත්‍රීය අධ්‍යාපනයට මුල් තැන දීම නිසා සිසුන් ප්‍රා‍යෝගික ක්‍රියාකාරකම්වලදී විශාල පසුබෑමකට පත්ව ඇත. විවිධ මානසික රෝගී තත්ත්වයන්ට පත්වීම මෙහි ප්‍රතිඵලයකි. ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව මෙරට පාසල් ශිෂ්‍යයන්ගෙන් 10% - 15% ක් පමණ දියවැඩියාවෙන් පෙළෙන අතර 6%ක් ස්ථූලතාවයෙන් පෙළෙති. මානසික සෞඛ්‍ය පරිහානිය බැලූ බැල්මට නොපෙනුණද ඒ මගින් දරුවාට විශාල හානියක් සිදු වේ. එය ඊට වඩා භයානක තත්ත්වයකි.

ගෝලීය පාසල් ශිෂ්‍ය සෞඛ්‍ය සමීක්ෂණ (2008) අනුව අවුරුදු 13 – 15ක් වයස් කාණ්ඩයේ ළමයින්ගෙන් 10% කට ආසන්න සංඛ්‍යාවක් වසරක් ඇතුළත වරක් හෝ කිහිපවරක් සියදිවි හානිකර ගැනීමට සිතන බව අනාවරණය කරගෙන ඇත. පොලිස් වාර්තාවලට අනුව වැඩිහිටියන්ගේ සියදිවි හානි කර ගැනීම් අඩු වෙමින් පැවතිය ද ළමා සහ තරුණ සියදිවි හානිකර ගැනීමේ ප්‍රතිශතය වැඩිවෙමින් පවතී. ශාස්ත්‍රීය අධ්‍යාපනයට පමණක් යොමු වූ දරුවා දැනුම විසින් බලවත් කළ ද සමාජයේ ප්‍රායෝගික ක්‍රියාකාරකම් හා තුලනාත්මක වන්නේ නැත. වර්තමාන අධ්‍යාපනයේ ඇති තරගකාරී බව දරුවාගේ ශික්ෂණය හා හික්මීම පවා නැති කර ඇත. රස වින්දනයට, කාර්මික හා තාක්ෂණ අධ්‍යාපනයට නිසි තැනක් නොදීම ඊට හේතුවයි.

ඉන්දියාවේ පූනෙ විශ්වවිද්‍යාලයේ විෂය සමගාමී හැදෑරීම් කරන කාලය තුළ ශාස්ත්‍රීය අධ්‍යාපනයට මෙන්ම ප්‍රායෝගික පුහුණුව තුලනාත්මකව ලබා දෙනු ලබයි. රාත්‍රී කාලයේදී පවා විශ්වවිද්‍යාල සිසුන්ට තමන් හදාරන විෂය සමගාමී පුහුණුවීම් හා ප්‍රායෝගික අත්දැකීම් ලබා ගැනීමට දේශන ශාලා වෙන් කර ඇත. මෙවැනි ක්‍රමවේද අප විශ්වවිද්‍යාල තුළ ද ක්‍රියාත්මක කිරීම මඟින් විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ට සම්පත් උපරිමයෙන් පරිභෝජනය කිරීමට අවස්ථාව සලසා දිය හැකිය.

දේශන ආකෘති තුළට නව ක්‍රමවේද අන්තර්ගත කරමින් සාම්ප්‍රදායික ක්‍රමවලින් බැහැරව නවීන ලෝකයට ගැළපෙන විද්‍යාර්ථයකු නිර්මාණය කිරීම සිදුවිය යුතුය. රාජ්‍ය විශ්වවිද්‍යාලවල පවතින භෞතික සම්පත් හිඟකම හා ඇතැම් විෂයයන් පිළිබඳ ප්‍රාමාණික දැනුම ලබා ගත හැකි සම්පත් දායකයින්ගේ හිඟකම එයට බාධකයක් ලෙස බලපා ඇත. විශ්වවිද්‍යාල තුළ වාර්ෂිකව පර්යේෂණ රැසක් සිදු කළත් එයින් බොහොමයක් නිබන්ධනවලට පමණක් සීමාවී තිබීම හා පර්යේෂණ සිදු කරන ආයතන දියුණු තත්ත්වයේ නොපැවතීම ද කණගාටුදායකය.

