මහගම සේකර සෝකයේ ගීතය | දිනමිණ

මහගම සේකර සෝකයේ ගීතය

මහගම සේකර සූරීන් දැයෙන් සමුගෙන ජනවාරි 14 දිනට වසර 44ක් සපිරේ

“මහගම සේකරයන් සමඟ අල්ලාප සල්ලාපයෙන් ගත කළ එම සැදෑයාමය පිළිබඳව වූ මතකය, මා හදවත්හි සදාතනිකව නිදන්ව පවතී. සොබාදහම , සෞන්දර්ය, දිවියේ අනියතතාවය වන් අපූර්වතම මාතෘකා කිහිපයක්ම එදින අපගේ සංවාදයට බඳුන් විය. එම විරාමයේ කාමරයේ රැදී සිටියේ ඔහුත් මාත් පමණි.එනමුදු අප අතර තෙවැන්නක්ද සැඟවී රැදී සිටි බව මට පසක් වූයේ පසුදින (1976 ජනවාරි 14) උදෑසන ගුවන් විදුලි ප්‍රවෘත්ති විකාශනයට සවන් දුන් මොහොතෙහිය. ඒ අන් කිසිවකු නොව මාරයාය. අප සල්ලාපයේ යෙදී සිටි මුළු කාලය පුරාවට, මාරයා සේකරගේ සුලැඟිල්ලේ එල්ලී සිටියාට සැක නැත. සේකරයන් මිය යාමට හෝරාවකට පෙර, ඔහු ඇසුරේ සිටි එකම පුද්ගලයා මා විය හැකිය.“

මහාචාර්ය ජෝතිය ධීරසේකර හමුවූ සේකරයන් පිළිබඳව තබා ඇති මෙම මතක සටහනින් මෙම ලිපිය අරඹන්නට අදහස් කළේ ගිලන්ව සිටියද නිර්මාණකරණය උදෙසා ඔහු තුළ පැවති ආත්මීය අභියෝගය කෙතෙක්ද යන්න අවධාරණය කිරීමේ අභිලාෂයෙනි. සිය ආචාර්ය උපාධිය සඳහා නිර්මාණය කළ “සිංහල ගද්‍ය හා පද්‍ය සාහිත්‍ය යේ රිද්ම ලක්ෂණ “ නම් වූ ශාස්ත්‍රීය කෘතියට පෙර වදනක් සකසා ගැනීමේ අපේක්ෂාවෙන් සේකර මෙම අවසන් සැදෑවේ මහාචාර්ය ධීරසේකරයන් හමු වී ඇති බව ද පැවසේ.දිවියෙන් සමු ගන්නා විට හේ 50 වන වියේ පසු විය. අභාවයෙන් වසර ගණනාවකට පසුව (1981) මෙම කෘතිය වෙනුවෙන් සේකර ශූරින්, විදුදය සරසවියේ ආචාර්ය උපාධියෙන් පිදුම් ලැබීය. 

“ ඊයේ රෑ සිහිනෙන් 
මිය ගිය මම 
(මගේ) වළ මත දෙදණ 
ඔබාගෙන 
මම ම මගේ මළ ගමට 
හැඩුයෙමි 
මගේ කදුළුවල පොහොර 
ලබාගෙන 
මිනී වළෙන් පැළයක් 
මතු විය 
වසර සියයකට පසු මා 
නැවතත් 
මගේ මිනිය ඇති 
සොහොනට ගිය විට 
ඒ මල් පැළයෙහි සුදු මල් 
පොකුරක් 
පිපී සුවඳ විහිදුවමින් 
පැවතිණි“

මහගම සේකර කවියා සාහිත්‍ය කෙතේ රෝපණය කළ ඒ විසල් රුකෙහි සුපිපි පුෂ්පයන් ගේ නිමල සුගන්ධය සියක් වසරක් නොව කප් සුවහසක් පුරා පරපුරෙන් පරපුර රසික හදවත් ආස්වාදනයට පත්කරනු නිසැකය.

