කුණු ප්‍රශ්නය වීමට පෙර | දිනමිණ


 

කුණු ප්‍රශ්නය වීමට පෙර

පාලි භාෂාවෙන් කියන පිරිත් කන පැලෙන්නට හයියෙන් දැම්මාට වැඩක් නැත. පැටව් ගසා ඇති රූපවාහිනි චැනල් ඔස්සේ උදේ සිට හවස් වනතුරු නිවන ගැන බණ කිව්වාට ද වැඩක් වෙන පාටක් නැත. ගුවන් විදුලි රූපවාහිනී නාලිකා ඔස්සේ උදේ හවස ගාථා කිව්වාට ද වැඩක් වී නැත. ඒ කිසිවක් මිනිසුන් යහපත් කර ලීමට අසමත් ව තිබේ. සිරිපාදයේ කුණු අපට කියන්නේ අඩු වශයෙන් තමන් වදින පුදන තැන සම්බන්ධයෙන් වත් සංවේදී වීමට අසමත් උපාසික උපාසිකාවන් මේ සියල්ල මධ්‍යයේ අප විසින් බිහි කර ඇති බව ය.

 

සිරිපාදේ වන්දනා සමය ඇරඹී ඇත. එය ඇරඹී දින දෙකක් යන විට දොළොස්මහේ පහන ළඟට යාම සඳහා අඩිය තැබිය නොහැකි තරමට කුණුවලින් පිරී තිබුණු බව “වත්පොතේ” සටහනක ලියවී තිබුණේ ය. භාවිතා කර තිබුණේ වචන පමණක් නම් මේ ප්‍රලාපයක් යැයි කියා අමතක කර දමන්නට ඉඩ තිබුණේ ය. එහෙත් සටහන සමග පළව තිබූ ඡයාරූප කියා සිටියේ වචන විශ්වාස කළ යුතු බව ය.

සිරිපාදේ නගින්නට යන අය අතර විනෝදය උදෙසා යන්නන් ද සිටින බව සැබෑ ය. එහෙත් බහුතරය සිරිපා කරුණා කරන්නේ බැතියෙනි. ගෞරවයෙනි. එසේ වූ කල මේ කුණු දැමීම අප තේරුම් ගත යුත්තේ කෙසේ ද?

අවස්ථා ගණනාවක බටහිර රටවලින් පැමිණියා යැයි සිතිය හැකි සංචාරකයින් එක්ව කුණු සුද්ධ කරන සද් ක්‍රියා කරන ලද බව ද අප දැක ගත්තේ ද වත්පොතෙනි. ගාල්ල නගරයේත්, හික්කඩුව වෙරළේත් තවත් එවැනි තැන්වලත් ඒ සුද්දන් විසින් මේ කුණු සුද්ධ කිරීමේ කටයුත්තේ නියැළී තිබු බව ඡයාරූප සමගම වාර්තා විය.

අප බැතියෙන් වන්දනාවේ යෙදෙන තැන්වල කුණු දැමීමට නො පැකිළීමත් සුද්දන් උන් විනෝදවන තැන්වල, අනුන් දැමූ කුණු, සුද්ද කිරීමට ඉදිරිපත් වීමත් අප තේරුම් ගත යුත්තේ කෙසේ ද?

අප රටේ බොහෝ දෙනකුට අනුව සුද්දන්නට හැදියාවක් නැත. ඔවුහු තමන්ගේ නිරුවත පෙන්වමින් බාගෙට අඳිති. ප්‍රශ්නයකට ඇත්තේ කුණු දැමීම මගින් ඒ වෙනුවට අප පෙන්වන්නේ අපේ කුමක් ද යන්න ය. ඒ සමගම පැන නගින සමාන්තර ප්‍රශ්නය වන්නේ අපේ කුණු සුද්ධ කිරීමට ඉදිරිපත් වීමෙන් උන් පෙරලා අපට ප්‍රදර්ශනය කරන්නේ කුමක් ද යන්න ය.

කුණු දැමිම සිරිපාදයට සීමා වූ එකක් නොවේ. එහෙත් තමන් වන්දනාමාන කරන තැනක්වත් පිරිසිදුව තබා ගැනීමට තරම් අප අකාරුණික වූයේ කෙසේ ද යන්න බරපතළ ප්‍රශ්නයකි.

