වචනවලට පෙරළෙන්නේ අත්දැකීම් | දිනමිණ

වචනවලට පෙරළෙන්නේ අත්දැකීම්

පීටර් ක්ලයින්ස්

පීටර් ක්ලයින්ස් දකුණු කැලිෆෝනිවේ ජීවත් වෙමින් වෘත්තියෙන් සිනමා සහ ටෙලිවිෂන් කර්මාන්තයේ නියැළෙන නිර්මාණකරුවෙකි. මෑතකදී ඉමහත් ජනාදරයට පත් ඔහුගේ EX-HEROES නමැති කෘතිය පිළිබඳ writersdigest වෙබ් අඩවිය කළ සාකච්ඡාවක පරිවර්තනයකි මේ.

EX-HEROES කෘතිය කුමන ගණයට අයත් වන්නක්ද?

මෙය විද්‍යා ප්‍රබන්ධ, අද්භූත සහ ෆැන්ටසි ගණයට අයත් වන කතාවක්. මෙය, සුපිරි වීරයෙක් කියන්නේ කවුද? ඔහු කෙසේ විය යුතුද? යන්න අර්ථකථනය කරන ආකාරය පිළිබඳ කියැවෙන කතාවක්. 

මේ කෘතියේ අන්තර්ගත කතාව පිළිබඳ කතා කළොත්?

හදිසියේ ලොස් ඇන්ජලීස් හි මතුවන සොම්බී නම් ජන කොට්ඨාසයකට විරුද්ධව සාමාන්‍ය ජනතාව බේරා ගැනීමට එකතු වන සුපිරි වීරුවන් කණ්ඩායමක් ගැන කියැවෙන කතාවක්.

මේ කෘතිය ඉහළ ප්‍රතිචාර ලැබුණු එකක්?

මෙයට ඉතා හොඳ ප්‍රතිචාර ලැබුණා. අර්නස්ට් ක්ලයින් නම් ප්‍රකට විචාරකයා මේ ගැන පවසා සිටියේ EX-HEROES යනු ඇවෙන්ජර්ස් (Avengers) සිනමාපටය හා වෝකිං ඩෙඩ් (Walking Dead) ටෙලි සිනමාපටය එකට හමුවීමක් විධිහටයි. බොහෝ දෙනෙක් පවසා සිටියේ, වෙනස්ම ආකාරයේ කතාවක් මෙහි අඩංගු වෙනවා කියලයි.

ඔබ සාමාන්‍යයෙන් ලියන්නේ කොහේ ඉඳන්ද?

මම ජීවත් වෙන්නේ ලොස් ඇන්ජලීස්වලයි. මම වසර හතරක ඉඳන් ම ලියනවා. මම ලිවීමට යොමු වුණේ, ලොස් ඇන්ජලීස්වලට පැමිණීමත් සමඟයි.

ඔබ මෑතකදී Dead Moon (ඩෙඩ් මූන්) නමින් කෘතියක් නිර්මාණය කළා නේද? ඒ පිළිබඳ පැවසුවොත්?

ඒක ඔන්ලයින් පොතක්. Kavach Press ආයතනය මඟින් ප්‍රකාශන කටයුතු සිදු කළා. කියවලාම බලා ප්‍රතිචාර දක්වන්න කියා පාඨකයන්ගෙන් මං ඉල්ලා සිටිනවා.

මේ කෘතිය ලිවීමට ඔබට අදහස ලැබුණෙ කොහොමද?

මම මගේ රැකියාව විධිහට ‘Creative Screen writing’ නමැති සඟරාවක වැඩ කළා. එහිදී මම ‘බොක්ස් ඔෆිස්’ නිර්මාණ ගැන සම්මුඛ සාකච්ඡා, සමාලෝචන, ලිපි ලිවීම් ආදියේ නිරත වෙලා සිටියා. ඒ අතරේ මම Cinema Blend නම් වෙබ් අඩවිය සඳහා වැඩ කළා. මම එහිදී ‘සොම්බි’ පිළිබඳ කතා නිර්මාණය කළා. ඒ දිනවල මම නවකතා කිහිපයක්ම නිර්මාණය කළා. ඒත් මට ඒ සඳහා සැලකිය යුතු ආකර්ෂණයක් ලැබුණේ නැහැ. ඒමඟින් ලද අත්දැකීම් මඟින්, මම EX-HEROES නිර්මාණය කළා.

ඔබ මේ කෘතිය ලියන්නේ කුමන කාලසීමාවකදීද?

