යහපත් මාධ්‍යකරණයක් ඇති කිරීම වත්මන් ආණ්ඩුවේ අපේක්ෂාවයි | දිනමිණ

යහපත් මාධ්‍යකරණයක් ඇති කිරීම වත්මන් ආණ්ඩුවේ අපේක්ෂාවයි

සන්ධ්‍යා කරුණාරත්න
ජනමාධ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් චරිත හේරත්

මාධ්‍යයට අනවශ්‍ය බලපෑම් එපා

මාධ්‍ය සමාජයේ සියලු ගැටලු සාකච්ඡාව, සම්මන්ත්‍රණය, මැදිහත්වීමෙන් විසඳිය යුතු අතර අනවශ්‍ය නියාමනකරණය, අනවශ්‍ය බලපෑම් මාධ්‍යයට සිදු නොකළ යුතු බවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කළ බව ජනමාධ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් ආචාර්ය චරිත හේරත් මහතා පැවසීය.

ජනමාධ්‍යවේදියාට ප්‍රමිතියක් නිර්මාණය කර යහපත් මාධ්‍යකරණයක් රටේ ස්ථාපිත කිරීම වත්මන් ආණ්ඩුවේ අපේක්ෂාවක් බව ද ඒ මහතා පැවසීය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවට සහභාගි වෙමින් ඒ මහතා මේ බව ඊයේ (14) ප්‍රකාශ කළේය.

ඒ මහතා මෙසේද පැවසීය.

පසුගිය ආණ්ඩුව කළ දේවල් බරපතළ විහිළුවක්ව පවතින වකවානුවක ජනාධිපතිවරණ ජයග්‍රහණයෙන් පසුව යහපත් වූ ආණ්ඩුකරණයක් පවත්වාගෙන යන වත්මන් ආණ්ඩුව ගැන සතුටට පත් විය හැකියි. වත්මන් ආණ්ඩුවේ ක්‍රියාකාරිත්වය ඔස්සේ නව දිශාවකට රට ගමන් කරමින් ප්‍රජාතන්ත්‍රවාදය සහ සංවර්ධනය ආරක්ෂා කර ඉදිරියට යනවා. මාධ්‍යකරණය ඩිජිටල් කර තිබෙනවා. මාධ්‍ය සමාජයේ සියලු ගැටලු සාකච්ඡාව, සම්මන්ත්‍රණය, මැදිහත්වීම මගින් විසඳිය යුතු බවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා උපදෙස් ලබා දී තිබෙනවා. අනවශ්‍ය නියාමනකරණයන් නොකළ යුතු බවටත් අනවශ්‍ය බලපෑම් මාධ්‍යයට නොකළ යුතු බවටත් ජනාධිපතිවරයා අවධාරණය කර තිබෙනවා. මාධ්‍යවේදීන්ට ප්‍රමිතියක් ලබාදීම සඳහා වෘත්තීයභාවයක් ලබාදෙන පුහුණු ආයතන ස්ථාපිත කිරීමේ ධනාත්මක යෝජනා ආණ්ඩුවෙන් ඉදිරිපත් කර තිබෙනවා.

යහපාලන නාමකරණය යටතේ පසුගිය ආණ්ඩුව ගෙනගිය දේශපාලනය රන්ජන්ගේ හඬපටවලින් පෙන්නුම් කරනවා. මේ දුරකථන සංවාද ගැන අදාළ පක්ෂවලින් කවුරුත් කිසිම දෙයක් කියලා නැහැ. මේ හඩපට නිසා මන්ත්‍රීකම කියන එක හෑල්ලුවට ලක්ව තිබෙනවා. මෙරට නීති සෑදීම සඳහා බුද්ධිමය හැකියාවක් පවතින පුද්ගලයන් මීළඟ පාර්ලිමේන්තුවට පත් කර ගත යුතුයි. ඒකාබද්ධ විපක්ෂය, පොදුජන පෙරමුණ ලෙස කණ්ඩායම් කිහිපයක් අප සමඟ සිටිනවා. මීළඟ පාර්ලිමේන්තු දේශපාලන වෙනසට ශක්තියක්, බුද්ධියක්, හැකියාවක්, පුහුණුවක්, ශික්ෂණයක් තිබෙන දේශපාලන ධාරාවක් ගොඩනඟා ගැනීමට අපි ඉදිරියේදි යොමු වෙනවා.

