හෙළ කලාවේ ගුරු තරුව නික්ම යයි | දිනමිණ


 

හෙළ කලාවේ ගුරු තරුව නික්ම යයි

අසූව දශකයේ මෙරට සාහිත්‍ය හා නාට්‍ය කලා ගමන්මගට පිවිසෙන අසහාය නිර්මාණ පෞරුෂයක් වූ ජයලත් මනෝරත්න ප්‍රතිභාන්විත නිර්මාණවේදියා අප අතරින් නික්ම යාම වේදනාත්මකය. හෙළ කලා කෙතේ අසමසම ගුරු තරුව අප අතරින් මැකී යද්දී ඔහුට හෘදයාංගමව සමුදෙන සහෘදයන්ගේ මතකාවර්ජනයි මේ.

මහාචාර්ය අගලකඩ

සිරිසුමන ස්වාමින්ද්‍රයන් වහන්සේ

කොළඹ විශ්වවිද්‍යාලයේ සිංහල අංශය

මනෝරත්නයන් දේශීය කලා කෙතට පෑයූ පුර හඳක් විදියටයි මා දකින්නේ. විශේෂයෙන්ම නිදහසින් පසු මෙරට ඇතිවුණු සාහිත්‍ය කලා ප්‍රබෝධය තුළ තම නිර්මාණ ප්‍රතිභාව සෘජුවම ප්‍රකාශ කළ විශිෂ්ට ගණයේ දුර්ලභ කලාකරුවකු ලෙසයි අපි ඔහු හඳුනා ගන්නේ. මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන් ජාතියට දායාද කළ නාට්‍ය සම්ප්‍රදාය ඉදිරියට ගෙන ආ නිර්මාණකරුවෙකු ලෙසත් දේශීය නාට්‍ය කලාව පිළිබඳව පර්යේෂණය ඉදිරියට ගෙනයමින් විශිෂ්ට නිර්මාණ රැසක් බිහිකරන්නට ඔහුට හැකි වෙනවා.

සාහිත්‍යකරුවෙක්, රංගධරයෙක්, නාට්‍ය අධ්‍යක්ෂවරයෙක්, සිනමා හා රූපවාහිනී මාධ්‍ය නිර්මාණකරුවෙක් විදිහට එතුමාගේ භූමිකාවන් ප්‍රශස්ත ඇගයීම ලක් වෙනවා. අපේකම පිළිබඳ එතුමාට තිබුන හැඟීම කිසිලෙසකින්වත් තම නිර්මාණ තුළින් බැහැර වුණේ නෑ. එතුමා සමස්ත ජාතියට ඉටුකල යුතුකම කිසිදාකවත් අපට අමතක කළ නොහැකියි. එවන් දුර්ලභ නිර්මාණ ශක්තියක් ප්‍රකට කළ කලාකරුවකු ලෙස සමස්ත සාහිත්‍යය ක්ෂේත්‍රයටම ඔහු කළ සේවය අපිරිමිත බවයි මගේ හැඟීම.

 

සුලෝචන වික්‍රමසිංහ ප්‍රවීණ මාධ්‍යවේදී, සාහිත්‍ය විචාරක

ආචාර්ය මනෝරත්නයන් හඳුන්වන්න පුළුවන් මෙරට ප්‍රථම සාහිත්‍යමය රංගධරයා විදිහටයි. 1971 වසරේ මනෝරත්නයන් සුනිල් ආරියරත්න සහ බුද්ධදාස ගලප්පත්ති සමඟ "දොළොස් මහේ පහන" කාව්‍ය ග්‍රන්ථය එළිදක්වනවා. ඔහු පටන් ගන්නෙ කවියෙන්, එයින් පසුව ඔහු අතින් "දවස තවම තරුණයි" නවකතාව ලියවෙනවා. අනතුරුව කෙටිකතා රාශියක් ඔහු අතින් නිර්මාණය වෙනවා. මනෝරත්න චිරන්තන සාහිත්‍ය පිළිබඳව පරිචයකින් යුතුව කටයුතු කළ කෙනෙක්. දේශීය ජන සාහිත්‍ය පිළිබඳව ඔහුට තිබුණේ අසමසම හැකියාවක්, පේරාදෙණිය සරසවියේ මහාචාර්ය සරච්චන්ද්‍රයන් දයානන්ද ගුණවර්ධන, ගුණසේන ගලප්පත්ති වැනි නිර්මාණකරුවන් ගේ ඇසුර ඔහුට නොඅඩුව ලැබුණා.