සිරිපාදය කරුණා කරන අපේ උපාසක උපාසිකාවෝ සිරිපාද ස්ථානයේ නැවතී තිසරණ සහිත පන්සිල් ගැනීමට තත්පර වෙති. අඩු වශයෙන් නරක වැඩ පහකින් තමන් වැළකෙන බවට බුදුන්ට පොරොන්දු වෙති. ඒ පොරොන්දුව ඉටු කරන නොකරන එක ගැන කෙනකුට ප්‍රශ්න කළ හැකි වුව ද පොරොන්දු වීම ම යම් සංයමයක් ඇති කිරීමට සමත් නොවෙතැයි කියන්නට අපට බැරි ය.

 

කුණු දැමීමෙන් වළකිමි

 

එහෙත් සිරිපාද ස්ථානයේ අවාසනාවට හා රටේ පොදු අවාසනාවට මේ සිල් පද පහට කුණු දැමීමෙන් වළකිමි යනුවෙන් සිල් පදයක් අඩංගු වී නැත. ඇතැම් විට කුණු දමනු ලබන්නේ ඒ නිසා විය හැකි ය. අඩු වශයෙන් වන්දනා මාන කරන තැන් අපිරිසිදු කිරීමෙන් වළකිමි යැයිවත් කීවා නම් සිරිපාද ස්ථානයවත් බේරෙන්නේ ය. අඩුව ඇත්තේ එතැන ද?

කුණු දැමීමෙන් වළකිමි යනුවෙන් සිල් පදයක් නොතිබ්බාට අනුන්ගේ දේ ගැනීමෙන් වළකිමි යනුවෙන් සිල් පදයක් තිබේ. කුණු දැමීමෙන් අප කරන්නේ ඊළගට එන උදවියට අයත් පරිසරය අපට සිත් සේ භාවිතා කොට උනට අහිමි කිරිම ය. ඒ අර්ථයෙන් එය ද එක්තරා ආකාරයක හොරකමකි.

එසේ වූවාට අපේ මිනිසුන්ට එහෙම හිතන්න තරමට උනන්දුවක් නැතිවා විය හැකි ය. පන්සිල් ගන්නවා මිසක් ඒවා බරපතළ ලෙස සලකන්නට අප උගෙන නැතිවා ද විය හැකි ය.

අප දන්නා අඳුනන කෙනකු තමන්ගේ අතීතය සිහිපත් කරමින් කීවේ “අපි මැර වැඩ කළාට දහම් පාසලුත් ගියා නෙ” කියා ය. එහෙම කියන අයට අපි සතුන් මැරුවාට පන්සිලුත් ගත්තා යැයි කියන්නට බැරි කමක් නැත. බොහෝ දෙනකුගේ සිල් තිබෙන්නේ “ගැනීමට” මිස පිළිපැදීමට නොවේ.

එක අතකට මේ සම්බන්ධයෙන් මිනිසුන්ට දොස් තැබීමේ ද එහෙමට තේරුමක් නැත. බොහෝ ගාථා තියෙන්නේ අප නොදන්නා පාලියෙනි. එහෙම නොදන්නා බසකින් කියන විට එහෙමට හැඟීමක් ඇතිවන්නට විදිහක් නැත. එය සිංහල බසින් ජාතික ගීය කියන විට දෙමළ කෙනකුට ඇතිවන හැඟිමට දෙවැනි වන්නේ නැත. එක අතකට පාලියෙන් කියා ෂේප් වීමෙන් අපට වගකීමෙන් ලිස්සා යෑමේ ඉඩක් ද හැදී තිබෙන්නේ ය. මග හරින්නට කැමති අයට එය මරු ය.

ඒ නිසා ම දානෙ ගෙදර හෝ පිරිත් ගෙදර පිටිපස්සේ ඇති මඩුවට ගොස් කට කපලා එකක් දමාගෙන එන්නට තහංචියක් උපාසක මහත්තයලාට නැත. එහෙම යන එන අතරතුර ඇඟේ වැසූ මදුරුවකු ද මරන්නට පුළුවන. ඇතැම් විටක බොරු ද කියා මිත්‍ර සමාගමය සතුටු කරන්නට හෝ උන් පරයා දිනන්ට ද පුළුවන. ඒවා සිදුවන්නේ ඇතැම් විට පන්සිල් ගැනීමට පෙර ය. ඇතැම් විට පසුව ය.