ආචාර්ය නාලක ගොඩහේවා මහතා-

ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරයා වීමට පෙර රටේ විශාල දේශපාලන ආර්ථික අර්බුදයක් තිබුණා. ආසියාවේ දුර්වලතම ආර්ථිකයක් පවතින රටක් බවට ඒ වන විට ලංකාව ඇද වැටී තිබුණා. 2014 වසරේදි ආසියාවේ දෙවැනියට වේගයෙන් ආර්ථිකය වර්ධනය වෙමින් තිබූ රට බවට ලංකාව පත්ව තිබුණා. එහි ආර්ථික වර්ධන වේගය සියයට හතක්ව පැවතුණා. එවැනි වර්ධන වේගයක් පැවැති මෙරට ආර්ථිකය වර්තමානය වන විට සියයට 2 ක් දක්වා පහළ වැටී තිබෙනවා. වසර 2014 දි රුපියල් බිලියන 7200 ක්ව පැවැති රාජ්‍ය ණය ප්‍රමාණය මේ වන විට රුපියල් බිලියන 14,000 ඉක්මවා තිබෙනවා. රුපියල කඩා වැටීම නිසා පසුගිය වසර පහක් තුළ රටට අහිමි වූ මුදලෙන් හම්බන්තොට වරාය මෙන් වරායන් 10, 12 ක් නැවත හදන්න තිබුණා. වත්මන් රජය බලයට පත් වූ වහාම සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනයට අනුව ජනතාවගේ විශාල වෙනසක් සිදු වුණා. ජනතාවට තිබූ බදු බර අඩු වුණා. බදු සහන දිය නොහැකි බව පසුගිය රජයෙන් ප්‍රකාශ කළත් අපි බදු සහන ලබා දුන් සැණින් ව්‍යාපාරිකයන් තුළ මුදල් සංසරණය ආරම්භ වුණා. ව්‍යාපාරිකයන් ආයෝජනය කරන්න ආරම්භ කළා. අපි සාර්ථක ආරම්භයක් ලබාදී තිබෙනවා.

ජනතා කේන්ද්‍රීය ආර්ථික ප්‍රතිපත්තියක් රටේ නිර්මාණය කිරීම සඳහා ජනතාවගේ සහාය රජයට අවශ්‍යයයි. වර්තමානයට ගැළපෙන පරිදි අණපනත් වෙනස් කළ යුතුයි. විශේෂයෙන්ම රටේ ඉදිරි යහපත සඳහා 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය කළ යුතුයි. ජනාධිපතිවරයා හා අගමැතිවරයාට එකට වැඩ කළ නොහැකි තත්ත්වයක් එම ව්‍යවස්ථා සංශෝධනයෙන් පසුගිය කාලයේ නිර්මාණය වුණා. වාසනාවකට වගේ වත්මන් ජනාධිපතිවරයා සහ අගමැතිවරයා රට ගැන හිතා හොඳ අවබෝධයකින් වැඩ කරන නිසා කිසිදු ගැටලුවකින් තොරව වැඩ කටයුතු කරගෙන යනවා. 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයේ පවතින අඩුපාඩු හදා ගන්නේ නැතිව රටක් පාලනය කළ නොහැකියි. එය රටට ගැළපෙන ලෙස සංශෝධනය කළ යුතුයි. ඒ සඳහා තුනෙන් දෙකක පාර්ලිමේන්තු බලයක් ලබා ගත යුතුයි. ආණ්ඩුවත් ජනතාවත් එකට ඉදගෙන රට ගමන් කළ යුතුයි.

ඡායාරූපය - නිශාංක ද සිල්වා

නව අදහස දක්වන්න