දීපවාලී තෑග්ග! | දිනමිණ


 

දීපවාලී තෑග්ග!

වතු කම්කරුවන් මෙවර දීපාවලී උත්සවය සමරන්නේ තෘප්තිමත් මනසකින් යුතුව ය. ඊට හේතුව ඔවුන්ගේ දීර්ඝකාලීන ඉල්ලීමක් දීපවාලී දිනය දා ඉටුකර ගැනීමට ලැබීම නිසා ය. වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් දහස දක්වා ඉහළ දැමිය යුතු යැයි ගිය ආණ්ඩුව යටතේ විරෝධතා පෙළපාලි ක්‍රියාත්මක විය. විවිධ සාකච්ඡා, සංවාද හා තවත් දේවල් පැවැති මුත් යහපාලනයට එය ඉටුකර ගත නො හැකි විය. වතුකම්කරුවන් පසු වූයේ අතෘප්තිමත් විලාසයකින් වන අතර නිෂ්පාදනයේ යම් පසුබෑමක් ඇතිවීමට ද එය හේතුවක් විය. අපේ සාම්ප්‍රදායික අපනයන තුන තව ම පවතින්නේ අඩාල වූ තත්ත්වයකින් ය. ජනාධිපතිවරයා වතුකම්කරුවන්ගේ ඉල්ලීම ඉටුකිරීමට තීරණය කර ඇති අතර දැන් ඔවුන්ගේ දෛනික වැටුප රුපියල් දහස දක්වා ඉහළ නැඟ තිබේ.

මේ තීරණය අංශ කිහිපයකින් ම රටට සුබදායක වනු ඇත. එක අතෙකින් වතු කම්කරුවන් තෘප්තිමත් භාවයකින් සිය කාර්යයෙහි නිරත වන අතර ඒ මඟින් නිෂ්පාදනයේ වර්ධනයක් අපේක්ෂා කළ හැකිය. සාම්ප්‍රදායික අපනයන ක්ෂේත්‍රය වැඩි දියුණු වනවිට රටට විදේශ විනිමය ගලා එනු ඇත. විදේශ විනිමය ඉපැයීම් ඉහළ යනවිට කඩා වැටුණු ආර්ථිකය යළි පිබිදෙනු ඇත.

වතු කම්කරුවන්ගේ ජීවන ගැටලු දෙස බලන විට එය ශෝචනීය තත්ත්වයක පවතී. දෛනිකව කම්කරුවකු උපයන සාමාන්‍ය වැටුප රුපියල් හයසියයකට වැඩි වන්නේ කලාතුරෙකින් ය. රුපියල් හයසියයකින් පවුලක දෛනික අවශ්‍යතා පිරිමසා ගන්නේ කෙසේද? දෛනික වැටුප රුපියල් දහස වූ කල මාසිකව රුපියල් විසිපන් දහසකට ආසන්න මුදලක් උපයා ගත හැකි ය. එය සාමාන්‍ය පවුලක ජීවන වියදමට සරිලයි.

ජනාධිපතිවරයාගේ ඉහත තීරණයත් සමඟ සනාථ වන තවත් කරුණු කිහිපයක් තිබේ. එක; ජනතාව වෙත ලබා දුන් මැතිවරණ පොරොන්දු ජනාධිපතිවරයා කෙටි කාලයක් තුළ ඉටුකරමින් සිටින බව ය. දෙක; ගිය ආණ්ඩුව යටතේ පිරිහීමට ලක්වූ ආර්ථිකය පියවරෙන් - පියවර උඩට ඔසොවා තබන බව ය. තුන; ජනතාවට ලබාදෙන සහන කෙරෙහි රාජ්‍ය නායකයාගේ අවධානය ඉතා හොඳින් යොමු වී ඇති බවය. මැතිවරණ ජයග්‍රහණවලින් පසු ජනතා පොරොන්දු අමතක කිරීම හා ඒවා මඟහැර යෑම අපේ නායකයන්ගේ සිරිතකි. ඒ සඳහා ඕනෑතරම් නිදර්ශන ඉතිහාසයෙන් උපුටා ගත හැකි ය. ගෝඨාභය රාජපක්ෂ මහතා ලබාදිය හැකි පොරොන්දු පමණක් ජනතාව හමුවේ තබා ඇත. දැන් ඒවා එකිනෙක ඉටුවෙමින් පවතී.