මිහිමත සියල්ල එක්තරා ළයාන්විත රිද්මයක් මත උපත ලබා ඇති බව ඔහු විශ්වාස කළේය. මළ හිරු පෑල දිගු අහසෙහි සැඟවෙන මොහොතෙහි, පිලේ පැදුර කිහිලි ගන්නා ගෙන හේන වෙත පිය නගන ගැමියා මුවින් ගිලිහෙන පැල් කවියෙහි රිද්මය, ගම්මානයේ වක්කඩ ළග දිය වැටෙනා රිද්මය, ජන හදවත්හි නිතැතින් කුළු ගන්වන්නේ, සේකරයන් පිළිබදව වූ සොදුරු මතකයයි.

1929 අප්‍රේල් 07 වන දින මහගමසේකර රදාවාන ගම් පියසේ, මහ ගමගේ ජෝන් හා රොසලින් යුවළට දාව උපත ලැබීය. රදාවාන පිරිමි පාසලෙන් මූලික අධ්‍යාපනය ලැබූ ඔහු වැඩිදුර අධ්‍යාපනය සදහා 1943 වසරේදී ලලිත කලායතනයට ඇතුළත් විය. සහජයෙන් උරුම වූ සොදුරු නිපුණතා තීව්‍ර කර ගැනීමෙහිලා එමගින් ඔහු ලද පෝෂණය හා ශීක්ෂණය සුළුපටු නොවේ. අනතුරුව නිට්ටඹුවේ ගුරු විද්‍යාලීය පුහුණුව ලද හෙතෙම 1951 වසරේදී රාජගිරියේ හේවාවිතාරණ රජයේ පාසලේ චිත්‍ර කර්ම ගුරුවරයා ලෙස සිය ජීවන වෘත්තීය ආරම්භ කළේය. පසු කලෙක රාජ්‍ය භාෂා දෙපාර්තුමේන්තුවේ භාෂා පරිවර්තකයකු ලෙසින් සේවය කිරිමට ද ඔහුට අවස්ථාවක් ලැබිණි. “ධවල සේනංකය“ කෘතිය සිංහලයට පරිවර්තනය කළේ මෙම වකවානුවේය. මීරිගම ගුරු අභ්‍යාස විද්‍යාලීය චිත්‍ර කර්ම කථිකාචාර්ය පදවිය දරමින් , සෞන්දර්යකාමී ගුරු පරපුරක් බිහිකරලන්නට ද ඔහු ගත් ප්‍රයත්නය ප්‍රශස්තය.1963 සැප්තැම්බර් 5 වන දින හේ කුසුමලතා මෙනෙවිය සමඟ යුග දිවියට පිවිසියේය. පාටලි, නිරුපමා, සල්මාලි, රවින්ද්‍ර යන දූ පුත්තු සේකර යුවළගේ දිවි ගමනට අරුතක් එක් කළහ.

සේකර ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ වැඩසටහන් සම්පාදක ධූරයට 1960 වසරේ පෙබරවාරි 1 වන දින පත් වූයේ, ඔහුගේ දිශානතිය නැවුම් මඟකට යොමු කරවමිනි. ගුවන් විදුලි ගීත සාහිත්‍ය මුල් වතාවට භාව පූර්ණ, සුනිශිත, සුගායනීය ශක්‍යතාවෙන් පිරිපුන් කලාවක් ලෙසින් හැඩතල ලබන්නේ වැඩසටහන් සම්පාදක මහගම සේකරයන්ගේ නිර්මාණශීලිත්වයෙනි.