නවීන ක්‍රමවේද

සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ද මේ හා සමාන බරපතළ ගැටලු පවතින අතර හෙද විදුහල් තුළින් හෙද උපාධිධාරීන් බිහිකිරීමට සුදුසු වැඩපිළිවෙළක් රට තුළ ක්‍රියාත්මක වන්නේ නැත. රටේ සංවර්ධනයට සෘජු දායකත්වයක් සපයන සෞඛ්‍ය ක්ෂේත්‍රය කෙරෙහි මීට වඩා අවධානයක් යොමු කළ යුතුය. ශ්‍රම වෙළෙඳපොළ තුළ වඩු, පෙදරේරු, ජල නළ කාර්මික යන අංශ පිළිබඳ ඉහළ දැනුමක් ලබා දෙමින් ඔවුන් වෘත්තීමය සුදුසුකම් දක්වා රැගෙන යන විධිමත් වැඩපිළිවෙළක් තවමත් සකස් වී නොමැත. මෙම වෘත්තිකයන්ගේ සේවය ලබා ගැනීමට අවශ්‍ය පහසුකම් විශ්වවිද්‍යාල තුළ නිර්මාණය කළ යුතුය. එම සැලසුම් පුළුල් කරමින් විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ඇතුළු විශ්වවිද්‍යාල ප්‍රජාවගේ සහය ලබාගැනීමට මූල්‍ය, තාක්ෂණ හා කළමනාකරණ සහය ලබා දීමට පියවර ගනිමින් ඔවුන් දිරි ගැන්විය යුතුය.

භාෂා හැකියා, සන්නිවේදන හා තාක්ෂණික කුසලතා දියුණු කිරීමට අවශ්‍ය දැනුම ලබා ගැනීමට හැකි නවීන ක්‍රමවේද කෙරෙහි අවධානය යොමු කළ යුතු ය. නව ලෝකය ජයගත හැක්කේ නව ගෝලීය ප්‍රවණතාවන්ට හා අභියෝගයන්ට නව මානයන්ගෙන් ප්‍රවිශ්ට වීමෙනි. විශ්වවිද්‍යාල සිසුන්ගේ නව අදහස්, නිර්මාණාත්මක සිතුවිලි හා නව චින්තන රටා ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීමට හැකිවන පරිදි දේශන ශාලා නවීකරණය කරමින් අධ්‍යාපනය කෙරෙහි අවධානය යොමු කිරීම කාලීන අවශ්‍යතාවයකි.

අධ්‍යාපනය වෙනුවෙන් වැය කරන මුදල හෙට දවසේ ආයෝජනයකි. ශ්‍රී ලංකාව වැනි රටකට ඇති ප්‍රධානතම සම්පත මානව සම්පත බව හඳුනාගනිමින් රජය විශ්වවිද්‍යාලවලට සිසුන් ඇතුළත් කර ගැනීමේ ක්‍රියාවලිය විනිවිද භාවයකින් සිදු කිරීමේ ප්‍රවණතාවය දැකගත හැකිය. ඒ සඳහා රජය ගෙන ඇති පියවර හා සැලසුම් ශක්තිමත් වීමත් ඒ සඳහා අවශ්‍ය මානසික පරිසරයත් විශ්වවිද්‍යාල තුළ සකස් විය යුතුය.

කාර්යක්ෂමතාව

ඉහළ නැංවීම

ජාත්‍යන්තර ප්‍රමිතියකට අනුව අප රටේ ප්‍රතිපත්ති සකස් කරමින් නව්‍ය දැනුම සහිතව, තොරතුරු තාක්ෂණ ලෝකය හා ජාත්‍යන්තරය ජයගත හැකි වන පරිදි විශ්වවිද්‍යාල සිසුන් පුහුණු කිරීම කාලීන අවශ්‍යතාවයකි. මේ පිළිබඳ සැලකිල්ලට ගනිමින් ඉදිරි වසර කිහිපය තුළ අධ්‍යාපන ක්ෂේත්‍රයේ නව පෙරළියක් සිදු වෙනු ඇතැයි අපේක්ෂා කළ හැකිය.