2010 වසරේදී කතාවක් ලිවීමට ආරම්භ කළා. ඒත් එය මට දිගටම කරගෙන යාමට හැකි වුණේ නෑ. නැවත මම 2016 මුල සිටම ලියන්න පටන් ගත්තා. මම හිතන්නේ ඒ අප්‍රේල් මාසය. මම මගේ අදහස පරිච්ඡේද කිහිපයකින් ලියලා, එය Jacob Kier වෙත ඉදිරිපත් කළා. එහිදී ඔහු ඒ සඳහා යම්කිසි උනන්දුවක් දැක්වූවා. මට ඔහුගෙන් උපදෙස් කිහිපයක් ලැබුණා. ඉන් පසුව මම දිගටම ලිව්වා. මම මගේ සියලු උත්සාහය ඒ සඳහා යොමු කළා. මගේ නිදහස් කාලය ඇතුළු සෑම දෙයක්ම මම ඒ වෙනුවෙන් කැප කරලා තමයි කෘතිය ලිව්වෙ. කෙසේ හෝ 2017 වසරේ සැප්තැම්බර් වන විට මම ලිවීම අවසන් කළා. මට එහිදී EX-HEROES සඳහා රැන්ඩම් හවුස් (Random House) සමඟ ගිවිසුම්ගත වීමටෙ අවස්ථාව ලැබුණා.

ඔබ නියෝජිතයකු සොයා ගන්නේ කොහොමද?

ප්‍රකාශන නියෝජිතයකු සොයා ගැනීම බොහෝ අපහසු කාර්යයක් කියලා මම බොහෝ විට අසා තිබෙනවා. ඒත්, මට නම් එය එතරම් අපහසු වුණේ නැහැ. මම ලියා අවසන් වූ පසු මම එය රැන්ඩම් හවුස් හි ඩේවිඩ් ෆුගේට් වෙත යැවුවා. ඔවුන් එය කියවා එයට බෙහෙවින් ම කැමැති බව දැන්වූවා. සාමාන්‍යයෙන් ඔවුන් ප්‍රබන්ධ කතා ප්‍රකාශයට පත් නොකළත්, එහි තිබූ තාත්වික බවට කැමැති වුණා. මට එහිදී සංස්කාරකවරු කිහිපදෙනකු සමඟ වැඩ කිරීමට අවස්ථාව ලැබුණා. එය මට නවමු අත්දැකීමක් වුණා. මාස හතකට පසුව මගේ නිර්මාණය සාර්ථකව එළි දැක්වුණා.

ප්‍රකාශන ක්‍රියාවලියේදී ඔබ ලබා ගත් අත්දැකීම විස්තර කළොත්?

එය මට බොහෝ සෙයින් ම වැදගත්. මම මේ ක්ෂේත්‍රයේ සිටින කෙනකු නොවන නිසා, මට මේ ක්‍රියාවලිය නවතම අත්දැකීමක් වුණා. පිටින් පෙනෙනවාට වඩා, අපි ලියන දේ එළියට එන්න බොහෝ දෙනකුගේ දායකත්වය ලැබෙන බව මම දැනගත්තා.

ආපසු හැරිලා බැලුවොත්, ඔබ මේ තාක් ගත් නිවැරැදි තීරණ මොනවාද?

ලිවීමට ඉගෙනීම සඳහා ගත කළ කාලය සහ කැප කිරීම ගැන මම බෙහෙවින් ම සතුටු වෙනවා. මෙවැනි නිර්මාණයක් ලබා දෙන්න හැකි වුණේ, එම උත්සාහය නිසයි. ලිවීමෙන්, අපේ දැනුම දිනෙන් දින මුවහත් වෙනවා. එමඟින්, ලිවීමේ කාර්යය වඩාත් සාර්ථක කරගත හැකියි. ඒ නිසා, මේ ක්ෂේත්‍රයට යොමු වීම පිළිබඳ මං සතුටු වෙනවා.

නව නිර්මාණ ප්‍රචාරය කිරීමට සහ පාඨකයන් සමඟ සම්බන්ධ වීමට, ඔබ යම්කිසි මාධ්‍යයක් භාවිත කරනවාද?

මම ෆේස් බුක් පිටුවක් පවත්වාගෙන යනවා. දිනකට දෙවතාවක් පමණ මම එහි අදහස් කියවා බලනවා. ඊට අමතරව මගේ බ්ලොග් පිටුවකුත් කරගෙන යනවා. එහි මම ලිවීම ගැන වගේ ම, වෙනත් කෘති ගැනත් ලියනවා.

ඔබ කැමැතිම චිත්‍රපටය මොකක්ද?

එය සාමාන්‍යයෙන් කාලෙන් කාලෙට වෙනස් වෙනවා. මම හැමවිටම Bogart, Casablanca, The Maltese Falcon වගේ පැරැණි සිනමාපටවලට කැමතියි. මම Marvel නිර්මාණවලට නම් පිස්සුවෙන් වගේ කැමැතියි.

නවක කතුවරයන්ට ලබා දෙන්න තිබෙන උපදෙස කුමක්ද?

ඔබගේ සිහිනය ලිවීම නම්, ඒ සඳහා හැම විටෙකම වැඩ කරන්න. ඒ වෙනුවෙන් උපරිමයෙන් කැප වෙන්න. සමහර විට ඔබගේ රැකියාව එය නොවෙන්න පුළුවන්. ඒත්, ඔබ මේ මොහොතේ කුමක් කළත්, ඒ අත්දැකීම ලබා ගන්න. ඒකට හේතුව, කවදා හෝ ඔබගේ වචන බවට පෙරළෙන්නේ, ඔබේම අත්දැකීම් වන නිසයි.

යශෝදා ඉන්දීවරී

නව අදහස දක්වන්න