"අපි සේරම එක අවන්හලක නැවතී

අපේ පැතුම් මල් සිහින පැතුම් මල්

මිරිකාගෙන

අඩ අඳුරේ

තොල ගාගෙන මධු බඳුනේ

ගහ බැනගෙන රෝස් බැනුමෙන්

තලා පෙළා ගෙන

අපි ජීවිතයේ

මහගිරිදඹ නගිනවා.."

මහගිරිදඹ නාට්‍යයෙන් ඔහු අපිට මෙහෙම කියනවා. ඔහුගේ හැම නාට්‍යයක්ම සාහිත්‍යමය ගුණයෙන් අනූනයි. "ලෝකය තනි යායක්" නාට්‍ය මනෝ අතින් නිර්මාණය වන්නේ මහගමසේකරගේ කවි පොත් තුනක් එකතුකරගෙන. "රාජසේකර ලයනල් සහ ප්‍රියන්ත", "බෝඩිම", "නොමියෙමි" කෘති තුන ඇසුරෙන්. මෙවැනි පරිකල්පනයකින් යුත් නිර්මාණයක් අපට හමුවන්නේ කලාතුරකින්, "තල මල පිපිලා" , "සඳගිර","අන්දරේලා" වැනි නාට්‍ය අතර ඔහුගේ "ගුරු තරුව" නාට්‍ය භාෂාව සාහිත්‍යය පිළිබඳව ඔහුට දැනුන කම්පනය ප්‍රකට කරනවා. ගුණරත්න මැටියගනේ අතින් ලියැවුණු ඉන්දියානු ජන කතාවක් ආශ්‍රයෙන් මනෝරත්න "බූරුවා මහත්තයා" නාට්‍ය නිර්මාණය කරනවා. ඒ පරිවර්තන කෘතිය මතුවෙලා නොතිබුනු අවකාශයකයි ඔහු නාට්‍යකට උකහා ගන්නේ. "පුත්‍ර සමාගම" ප්‍රසන්න විතානගේ කළ පරිවර්තනය විශිෂ්ට නාට්‍යයක් ලෙස ඔහු වේදිකාවට ගෙන එනවා. දෙස් විදෙස් සාහිත්‍යය පෘථුලව උකහා ගත් නිර්මාණකරුවෙක්. ඔහුගේ අධ්‍යාත්මය දේශීයත්වය පිළිබඳව පරමාදර්ශී වුණා.

 

සම්මානිත මහාචාර්ය සුනිල් ආරියරත්න

ජයලත් මනෝරත්නලා රටකට බිහිවන්නේ ලක්ෂයක් පමණ දෙනෙකුගෙන් එක් අයෙක් හැටියට. ඔහු මිය ගියා කියන්නේ ලක්ෂයක් පමණ මිනිසුන් මියගියා කියන එක. මට හිතෙන්නේ එතරම්ම පුළුල් ප්‍රතිභාවක් තිබුණු නිර්මාණකරුවෙක්. නාට්‍ය රචනය, රංගනය, අධ්‍යක්ෂණය, ගායනය, නර්තන මේ හැම අංශයකින්ම වේදිකාව වගේම ටෙලි නාට්‍ය මාධ්‍ය සිනමා මාධ්‍ය තුළ අර්ථසම්පන්න ප්‍රතිභාවක් ඔහු සතුව පැවතියා. ඔහුට නිර්මාණකරුවන් අතර පරමාදර්ශී චරිතයක් වන්නට හැකි වුණා. සියලු වැඩ කටයුතු මධ්‍යයේ ඔහු සිය ආචාර්ය උපාධිය නිම කරනවා. ඒ වගේම පේරාදෙණිය සරසවියෙන් ඔහුට සම්මාන ආචාර්ය උපාධියක් ද ප්‍රදානය කරනවා. කලා සම්ප්‍රදාය පිළිබඳව ඔහුගේ පරිචය පුළුල් වූවක් . එතුමා සමග මගේ තිබුණු බැඳීම බොහෝ ඈතකට දිව යනවා. බුද්ධදාස ගලප්පත්ති මනෝරත්න සහ මවිසින් "දොළොස් මහේ පහන" කවිපොත ලියවෙන්නේ අපේ තරුණ අවධියේදී. මනෝ අප අතරින් නික්මෙන තෙක් ඒ මිත්‍රත්වය කවදාවත් වෙනස් වුණේ නැහැ. ඔහුගේ වියෝව මා පෞද්ගලිකව අතිශයින්ම ප්‍රකම්පාවන අත්දැකීමක්.