අධ්‍යාපන ක්ෂේත්‍රයේ පවතින ගැටලු හඳුනා ගනිමින් ඊට විසඳුම් ලබා දීමට රජය ක්‍රියාකරන ආකාරය සාධනීය මට්ටමක පවතී. විධිමත් අධ්‍යාපනයක් රට තුළ ක්‍රියාත්මක වන නිසා මෙහි ප්‍රතිලාභ සිසුන්ට සමානව ලබා දීමට මෙම ක්‍රියාමාර්ගය රජය විසින් ගෙන ඇතැයි විශ්වාස කළ හැකි අතර අධ්‍යාපනයේ ස්වර්ණමය යුගයක් උදා වනු ඇතැයි අනුමාන කළ හැකිය.

අධ්‍යාපනයේ ගුණාත්මකභාවය සහ කාර්යක්ෂමතාව ඉහළ නැංවීමට නවීකරණය හා නූතන ප්‍රවේශ පදනම් කර ගනිමින් සුදුසු පසුබිමක් නිර්මාණය කිරීම රජයේ මෙන්ම විශ්වවිද්‍යාලවල අරමුණු බවට පත්වී ඇත. මෙතෙක් කාලයක් පාසල් පද්ධතිය තුළ බොහෝ දරුවන් උසස් පෙළින් පසු අධ්‍යාපන කටයුතු අවසන් කිරීමට පෙළඹිණි. පාසල තුළින් ලබා දෙන අධ්‍යාපනය දරුවන්ට අනිවාර්ය වුවත් දහතුන් වසරක් සහතික කළ අධ්‍යාපනයට වටිනාකමක් ලබා දුන්නේ වර්තමාන ආණ්ඩුවයි. විශ්වවිද්‍යාල අධ්‍යාපන අවස්ථා පුළුල් කරමින් මෙරට වැඩි සිසුන් පිරිසකට දැනුම ලබා ගැනීමට අවශ්‍ය පහසුකම් පුළුල් කිරීම ඉතා හොඳ තත්ත්වයකි.

වර්තමාන ලෝකයේ බොහෝ රටවල අධ්‍යාපන ක්ෂේත්‍රයෙහි ශිෂ්‍යයන්ගේ දැනුම හා කුසලතා සංවර්ධනයට විශ්වවිද්‍යාලවලට සුදුසුකම් ලබා දීමේ ප්‍රමුඛතාවය කෙරෙහි අවධානය යොමු කළ යුතුය. විද්‍යුත් තාක්ෂණික මෙවලම් බහුලව භාවිතා වන යුගයක මෙවැනි ප්‍රවේශයකින් කටයුතු කිරීම ඉතා වැදගත් වේ. දියුණු තාක්ෂණික මෙවලම් ලෙස පරිගණකය, අන්තර්ජාලය, සැටලයිට් තාක්ෂණය, වීඩියෝ සාකච්ඡා හා සම්මන්ත්‍රණ හා ස්කයිප් තාක්ෂණය භාවිතා කරමින් විශ්වවිද්‍යාල අධ්‍යයන ක්‍රමවේදය විධිමත් කිරීමටත් නව දැනුම සොයා යාමේ අවස්ථා පුළුල් කිරීමටත් ගෙන ඇති පියවර දියුණු මට්ටමකට රැගෙන ආ යුතුය. විද්‍යුත් ඉගැන්වීම විශ්වවිද්‍යාල ආචාර්යවරුන් තම දේශනවලට අදාළ තොරතුරු ලබා ගැනීමට ද, ශිෂ්‍යයන් තොරතුරු ගවේෂණයට ද හුරු කරවීම් විශ්වවිද්‍යා අධ්‍යාපනයේ ප්‍රධාන අංගයක් බවට පත් කිරීම සාධනීය පියවරකි.

ගුරුවරුන් සඳහා උපාධිධාරීන් බඳවා ගනිමින් විද්‍යා පීඨවලට විශ්වවිද්‍යාල තත්ත්වයක් ලබා දීම මෙරට අධ්‍යාපන ක්ෂේත්‍රයේ ගුණාත්මක බව ඉහළ යාමට හේතුවක් වේ. උසස් පෙළ ප්‍රතිඵල නිකුත් වී කෙටි කලක් තුළ විශ්වවිද්‍යාලවලට ළමුන් ඇතුළත් කර ගැනීම සඳහා ක්‍රමවේදයක් සැකසීම, පුරප්පාඩු ඇති ආයතන සොයා බලා රැකියා විරහිත උපාධිධාරීන් පුහුණුව සමගින් ආයතනවලට බඳවා ගැනීම, රටට හා ආර්ථිකයට ගැළපෙන ශ්‍රම බළකායක් බිහිකිරීමට සුදුසු විෂය නිර්දේශ සකස්කිරීම උසස් පෙළ සමත් සියලු දරුවන්ට උසස් අධ්‍යාපන අවස්ථා ඇති කරමින් තොරතුරු තාක්ෂණ විෂයට ප්‍රමුඛත්වය ලබා දීම කෙරෙහි ජනාධිපතිවරයා අවධානය යොමු කර ඇත.

