ලබන මාර්තුව උපාධිධාරීන්ට...! | දිනමිණ


 

ලබන මාර්තුව උපාධිධාරීන්ට...!

ලබන මාර්තුව වන විට මෙරට උපාධිධාරීන්ගේ රැකියා ගැටලුව මුළුමනින් ම විසඳන බව අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා කියා සිටී. වත්මන් ආණ්ඩුව ජාතියට ලබාදෙන ප්‍රතිඥාවක් හැටියට ද එය සැලැකිය හැකි ය. වාර්තා වන අන්දමට පනස්දහසකට මඳක් වැඩි පිරිසක් මේ ගැටලුවෙන් හෙම්බත් වී සිටිති. ඔව්හු සංගම් පිහිටුවා ගනිමින් ද උද්ඝෝෂණ පවත්වමින් ද රජයට සිය විරෝධය දක්වා සිටිති. උපාධිධාරීන්ට රැකියා අහිමිවීම ඔවුන්ගේ වරදක් නොවේ. එය අධ්‍යාපනයේ වරදක් හා ප්‍රතිපත්ති හා සැලැසුම්වල වරදක් ලෙස හඳුනාගත හැකි ය. මේ වරද නිවැරැදි කිරීමට වත්මන් ආණ්ඩුව උත්සුක වන බවක් පෙනෙයි.

අමාත්‍යවරයා ඉහත යෝජනාව ඉදිරිපත් කරමින් වැදගත් නිර්දේශ කිහිපයක් ද හඳුන්වා දෙයි. එනම්; රැකියා ලබාදීමේ දී ඔවුන්ගේ දේශපාලනය නොසලකා හරින බව ය. උපාධිය අභ්‍යන්තර ද බාහිර ද යන්න මීට අදාළ නො වන බව අමාත්‍යවරයා කියා සිටී. උපාධිධාරියාගේ වයස ද මෙහිලා නොසලකා හරින බව ප්‍රකාශ වී ඇත. ගණිතය, ඉංග්‍රීසි, විද්‍යාව, සෞන්දර්ය විෂයයන් හැදෑරූ උපාධිධාරින් ගුරුවරුන් ලෙස බඳවාගැනීම වඩාත් සුදුසු බවද අමාත්‍යවරයා පෙන්වා දෙයි. ඉහත නිර්දේශ ඉතා සාධාරණ ය. කිසිදු උපාධිධරයකුට ඒ සම්බන්ධයෙන් විවේචන එල්ල කළ නොහැකි ය.

උපාධිධාරීන්ට රජයේ රැකියා ලබාදීමේ දී මෙතෙක් ක්‍රියාත්මක වී ඇති ක්‍රමවේදය නිරීක්ෂණය කරන කල පෙනී යන්නේ අභ්‍යන්තර උපාධිය හිමි අයට ප්‍රමුඛතාව ලබා දී තිබෙන බව ය. මේ අනුව බාහිර උපාධි ලබාගත් අයට දීර්ඝ කාලයක් තිස්සේ යම් අයුක්තියක් සිදු වී තිබිණි. මෙහිලා විවේචනයට ලක් වන අනෙක් ප්‍රධාන සාධකය වන්නේ උපාධිලාභියාගේ දේශපාලනය යි. බලයේ සිටින දේශපාලන පක්ෂයට හිතෛෂී උපාධිලාභියාට වැඩි සැලැකිලි දැක්වීම අපේ ක්‍රමය වෙයි. ඇතැම් උපාධිධාරීන් තම පළාතේ මන්ත්‍රීවරයාගෙන් ලබාගත් ලිපියක් ද සම්මුඛ පරීක්ෂණවලට ඉදිරිපත් කර ඇත. උගත් පරපුර දේශපාලකයන් පසුපස යා යුතු නැත.

උපාධිධාරීන්ගේ රැකියා විරහිතභාවය පිළිබඳ ප්‍රශ්නය බරපතළ සමාජ ගැටලුවක් ලෙස දීර්ඝ කාලයක් තිස්සේ පැවැතිණි. ඊට විවිධාකාර විසැඳුම් ඉදිරිපත් වූ අතර වැඩසටහන් රාශියක් ද ක්‍රියාත්මක වී ඇත. වරෙක උපාධිධාරීන්ට රැකියා ලබාදීම සඳහා ස්ථාපන සේවයක් පවත්වාගෙන ගියේය. එහෙත් මේ ගැටලුවට ස්ථාවර විසැඳුමක් ලැබී නැත. පනස් දහසකට ද වැඩි උපාධිධාරීන් පිරිසක් විරැකියාවෙන් පෙළීමෙන් ද ඒ බව සනාථ වෙයි. රටේ උගත් පරපුර අයාලේ යෑම බලවත් ආර්ථික නාස්තියක් සේ සැලැකිය හැකි ය. රටක් වේගවත් සංවර්ධනයක් කරා මෙහෙයැවීම සඳහා උගත් පරපුරේ දැනුම හා කුසලතා නිෂ්පාදන ක්‍රියාවලියට එකතුකරගත යුතුය.