උපාසිකාවන් අතර අවසන් සිල්පදය කඩන අය අඩු ය. ඒවාටත් හරියන්නට ඔය යන එන අතරේ වෙනත් සිල්පදයක් දෙකක් කඩන්නට ඔවුන්ට ද එහෙමට බාධාවක් හිරිකිතයක් නැත.

මේ සියල්ලෙන් අවසානයේ සිදු වන්නේ වෙන මොන සිල් පදය නැතත් සිව්වෙනි සිල්පදය හිටු කියමින් කැඩීම ය. සිල් නොගෙන සිටියා නම් එයින් වත් බේරෙන්නට තිබුණු ඉඩ ඒ නිසා අහෝසි වී යෑම ය.

 

සිල් පදයකින් වැඩක් වේ ද?

 

මේ සියල්ලෙන් අප තේරුම් ගත යුත්තේ කුණු දැමීමෙන් වැළකෙන බව කියන සිල්පදයක් දැම්මත් එයින් වැඩක් නොවන්නට ඉඩ තිබෙන බව ය.

මේ කුණු කතා කියන්නට වුණේ මේ වන විට කුණු, සිරිපාදයට පමණක් නොව, අපේ රටට ද, ඉනුත් නොනැවතී ලොවට ද, ව්‍යසනයක් වෙමින් තිබෙන නිසා ය. ඒ කුණු අනුභවයෙන් සත්තු ද මිය යමින් සිටින නිසා ය. පරිසරයම එක ම කුණු ගොඩක් වෙමින් ඇති නිසා ය. ඒ හරහා අපේ පැවැත්මට ද තර්ජනයක් වී ඇති නිසා ය. අඩු වශයෙන් ස්වාර්ථය පිණිස හෝ මෙයින් වැළකිය යුතු යැයි සිතන්නට තරම් කටයුතු සිද්ධ වෙමින් ඇති නිසා ය.

කුණු නිර්මාණය වීම එහෙම පිටින් ම වළක්වන්නට බැරි ය. කළ හැක්කේ එය එක්තරා දුරකට පාලනය කිරීම පමණකි. පාලනය සිදු කළ හැක්කේ නිපදවීමේ දී පමණක් නොව මිලදී ගැනීමේ දී ද පරිභෝජනයේ දී ද ,ගබඩා කිරීමේ දී ද ,ප්‍රවාහනයේ දී ද වඩා බුද්ධිමත් විධි ක්‍රම අනුගමනය කිරීම හරහා ය.

නිපදවීමේ තාක්ෂණයන් වේගයෙන් දියුණු වෙමින් තිබෙන නිසා ඒ පැත්තෙන් තරමක සක්‍රීය දායකත්වයක් අපට දකින්නට ලැබේ. පරිගණක, දුරකථන, රූපවාහිනි යන්ත්‍ර පෙර මෙන් විශාල නැත. අවම අමුද්‍රව්‍ය ප්‍රමාණයකින් ඒවා නිපදවිය හැකි ලෙස තාක්ෂණය දියුණු වී ඇත. මෝටර් රථයකට පවා වැයවන අමුද්‍රව්‍ය ප්‍රමාණයේ ද ඉන්ධන ප්‍රමාණයේ ද ඉතිරියක් කර ගත හැකි ලෙස තාක්ෂණය දියුණු වී ඇත. එහෙත් තාක්ෂණයේ දියුණුව විසින් අතුරු ප්‍රශ්න ගණනාවක් ඇති කර තිබේ. එයින් එකක් නම් බොහෝ භාණ්ඩ ඉක්මණින් කල් ඉකුත් වීම ය.

ඒවා කල් ඉකුත් වී ගිය පසු කුණු බවට පත් වන්නේ ය. ඒ කුණු දිරාපත් වන කුණුවලට වඩා අනතුරු දායක බැවින් ප්‍රශ්න ගණනාවක් ඉතිරි ව තිබේ.