 

රත්නා ලාලනී ජයකොඩි. ප්‍රවීණ නාට්‍යවේදිනී

ජයලත් මනෝරත්න සහෝදර නිර්මාණකරුවා මට මුලින්ම මුණ ගැහෙන්නේ රංජිත් ධර්මකීර්ති මහත්මාගේ "අංගාරා ගඟ ගලා බසී" වේදිකා නාට්‍යයේ දී.

පස්සේ ඔහු අධ්‍යක්ෂණය කරන "පුත්‍ර සමාගම" නාට්‍යය ඔහුගේම දියණිය ලෙස රඟපෑමට මට අවස්ථාවක් ලැබෙනවා. අනතුරුව "තල මල පිපිලා", "අන්දරේලා", "ගුරු තරුව", "සඳගිර", "මාල වලලු" ආදී වේදිකා නාට්‍ය ගණනාවක ප්‍රධාන චරිතවලට මා රංගනයෙන් දායක වෙනවා. ආධුනික ශිල්පිනියක් ලෙස හඳුනාගන්නා මට එතුමා අධ්‍යක්ෂණය කළ ඒ නාට්‍ය සියල්ලෙන්ම ලැබුණු ගුරුහරුකම් වචනයෙන් විග්‍රහ කරන්න අමාරුයි. නිර්මාණ හැකියාව තරම්ම ගැඹුරු හැදෑරීමක ඔහු හිටියා . කලාවට කලාකරුවන්ට ප්‍රේක්ෂකයින්ට වගකීම් සහගත නිර්මාණකරුවෙක්. එතුමා තමා වටා සිටි අනෙක් අයටත් නිහතමානීව ඉදිරිය පිළිබඳව මගපෙන්වූ අයෙක්. එවන් කලාකරුවන් බිහිවන්නේ කලාතුරකින්. සහෝදරයෙක්, ගුරුවරයෙක්, මිත්‍රයෙක් විදිහට හඳුනාගත්එවන් සුන්දර මිනිසකුගේ නික්මයාම ඉතාමත්ම වේදනාත්මකයි .

සම්මානිත මහාචාර්ය චන්ද්‍රසිරි රාජපක්ෂ කැලණිය විශ්වවිද්‍යාලය

මහාචාර්ය සරච්චන්ද්‍රයන්ගේ ඇසුරෙන් වේදිකාවට ප්‍රවේශ වෙන ජයලත් මනෝරත්න මෙරට වේදිකා නාට්‍ය කලාව නව ඉසව්වක නවීනත්වයට පත්කළ නිර්මාණකරුවෙක් විදියටයි මා හඳුන්වන්න කැමති. ඔහුගේ ප්‍රකාශනය වේදිකා මාධ්‍ය තුළ චින්තන සම්ප්‍රදායෙන් ශ්‍රී ලාංකේය නාට්‍ය සාහිත්‍ය ක්ෂේත්‍රයට ප්‍රබල බලපෑමක් එල්ලකළ නිර්මාණකරුවෙක්. නාට්‍ය හා රංග කලාව අධ්‍යාපනික හා ශාස්ත්‍රීය පසුතලයක පිහිටා කටයුතු කළ අයෙක්. එනිසාම අපේ ජන විඥානය සියුම්ව හඳුනාගන්නට ඔහුට හැකි වෙනවා. විශ්වවිද්‍යාල ක්ෂේත්‍රයේ මෙන්ම සමාජ පසුතලය තුළත් ඔහුගේ භාවිතය සහ ඉගැන්වීම් ඉතාමත් සිත් ගන්නා සුළු ආකාරයෙන් ජය ගත් පුද්ගලයෙක්. විශිෂ්ට රංග වේදියෙක් කෘතහස්ත නිර්මාණකරුවෙක් ශාස්ත්‍රීය පරීක්ෂකයෙක් සොඳුරු මිනිසෙක් විදිහට ජයලත් මනෝරත්න මෙරට කලා සාහිත්‍ය ප්‍රවාහය තුළ තැබූ සලකුණ කිසිදා අමතක නොවන බවයි මගේ හැගීම