“මධුවන්ති” ගුවන් විදුලි සංගීත වැඩසටහන් මාලාව, සේකර ශූරින්ගේ මනස්හි පිලිසිඳි ව්‍යක්ත කාව්‍යමය සංකල්පනාවන්, භාව පූර්ණ ස්වර දැහැනින් වර්ණවත් වී, අමරදේවයන්ගේ මධුර ස්වරයෙන් ගැයුණු ගීත සමුදායකින් පෝෂණය විය. “මළ හිරු බස්නා සැන්ඳෑ යාමේ” , “පාළු අඳුරු නිල් අහස මමයි” වන් ගීත මුළු මහත් විශ්වයම පුරා පැතිරී පාළු ශෝකී ස්වභාව ධ්වනිත කරවන්නේ අප හදවත්හි ගැඹුරුම ස්ථානයන් ස්පර්ශ වන පරිද්දෙනි. සිංහල ගීත වංශයේ අග්‍රගණයේ ගී සේකරයන්ගේ අතින් නිර්මාණය වී, ශ්‍රාවක පිරිස් අමන්දානන්දයට පත්කළේ ගුවන් විදුලි මධුවන්ති වැඩසටහන තුළිනි. පරිසමාප්ත සුභාවිත ගීතයක් නිර්මාණය වන්නේ රචකයා, සංගීත වේදියා සහ ගායකයා යන සුසංයෝයෙහි විභවතාව තුළින් බව හේ මැනවින් පසක් කරගෙන සිටියේය.

යුනෙස්කෝ සංවිධානයෙන් ලද ශිෂ්‍යත්වයක් මත සේකරට නිව්යෝර්ක් වෙත යාමට වරෙක අවස්ථාවක් උදාවිය.

මවු බිමින් යොදුන් දහස් ගණනක් දුරු රටක තනි වූ ඔහු සිය පාළුව, තනිකම මකා ගන්නට, සැදැල්ලේ කවුළුව තුළින් හිස් අහස දෙස නෙතු යොමු කළේය. අහසේ මෝදු වෙමින් පැවති සඳවතිය දුටු සේකරගේ පාළුව සාංකාව පහව ගියේය.ඒ ඇසුරෙන් ඔහු නව්‍ය නිර්මාණයක් කඩදාසියක සටහන් කළේය.

“දිළිහි දිළිහි ආකාසේ රන් පිඟාන සේ 
සඳ මා දන්නා හඳුනන 
අපේ ගමේ වෙල් එළියට පායන සඳ 
පෝය ඳාට බෝ මළුවට පායන සඳ... “

කවියා ඈත එපිට දේශයක, නුහුරු නුපුරුදු සංස්කෘතියකට මැදිව සිටිය ද, තම හුරු පුරුදු ජන්ම භූමියේ පරිසරය පිළිබඳ මතක සුවඳ ආශ්‍රිතව ලද හැකි අහ්ලාදජනක ආශ්වාදය ඔහු තත් නිර්මාණයෙන් තීව්‍ර ලෙස ප්‍රකට කරවයි.

ඔහුගේ නිර්මාණ කුසලතාව කාව්‍ය හා ගීත ක්ෂේත්‍රයට පමණක් සීමා නොවිය. නව කථා, සිනමාකරණය, පමණක් නොව සිතුවම් යන ක්ෂේත්‍රයන් පුරාවටද සිය නිර්මාණශීලි බුද්ධි මහිමය පැතිරවූ කලාකරුවකු ලෙසින් ඔහු ජාතියේ මහත් සම්භාවනාවට පාත්‍රවේ.

සේකර නිර්මාණාත්මක කාව්‍ය ග්‍රන්ථ අටක් සිංහල සාහිත්‍යට දායාද කර ඇත. ව්‍යංගා, සක්වාලිහිණි, හෙට ඉරක් පායයි, මක්නිසාදයත්, රාජතිලක ලයනල් හා ප්‍රියන්ත, බෝඩිම, නොමියෙමි, ප්‍රබුද්ධ නම් වූ එම කාව්‍ය ග්‍රන්ථ මාලාව තුළින්, සේකරයන්ගේ ප්‍රතිභා පූර්ණ කවිත්වය මැනවින් ප්‍රකට වේ. සිය කාව්‍යමය සංකල්ප සහෘදයාගේ රස වින්දනය තීව්‍ර කිරීම පිණිස ජන කවියේ ආකෘතිය සාර්ථකව උපයෝගී කරගත් කලාකරුවකු ලෙසින් ද ඔහු බුහුමනට බදුන්වේ. “ඉරට මුවාවෙන්” “කන්ද උඩින් එන....” “පිලේ පැදුර...” වැනි නිර්මාණ ඊට උදාහරණ ලෙසින් ගෙනහැර දැක්විය හැකිය.

