රන්ජන්ගේ එජාප සාමාජිකත්වය තාවකාලිකව අහෝසි කරයි | දිනමිණ

රන්ජන්ගේ එජාප සාමාජිකත්වය තාවකාලිකව අහෝසි කරයි

පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාගේ පක්ෂ සාමාජිකත්වය තාවකාලිකව තහනම් කිරීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කරයි. තාවකාලිකව අහෝසි කළ පක්ෂ සාමාජිකත්වය සම්බන්ධයෙන් කෘත්‍යාධිකාරී මණ්ඩලයට කරුණු ඉදිරිපත් කැර ඉදිරි තීරණ ගනු ලබන බව සිරිකොත පක්ෂ මූලස්ථානයේදී පැවැති මාධ්‍ය හමුවකදී එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් නීතිඥ අකිල විරාජ් කාරියවසම් මහතා ඊයේ (14) පැවසීය. රන්ජන් රාමනායක මහතාගේ පසුගිය කාලයේ පැවැති ක්‍රියාකලාපය තුළින් ඔහු නිතරම අධිකරණය, රාජ්‍ය නිලධාරීන්, විද්වතුන් පමණක් නොව බෞද්ධයන්, මහානායක හිමිවරුන් විවිධ මාදිලියේ අපහසුතාවන්ට පත්වන ආකාරයේ විවේචනයන් පිළිබඳ රට තුළ වෙසෙන විවිධ ක්ෂේත්‍රවලින් පැමිණිලි රැසක්ම රනිල් වික්‍රමසිංහ මහතාටත් පක්ෂයේ මහලේකම්වරයා ලෙස තමාටත් ලැබී තිබුණා. ඒ සෑම පැමිණිල්ලක් ලිපි කඩදාසි සියල්ලම එකතුකොට රනිල් වික්‍රමසිංහ මහතා අතට තමා පත් කළ බවත්, ඒ අනුව තමාට උපදෙස් ලැබුණේ රන්ජන් රාමනායක මහතාගේ සාමාජිකත්වය තාවකාලිකව තහනම් කරන ලෙසයි. ඉදිරි කාලයේ රන්ජන් රාමනායක මහතාගේ තහනම් කළ සාමාජිකත්වය ගැන අනුමැතියක් ලබාගැනීමට රැස්වීමට නියමිත කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීමේදී අනුමැතියට ඉදිරිපත් කරන බව මහලේකම් අකිල විරාජ් මහතා දිනමිණ කළ විමසුමකදී කියා සිටියේය.

මැදකොළඹ සමූහ ආරියරත්න ගනේගොඩ

නව අදහස දක්වන්න