 

නාට්‍යවේදී නීතිඥ ඩග්ලස් සිරිවර්ධන ටවර් හෝල් රඟහල පදනමේ අධ්‍යක්ෂ ජනරාල්

ජයලත් මනෝරත්න පිළිබඳව මට අහන්න ලැබෙන්නේ මගේ පාසල් අවධියේදී. මනෝ පොරමඩුල්ල මධ්‍ය විද්‍යාලයෙන් පාසල් නාට්‍යකරණයට එළඹෙන කොට මා ඉගෙනගන්නේ හොරණ විද්‍යාරත්නයේ. සුනිල් ශ්‍රියානන්ද ගුරුතුමාගේ "අස්ස ගුඩුං" නාට්‍ය ඔහු සමස්ත ලංකා තරගයට රඟදැක්වුවා. පොරමඩුල්ලෙන් ආපූ දක්ෂ කොලුගැටයෙක් නාට්‍යයේදී රැවුල ගැලවුණත් එය නොපෙනෙන්න ගලවා දමා දක්ෂ ලෙස රඟපෑ බව අපේ ගුරුවරුන් කියනවා මට අද වගේ මතකයි. ඒ කොලුගැටයා පසුකාලීනව පේරාදෙණිය විශ්වවිද්‍යාලයට එනවා.පසු කලෙක ප්‍රසිද්ධ වේදිකාවට එක්වන මනෝ හොඳම නළුවා විදිහට වරක් දෙවරක් නොවේ තුන් වතාවටත් වඩා ජයගන්නවා. මනෝරත්නගේ පළමු නාට්‍යය 1981 ජනවාරි මාසේ වේදිකා ගත වුණා. ඒ "මහගිරිදඹ" . ඒ නාට්‍ය මම බලන්න ගියා. නාට්‍ය තුළින් මතු කළේ නාට්‍යකරුවකුගේ ජීවිතයේ ඛේදාන්තය, කලාවේ ගමන් මග මහගිරිදඹ නගිනවා වගේ යයි එතුමා අවබෝධ කරගෙන හිටියා. නමුත් ඒ දුෂ්කර ගමන මනෝ ජයග්‍රහණය කළා. ඒ ජයග්‍රහණ සතුටින් භුක්ති වින්දා. මනෝගේ නාට්‍ය සෞන්දර්යාත්මක කාව්‍යාත්මක ප්‍රකාශන. අපේ නාට්‍ය මෙන් සෘජු දේශපාලන ප්‍රකාශන ඔහු කළේ නැහැ. සරච්චන්ද්‍රයන්ගෙන් පටන් ගෙන හෙන්රි ජයසේන සුගතපාල ද සිල්වා දයානන්ද ගුණවර්ධන වැනි බොහෝ නාට්‍යකරුවන් සමග ඔහු වැඩ කළා. සොඳුරු සෞන්දර්ය වේදියෙක්. සුහද මිත්‍රයෙක් . හඳයා චිත්‍රපටයේ නිවේදකයාගේ චරිතය කරන මයික්‍රපෝනය නහයේ වදින දර්ශනය මනෝගේ මට කවදාවත් අමතක වෙන්නේ නෑ.

ෂර්ලි සමරසිංහ

 

නව අදහස දක්වන්න