මනස සසල කළ හද කම්පිත කිසියම් වේදනාකාරි අත්දැකීමක් පදනම් කරගෙන නිර්මාණකරණයෙහි යෙදීමෙන් කවියා කිසියම් වින්දනයක් ලබා ඇති බව ව්‍යංඝා කෘතියෙහි “සෝකයේ ගීතය” පද පෙළින් ධ්වනිත වේ.

“බෙල්ලාගේ දුක් එක්තැන් වීමෙන් 
මුතුවක හැඩයෙන් කැටි ගැසෙනා මෙන් 
මගේ වේදනා මිහිරි වේවි 
ගීයක හැඩයෙන් ගලා බසී”

මහගම සේකර තමාගේ හැම පද්‍ය කෘතියකම පාහේ මරණය තේමාව කරගත් පද්‍ය පංතියක් ඇතුළත් කිරීමට විශේෂ උනන්දුවක් දක්වා ඇති බව එම කෘතීන් පරිශීලනය කරන්නකුට පැහැදිලිවම පෙනෙන ලක්ෂණයකි. “නොමියෙමි” නම් පද්‍ය සංග්‍රහයෙහි, ඔහු මුහුකුරා ගිය කාව්‍යමය දෘෂ්ඨි කෝණයකින් මරණය විමංසනය කරයි. මෙහිදී කවියා මරණය දකින්නේ මුළු මහත් විශ්වය පුරා පැතිරී ප්‍රකෘති සෞන්දර්ය ප්‍රවාහයක් ලෙසිනි. මහගම සේකර සිය “නොමියෙමි” කෘතියේ ජීවිතය හා මරණය අතර පවත්නා සදාතනික සබැදියාව මහත් අනුවේදනීය අයුරින් මතු කර දක්වයි.

මහගම සේකර අතින් ලියැවුණු අවසාන ගීයෙහි ද මරණය පිළිබද කිසියම් ඉඟියක් සනිටුහන් වී ඇත.

“ඔබ හද වීනා කම්පිත කරවා 
සංගීතය මම ගෙන එනවා 
ඔබ මළ දවසේ සොහොන් කොතක් වී 
සංගීතයෙ මම කැටි වෙනවා”

කෙසේ වුව, මෙම මහා කවියා අවසන් නින්දේ පසුවන රදාවාන තුන්මන් හන්දියේ පිහිටි සොහොන් කොත වල් බිහි වී, අල්ලක් වන් කුඩා බිම් කොටසකට කටු කම්බි වැටකින් සීමා වී වල් බිහි වී තිබෙනු දක්නට ලැබීම මහත්ම ඛේදයකි.මෙම සෞන්දර්යකාමියාගේ සොහොන් කොත පිළිසකර කරවා, කටු කම්බි ඉවත් කරවා, ප්‍රමාණවත් ඉඩක් සහිත දැකුම්කලු උද්‍යානයක් නිර්මාණය කිරිම කෙරෙහිද , මෙතුමාගේ ජීවමාන පිළිරුවක් එහි නිර්මාණය කිරීම කෙරෙහිද ගරු සංස්කෘතික අමාත්‍යතුමාගේ කාරුණික අවධානය යොමු කරවනු රිසියෙමි.

ආචාර්ය ගාමිණි කාරියවසම්

නව අදහස දක්වන්න