පරිභෝජනයේදී පරිස්සම් වන ක්‍රම ඇතැම් රටවල ක්‍රියාත්මක වේ. ජර්මනියේ අවන්හලකින් කෑම ගෙන නොකා ඉතිරි කළොත් ඔබට දඩයක් ගෙවීමට සිදු වන්නේ ය. ඔබ කැමති දිනක නැතිව ගුවන් යානයක ඉඩ තිබෙන දිනකට ඔබේ ගමන සැලසුම් කළ හැකි නම් ඔබට ගෙවන්නට වන්නේ අඩු මුදලකි. එමගින් ඔබට වාසියක් අත් කර දෙන අතරේදී ගුවන් ගමන් සඳහා භාවිතාවන ඉන්ධනවල ඉතිරියක් ද කර ගත හැකි ය. ඒ නිසා ම වායුගෝලයට අනවශ්‍ය ලෙස එක් වන අපද්‍රව්‍ය අවම කර ගත හැකි ය.

 

කුණු කළමනාකරණය

 

කුණු පාලනය කිරීම අපහසු වුව ද අපට එය වඩාත් බුද්ධිමත් ලෙස කළමනාකරණය කළ හැකි ය. කුණු බොහෝ විට වෙනත් දේ සඳහා භාවිතා කළ හැකි සම්පතකි. කුණු ලෙස බැහැර කරන දෙයින් බොහෝ අලුත් දෑ නිර්මාණය කළ හැකි ය. ඒවා ප්‍රතිචක්‍රීයකරණය කළ හැකි ය. ඇතැම් කුණුවලින් පොහොර ද ඉන්ධන ද නිපදවිය හැකි ය. කෙටියෙන් කිවහොත් කුණු මුදල් කළ හැකි ය.

මේ වැඩි හරියක් දේ කර තිබෙන්නේ ව්‍යාපාරික අයාතනවලිනි. අපට ද පෞද්ගලික ව මේ කටයුත්තට දායක විය හැකි ය. කොම්පොස්ට් බඳුනකින් ඔබේ ඉවතලන අහාර ද්‍රව්‍ය සියල්ල පොහොර කර ගත හැකි ය. කඩයට ගොඩ වදින විට ඔබ ළඟ දැනටමත් ඇති පොලිතීන් කවර ලබා දී ඒවා භාවිතා කරන ලෙස කිව හැකි ය. බඩු ගෙන යෑම සඳහා පන් මල්ලක් භාවිතා කළ හැකි ය.

කරුමයකට මෙන් දිව්‍ය ලෝකයට යා හැකි පින් අතරට මේ එක ද උත්තුංග කටයුත්තක් වත් එකතු වී නැත. සංඝයා වහන්සේ නමකට දානයක් දීම තරමට මේ කටයුතුවලින් පින් ලබා ගත හැකි යැයි කිසිවකු මිනිසුන්ට කියා නැත. ඒ නිසා උපාසික උපාසිකාවන්ට සංඝයා වහන්සේලාට දන් දෙන තරමට, නැත්නම් බුදු කුටියට මල් පූජා කරන තරමට, මෙවැනි කටයුතු ගැන හිතන්නේ නැත.

වත්මන් ලෝකයේ ප්‍රශ්න විසඳීමේ ලා ආගම ෆේල් වන්නට මේ තත්වය ද බල පා තිබෙන්නේ ය. ඒ නිසා සමහර මිනිසුන් ආගම අමතක කොට විද්‍යාව හා තාක්ෂණය ගැන පමණක් විශ්වාසය තබන්නට පටන් ගෙන ඇත.

කුඩා වපසරියක විහිදෙන පින්පව්වලට එහා සමස්ත පින්තූරයට සංවේදී යහ ගුණ ගැන දැක්මක් ලබා දීමට ආගම අසමත් වෙතොත් ආගම් ඉක්මණින් කල් ඉකුත් වනු ඇත්තේ ය.

උපතින් පසු අප යන ලෝකය පමණක් නොව, ජීවත් වන මේ ලෝකය ද යහපත් කර ගැනීම ගැන අවධානය යොමු කිරීමට මිනිසුන්ට සිදු වෙමින් තිබේ. ඒ සඳහා ආගමට උදව් විය හැකි ද?