දියුණු රටවල උසස් අධ්‍යාපනය, රැකියා වෙළෙඳ පොළ හා ආර්ථික ක්‍රියාවලිය අතර ඍජු සම්බන්ධතා පවතී. රටක අනාගතය ඉල්ලා සිටින වෘත්තිකයන් හා චින්තකයන් බිහි කිරීම උසස් අධ්‍යාපනයේ ඉලක්කය විය යුතුව තිබේ. අමෙරිකාව සිය රටේ අනාගත අධ්‍යාපනය කෙසේ විය යුතුදැ’යි පර්යේෂණ පැවැත්වීම සඳහා වෙන ම ආයතන පිහිටුවා තිබේ. ශ්‍රී ලංකාව වැනි රටකට අමෙරිකාවට ළංවිය නොහැකි’මුත් අපට අවශ්‍ය ජාතික අධ්‍යාපන රටාව සකස් කරගන්නා තැනකට යා යුතුය. උසස් අධ්‍යාපන පාඨමාලා රටට ඔබින ලෙස නැවත සකස් විය යුතුය. දීර්ඝ කාලයක සිට අපේ උසස් අධ්‍යාපනයේ වැඩි නැඹුරුව ඇත්තේ ශාස්ත්‍රඥයන් බිහි කිරීමට ය. එහෙත් රටේ ආර්ථිකයට අවශ්‍ය වන්නේ වෘත්තිකයන් බිහි කිරීම ය. උසස් අධ්‍යාපනයට සැලැකිය යුතු ප්‍රතිසංස්කරණ අවශ්‍ය බව පෙනී යයි.

ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය තුළ ද, ඡන්ද ව්‍යාපාරය තුළ ද අධ්‍යාපනයට ප්‍රමුඛ තැන ලබා දී තිබූ බව රටවැසියාට අමතක නැත. රටේ බහුතරය එය අනුමත කළ බව ද සිහිපත් කළ යුතුය. ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අදහස වන්නේ රටක් දියුණු කිරීමට නම්; අධ්‍යාපනය දියුණු මට්ටමකට ගෙන ආ යුතු බව ය. එලෙස ම අධ්‍යාපනයේ අවස්ථා සියල්ලන්ට ම විවෘත විය යුතු බව ය. රටේ පවතින අතිශය තරගකාරී විභාග ක්‍රමය ජනාධිපතිවරයාගේ විවේචනයට ලක් වී ඇත. පවතින විභාග ක්‍රමය ශිෂ්‍ය ප්‍රජාවගෙන් විශාල කොටසක් උසස් අධ්‍යාපනයෙන් බැහැර කරයි. එය හොඳ තත්ත්වයක් නොවේ. නිෂ්පාදන ක්‍රියාවලියෙන් තරුණ පරපුර ඈත් කිරීම ජාතික අපරාධයක් සේ සැලැකිය හැකි ය. නායකයන් මේවා වටහාගැනීම අතිශයින්ම වැදගත් ය.

මෙතෙක් පැවැති ක්‍රමයට අනුව දේශපාලකයන් හා සරසවි ප්‍රජාව අතර හොඳ හිතක් නැත. දේශපාලකයාට ශිෂ්‍ය ප්‍රජාව රුස්සන්නේ නැත. ශිෂ්‍ය ප්‍රජාවට ද දේශපාලකයන් රුස්සන්නේ නැත. සෑම නායකයකුගේම සිරිත වූයේ ශිෂ්‍ය ප්‍රජාව කරදරකාරයන් හා කලහකාරයන් ලෙස සැලැකීම ය. ශිෂ්‍ය ප්‍රජාව පසු වූයේ ද නායකයන් විවේචනය කරන තැනක ය. විවේචනය අපහාසය දක්වා ද ව්‍යාප්ත වී තිබිණි. නව රජය යටතේ තත්ත්වය වෙනස් අතට හැරෙමින් පවතී. සරසවි සිසුන්ගේ විරෝධතාවලට කඳුළු ගෑස් හා ජල ප්‍රහාර එල්ලවීම නතර වී ඇත. ඒ වෙනුවට ශිෂ්‍ය නායකයන් සමඟ සාකච්ඡා කරන සම්ප්‍රදායක් ජනාධිපතිවරයා හඳුන්වා දී ඇත. උපාධිධාරීන් පනස් දහසකට රජයේ රැකියා ලබාදීම ඉහත කී සාධනීය වැඩසටහනෙහි තවත් වැදගත් පියවරක් සේ සැලැකිය හැකි ය.

 

නව අදහස දක්වන්න