අධ්‍යාපන ක්ෂේත්‍රය පිළිබඳ අවධානය යොමු කරමින් අධ්‍යාපනය නවීකරණය කිරීමට ගුරු පුහුණුව හා විෂය මාලා සංවර්ධනය කරමින් රට සංවර්ධනය කරා මෙහෙයවිය හැකි දරු පරපුරක් නිර්මාණය කිරීමට දැඩි උත්සාහයක නිරත වේ.

අවශ්‍යතාව අනුව

පාඨමාලා

රටේ අවශ්‍යතා සොයා බලා පාඨමාලා සකස් කිරීමේ අවස්ථාව විශ්වවිද්‍යාලවලට ලබා දීමෙන් රටට අවශ්‍ය ශ්‍රම බළකාය බිහි කිරීමට විශ්වවිද්‍යාල පද්ධතිය ඉවහල් කරගත හැකිය. ඒ සඳහා සුදුසු ක්‍රමවේද සකස් කරමින් රැකියා විරහිත උපාධිධාරී යන ලේබලයෙන් උපාධිධාරියා මුදාගත යුතුය.

දියුණු රටවල අධ්‍යාපන ක්‍රමයෙන් සමාජගත කරන පුරවැසියා රටවල් කෙරෙහි හා පුරවැසියන් කෙරෙහි ධනාත්මක ආකල්පයකින් යුක්තවේ. ඔවුන් ශ්‍රම ඵලදායීතාව, කාලයේ ඵලදායිතාව මෙන්ම භූමි‍ෙය් ඵලදායිතාව වර්ධනය කර ගනිමින් රටේ ආර්ථික වර්ධනයට උපරිම දායකත්වය ලබා දෙයි. සමබර පෞරුෂයකින් යුත් සන්නිවේදන කුසලතා දියුණු කරමින් රටේ සහ පුද්ගලයාගේ අනාගතය කෙරෙහි සුබවාදීව බැලිය හැකි පුරවැසියකු නිර්මාණය කිරීම ජපානය, ෆින්ලන්තය වැනි රටවල අධ්‍යයන ක්‍රමවේදයන්ගෙන් සිදු වේ.

වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තාක්ෂණය පදනම් කරගත් ආර්ථිකයක් ගොඩනැගීමට අවධානය යොමු කර ඇත. රටේ දියුණු ආර්ථිකයක් ඇති කිරීමට නම් පළමුව රට තාක්ෂණික නිපැයුම්වලින් දියුණු තත්ත්වයකට පත් කළ යුතුය. ශ්‍රී ලාංකේය සමාජය අන්තර්ජාලය හා සමාජ මාධ්‍ය වෙත වැඩි අවධානයක් යොමු කරන මොහොතක ඩිජිටල්කරණය අධ්‍යාපන ක්ෂේත්‍රය වෙත පූර්ණ වශයෙන් යොදා ගත යුතුය. ඩිජිටල් අභියෝගයන් සඳහා සිසුන් හුරුකරලීමත් මෙරට විශ්වවිද්‍යාල ක්ෂේත්‍රයේ අධ්‍යාපන ක්‍රමය ඩිජිටල්කරණය වෙත රැගෙන යාමෙන් කාලය, අවකාශය හා දුර යන බාධාවන්ට කෙටි විසඳුම් සකසා ගත හැකිය. රටේ අනාගත පරපුරට උසස් ජීවන තත්ත්වයක් හිමිකර දිය හැක්කේ අධ්‍යාපනය තුළිනි. ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල ප්‍රජාව සියයට හයක් වැනි අඩු ප්‍රමාණයක් වන නිසා විශ්වවිද්‍යාලවලට සිසුන් බඳවා ගැනීම පුළුල් කිරීම දිගුකාලීන ආයෝජනයක් ලෙස පෙන්වා දිය හැකිය.

නව අදහස දක්වන්න