අපට පෙනෙන කුණු තියෙන්නේ එළියේ ය. අපට නොපෙනෙන කුණු තිබෙන්නේ අප ඇතුළේ ය. ආගම්වලින් වැඩියෙන් ම අපේක්ෂා කළේ ඒ නො පෙනෙන කුණු ද අනාවරණය කර දැක්වීමට ය.

අප අපේ කුණු අනුන්ට පැවරීමෙන් කරන්නේ අපට බාහිරින් පවතින කුණු අනුන්ට කළමනාකරණය කරනු පිණිස විසි කිරීම පමණක් නොවේ. අපේ ඇතුළත ඇති කුණු ද ප්‍රදර්ශනය කිරීම ය. අපේ කුණු ලෝකයටම අනාවරණය කර දැක්වීම ය.

රට නම් ලස්සන ය. එහෙත් රටේ මිනිසුන් නම් ඒ ලස්සන දකින පාටක් නැත. ලස්සන යමක්, මොළේ ඇති මිනිසුන් නම්, කැත කරන්නේ නැති නිසා ය. රටේ සුන්දරත්වය ගැන ඔවුන්ට වගේ වගක් නැත. වෙනත් ලෙසකින් මේ කියන්නේ රට ලස්සන වුව ද මිනිසුන් ලස්සන නැති බව ය. සුද්දන් අපට කොචොක් කරමින් කුණු අහුලන්නේ ඒ බව අපට වක්‍රව කියමින් ය.

අප රටේ වසර තුනක් ජීවත් වූ මැක්ගෝවන් නම් ලේඛකයෙක් විසින් අප රට ගැන පොතක් ලියා තිබේ. ඒ පොත අනුව දශකයේ පළ වූ හොඳම පොත් දහය අතරට නිව්යෝර්ක් ටයිම්ස් සගරාව විසින් තෝරා ගෙන තිබිණි. පොතේ නම “මිනිසා පමණක් තිරස්චීන වූ ශ්‍රී ලංකාවේ ඛේදවාචකය” යන්න ය. ඒ නම අප කියූ සියල්ල හකුලා දැක්වීමකි. සියල්ල හොඳ වුව ද මිනිසා තිරශ්චීන ය. ඒ පොත අපේ කුණු වූ ආත්මය පිළිබඳ ප්‍රකාශනයකි. අප වෙනස් කළ යුත්තේ අන්න ඒ අභ්‍යන්තරය ය. එහෙත් වැඩි දෙනකු දකින්නේ අපව විනාශ කරන අභියෝගයන් ඇත්තේ බාහිරින් බව ය. අප තේරුම් ගත යුතු සැබෑව නම් දරුණුම අභියෝග ඇත්තේ අපේ ඇතුළාන්තයේ බව ය. වඳින පුදන තැන කුණු දැමීමෙන් අප ප්‍රදර්ශනය කරන්නේ අපේ කුණු වූ ඒ අභ්‍යන්තරය බව ය.

 

ශ්‍රී ලංකාවේ ඛේදවාචකය

 

පාලි භාෂාවෙන් කියන පිරිත් කන පැලෙන්නට හයියෙන් දැම්මාට වැඩක් නැත. පැටව් ගසා ඇති රූපවාහිනි චැනල් ඔස්සේ උදේ සිට හවස් වනතුරු නිවන ගැන බණ කිව්වාට ද වැඩක් වෙන පාටක් නැත. ගුවන් විදුලි රූපවාහිනී නාලිකා ඔස්සේ උදේ හවස ගාථා කිව්වාට ද වැඩක් වී නැත. ඒ කිසිවක් මිනිසුන් යහපත් කර ලීමට අසමත් ව තිබේ. සිරිපාදයේ කුණු අපට කියන්නේ අඩු වශයෙන් තමන් වදින පුදන තැන සම්බන්ධයෙන් වත් සංවේදී වීමට අසමත් උපාසික උපාසිකාවන් මේ සියල්ල මධ්‍යයේ අප විසින් බිහි කර ඇති බව ය.

හතේ පොතේ ඇති ලිංගික අධ්‍යාපන පාඩම කුණු හරුපයක් ලෙස දකින, ඒ ගැන උද්ඝෝෂණය කරන, ස්වාමීන් වහන්සේලා සිටිය ද සිරිපාදේ කුණු දැමීම වැරැද්දක් ලෙස දක්වා මිනිසුන් එයින් මුදාලීමට සමත් භික්ෂූන් වහන්සේලා අප අතර අඩු ය. දුර බැලුවේ වුව ද ළඟ බලන පුරුද්දක් අපේ බොහෝ භික්ෂූන් වහන්සේලාට නැති නිසා ය.

