අකුරගොඩ හමුදා කඳවුරු භුමිය ආසන්නයේ පුරන් කුඹුරුයාය අස්වද්දයි | දිනමිණ

අකුරගොඩ හමුදා කඳවුරු භුමිය ආසන්නයේ පුරන් කුඹුරුයාය අස්වද්දයි

ශ්‍රි ලංකා යුද්ධ හමුදාව ඇතුළු ත්‍රිවිධ හමුදා මුලස්ථානය පිහිටි අකුරගොඩ හමුදා කඳවුරු භුමිය ආසන්න අක්කර 12 කින් යුත් පුරන් වී ගොස් තිබු කුඹුරු යාය ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ(14) අස්වැද්දීම ආරම්භ කළේය.

රටපුරා පුරන් වී ඇති කුඹුරු අස්වැද්දීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සංකල්පයක් වන අතර මේ වන විට රටපුරා පුරන්වී ඇති කුඹුරු අක්කර දහස් ගණනක් අස්වැද්දීම සිදු කෙරෙමින් පවතී. ඊට සමගාමීව යුද හමුදාව විසින් ප්‍රදේශයේ තවත් කුඹුරු අක්කර පන්සියයක පමණ ප්‍රමාණයක් අස්වද්දා ඇති බව මෙහිදී යුද හමුදාපතිවරයා පවසා සිටියේය.

ඊයේ(14) අලුයම සිට මේ කුඹුරු යාය අස්වැද්දීමට අවශ්‍ය කටයුතු යුද හමුදාවේ භට පිරිස් විසින් සිදු කරමින් පැවතිණි. යුද හමුදාපතිවරයා සමඟ යුද හමුදාවේ කෟෂිකර්ම අධ්‍යක්ෂ මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන් ඇතුළු විශාල පිරිසක් මේ අවස්ථාවට සහභාගි වි සිටි අතර සිංහල සිරිත් විරිත් අනුගමනය කරමින් ප්‍රථමයෙන්ම පහන්වැටක් දල්වා සියලු දෙවි දේවතාවුන් වහනසේලා සිහිපත් කරමින් මේ කෙත් යාය අස්වැද්දීමේ කටයුතු ආරම්භ කෙරිණි. ඉතාමත් සරුසාර මඩසහිත පොළොවකින් සමන්විත වු මේ කෙත් යායේ වැඩි කුඹුරු ප්‍රමාණයක් මීට පෙර ගොඩකර නිවෙස් ඉදිකර ඇතත් මේ අක්කර දොළහකින් යුත් කෙත් යාය අකුරගොඩ නව යුද හමුදා මුලස්ථාන භුමියට ආසන්නයේ පිහිටා ඇති අතර යුද හමුදාපතිවරයා මෙහිදී කියා සිටියේ මේ කෙත්යාය සශ්‍රික කිරීමෙන් පසු එම පරිසරය ඉතාමත් සුන්දර පරිසරයක් බවට පත්වන බවයි. එපමණක් නොව ඉන් විශාල අස්වැන්නක් ලබා ගත හැකි වන පරිදි අපේ හමුදා කෘෂිකර්ම භට පිරිස් විසින් ඒවා පිළිබඳව දැඩි අවධානයක් යොමු කරගෙන ආරක්ෂා කරන බවත් කීය.

මේ පරිසරය තවදුරටත් ගහකොළවලින් සමන්විත පරිසරයක් බවට පත් කිරීම පිණිස මීට සති කිහිපයකට පෙර ගස් සිටුවීම ආරම්භ කරනු ලැබිණි . ඒ අනුව හමුදා මුලස්ථානයට යන පාර දෙපස මල්වර්ග සහ ඇසළ වැනි ගස්වර්ගද තවත් වටිනා ගස්වර්ගද රොපණය කිරීම සිදු විය.

මේ අවස්ථාවෙදී යුද හමුදාපතිවරයා මාධ්‍ය වෙත මේ කර්තව්‍යයේ අරමුණ පැහැදිලි කරමින් කියා සිටියේ මේ රටේ ජනතාව බලාපොරොත්තු වු පරිදි දිනන්න බැරි බව පැවසූ යුද්ධය දිනා ගත්තා .ඒ අතර මේ රටේ ජාතික ආරක්ෂාවට බාධා නොවන පරිදි මෙන්ම තම රාජකාරියට කිසිසේත් බාධා නොවන පරිදි හමුදා භට පිරිස් මෙවැනි සංවර්ධන ක්‍රියාවලින්ට සහයෝගය දෙනවා. මේ මගින් රටේ ජනතාවට විශාල ආදර්ශයක් දෙනු ලබන අතර අපි පණිවිඩයක් දෙනවා. මේ ආකාරයෙන් පුරන් වී ඇති කෙත්යායවල් අස්වද්දා රටට පළ ප්‍රයෝජනවත් වන දෙයක් සිදු කළ යුතු බවට.

මේ රට සංවර්ධනය කිරීම මෙන්ම සුන්දරත්වයෙන් යුත් රටක් බවට පත් කර ගැනීම රජයේ අරමුණයි . එම අරමුණ ඉෂ්ඨ සිද්ධ කිරීම පිණිස අපේ හමුදාව යොදවා තිබෙනවා. කවුරුන් හෝ කියන්න පුළුවන් හමුදාව දැන් කුඹුරු කරනවා කියලා. එහෙම නැති නම් වෙරළ සුද්ද කරනවා, කුණු අදිනවා කියලා. මේක අපට මදිකමක් නොවෙයි . ජාතික ආරක්ෂාවේ වගකීම ඉහළම තැනක පවත්වාගෙන යමින් අපේ හමුදා භට පිරිස් රටේ සංවර්ධනයට රටේ දියුණුවට කටයුතු කිරීම ඉතාමත් වැදගත් දෙයක්. අපේ කෟෂිකාර්මික අධ්‍යක්ෂ මණ්ඩලයක් සිටිනවා. මේ වන විට හමුදාව යටතේ අක්කර දහස් ගණනක් වී ඇතුළු වෙනත් බව බෝග වගා කර තිබෙනවා . මේ කෙත්යාය වසර ගණනාවක් තිස්සේ පුරන් වී තිබු කුඹුරුයායක් .එය අස්වද්දා අස්වැන්න ලබා ගැනීමට හැකි නම් එය ඉතාමත් වැදගත් කර්තව්‍යයක් බවද පවසන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා කාලයක් තිස්සේ අපද්‍රව්‍යවලින් පිරී තිබු රට වටා ඇති වෙරළ තීරය එක පැය කිහිපයකින් හමුදාව යොදා සිදු කළ මෙහෙයුමකින් සමස්ථ වෙරළ තීරයම පිරිසිදු කර එය නිරතුරුවම පවත්වාගෙන යාම පිණිස සතියකට වරක් හමුදාව විසින් පිරිසිදු කරගෙන යන බවද කියා සිටියේය.

වෙරළ පිරිසිදු කිරීම ගස් සිටුවිම, සහ පුරන් කුඹුරු අස්වැද්දීම පමණක් නොව යුද හමුදාව විසින් මහජනතාවගේ ආරක්ෂාව පමණක් නොව සෙසු අංශවලින්ද ඔවුන් වෙනුවෙන් කළ යුතු තවත් බොහෝ දේ සිදු කරන බවද කියා සිටියේය.

විජයානි එදිරිසිංහ සහ සඳුනි රණසිංහ

නව අදහස දක්වන්න