ලිංගික කටයුතු කුණුහරුපයක් වන්නේ බ්‍රහ්මචාරී දිවියක් ගත කරන පූජ්‍ය පක්ෂයට මිසක ගිහියන්ට නොවේ. ලිංගික අධ්‍යාපනය සම්බන්ධ කතිකාවත මනෝ විද්‍යාඥයන්ට හා අධ්‍යාපනඥයන්ට පවරා මිනිසා යහ මගට ගැනීමේ මග භික්ෂූන් වහන්සේලා ගමන් ගත්තා නම් වඩාත් යහපත් ය. එහි දී තමන් බුදුන් අනුගමනය කරන බව පෙන්විය යුත්තේ කාර්වල අලවන ස්ටිකර්වලින් හෝ නිවසේ ආඩම්බරයෙන් ප්‍රදර්ශනය කරන බෞද්ධ කොඩියෙන් නොව තමන්ගේ චාරයෙන් බවට සමාජ මතයක් ගොඩ නැගීමට භික්ෂූන් වහන්සේලාට දායක විය හැකි ය.

මතුපිටින් බෞද්ධ කම ප්‍රදර්ශනයට වැඩි ඉඩක් සැලසෙන තාක් මිනිස්සු එයින් තෘප්තිමත් වෙති. ඒවාට සමාජය දෙන වටිනාකමට වැඩි වටිනාකමක් මිනිස් චර්යාවට දෙන දාට පමණක් ඔවුන් ඒ ගැන උනන්දු වනු ඇත. මේ සංකල්පමය විප්ලවය කිරීම ආගම විසින් නොපමාව කළ යුතු බව සිරිපාදේ කුණු දමන බැතිමතුන් අපට නොවලහා කියන්නේ ය.

කුණු අපේ දේශපාලනයට ද සම්බන්ධ ය. අප මේ කියන්නට යන්නේ රන්ජන්ගේ හඩ පටවලින් නිරාවරණය වන දේශපාලන කුණු ගැන නොවේ. නිකම් නිකම් කුණු ගැන ය. ඒ දේශපාලන කුණු මට්ටමට සලකන්නට සිදු ව ඇති කුණු ගඳ ගහන කුණු ගැන ය.

කුණු නිසි ලෙස බැහැර කිරීමට සංයමයක් නැති, අප පතන්නේ, එය මනා ලෙස අප වෙනුවෙන් කළ හැකි දේශපාලන නායකත්වයකි. අප බිහිකර ඇත්තේ ජනාධිපති තුමා පැමිණ සැරයක් දමා කුණු ඇහිඳින ලෙස නියෝග දෙන තෙක් බලා සිටින ජනතාවක් නිසා එවැනි අපේක්ෂාවක් ගැන කිසිවකුට දොස් තැබිය නොහැකි ය. කුණු වැඩ නොකර කුණු නිසි ලෙස බැහැර කරන්නේ නම් රටේ නායකත්වයට වඩා වටිනා වැඩ ගැන අවධානය යොමු කළ හැකි ය. රටට ආදරය නම් අප කළ යුත්තේ එය ය.

අපි රැලි වලට ආසා ය. තාප්ප චිත්‍ර රැල්ල අපට කීවේ ඒ පණිවුඩය ය. කුණු නැති රටකට රැල්ලක් හදන්නට පුළුවන් නම් එය වඩාත් අගනා කටයුත්තක් වනු ඇත. එය ආරම්භ කළ යුත්තේ සිරිපාදයෙනි. රටේ මිනිසුන් ගැවසෙන වඩාත්ම උස තැනෙනි. සිරිපාදේ කරුණා කරන දස දහසක් බැතිමතුන්ට අපි මේ පණිවුඩය ගෙන යමු. කුණුවලින් නිදහස් රටක් හැදීමේ කටයුත්ත මේ වන්දනා සමයේ සිරීපාදයෙන් පටන් ගනිමු.

නව අදහස දක්වන්න