අපනයන ක්ෂේත්‍රය කඩාවැටීම අපේ ආර්ථික පසුබෑමට ප්‍රධාන හේතුවක් විය. නිදසුනක් ගතහොත් ලෝකයේ හොඳ ම තේ නිෂ්පාදකයා ලෙස කීර්තිනාමයක් ශ්‍රී ලංකාවට තිබිණි. ස්වභාවික තේ අතින් ලෝකයේ අංක එක අපට හිමි වී තිබිණි. එහෙත් අද තත්ත්වයට අනුව තේ අතින් ලෝකයේ අපට හිමි තැන අංක හතර හෝ අංක පහය. ඉන්දියාව, කෙන්යාව වැනි රටවල් තේ අපනයනයේ ප්‍රමුඛ තැන ලබාගෙන සිටිති. අපේ තේ කර්මාන්තය බිඳ වැටුණේ රාජ්‍ය පාලකයන් ගනු ලැබූ වැරැදි තීරණ නිසාය යන්න පිළිගත් මතයකි. මේවා නිවැරැදි කිරීමේ වගකීම නව රජය භාරගෙන තිබේ. “සිලෝන් ටී” යන නාමය ලොව පුරා නැවත ප්‍රචලිත කළ යුතු යැයි ජනාධිපතිවරයා කියා සිටී. එය බුද්ධිමත් තීරණයකි. එලෙස ම එය අපට කළ හැකි ය. ඒ සඳහා වතුකම්කරුවන් තෘප්තිමත් කිරීම ද කළ යුතුව ඇත.

වතු කම්කරුවන්ගේ ගැටලු ගතහොත් ඒවා ඉතා සංකීර්ණ වෙයි. වතු කම්කරු සංයුතිය ගත්ත ද උඩරට වතු කම්කරුවන්, පහත රට වතු කම්කරුවන් ලෙසින්ද, තේ, රබර්, පොල් වතු කම්කරුවන් ලෙස ද වර්ගීකරණයකට ලක් වෙයි. උඩරට දෙමළ ජාතික වතු කම්කරුවන්ගේ ගැටලු ගතහොත් ඒවා වෙන ම ගොනුකොට දැක්විය හැකි ය. එම වතු කම්කරුවන් උප සංස්කෘතියකට අයත් වන්නේ යැයි කීම නිවැරැදි ය. නිවාස ගැටලු, අධ්‍යාපන ගැටලු පමණක් නො ව; සමාජානුයෝජනය පිළිබඳ ගැටලු ද ඔවුනට තිබේ. මේ කම්කරු ප්‍රජාව සඳහා නිසි පිළිගැනීමක් හා ගෞරවයක් නැත. සියල්ලට වඩා ඉහළින් පවතින ගැටලුව වන්නේ ප්‍රමාණවත් වැටුපක් නොලැබීම ය. දරු පවුලක් නඩත්තු කළ හැකි වැටුපක් නොලැබෙන විට සියල්ල අවුල් වෙයි. වතු කම්කරුවන් නියෝජනය කරන දේශපාලන පක්ෂවල නායකයන් ඉහත ගැටලු ගැන නිරන්තර සංවාදයක යෙදී සිටින බව රහසක් නො වේ.

කම්කරු නායකයන් අතින් සිදුවී ඇත්තේ ඒ ඒ ආණ්ඩුවල නායකයන් සමඟ සාකච්ඡා කොට පොරොන්දු ලබාගනිමින් ඒවා මත කම්කරුවන් සැනසීම ය. මෙය සැලැකිය යුතු කාලයක් තිස්සේ සිදුවී ඇත. එක කම්කරු නායකයෙක් පසුගිය ජනාධිපතිවරණ සමයේ සජිත් ප්‍රේමදාස මහතා සමඟ සාකච්ඡා පැවැත්වූහ. ඒ අනුව වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් එක්දහස් පන්සියය දක්වා වැඩිකරන බවට පොරොන්දුවක් කම්කරු ප්‍රජාව හමුවේ තැබීය. එහෙත් වතු කම්කරුවන්ගෙන් බහුතරය එය පිළිගත්තේ නැත. එය යථාර්ථවාදී අදහසක් හා යෝජනාවක් නොවන බව ද හුදු මැතිවරණ පොරොන්දුවක් බව ද කම්කරුවන් වටහාගෙන තිබේ. වතුකම්කරුවන් පහසුවෙන් රැවටිය නොහැකි බව එයින් සනාථ වෙයි.

රටක් ගොඩනැඟීම සඳහා අවශ්‍ය වන්නේ ජනප්‍රිය සටන් පාඨ නො වේ. ජනප්‍රිය සටන් පාඨවලින් කළ හැක්කේ ජනතාව රැවටීම පමණි. රටේ ආර්ථිකය බිඳ වැටී ඇති බවත්; එය යළි ගොඩනැඟීම සඳහා නාස්තිකාර වියදම් කපාහැරිය යුතු බවත් ජනාධිපතිවරයා කියා තිබේ. ඊට අදාළ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට ද ජනාධිපතිවරයා පියවර ගෙන තිබේ. එහෙත් කළ යුතු දේවල් කළ යුතුය. වතු කම්කරුවන්ගේ වැටුප් වැඩිකිරීමත් එවැනි කළ යුතු දෙයකි. චීනයේ, රුසියාවේ, ජපානයේ රාජ්‍ය තාන්ත්‍රිකයෝ පිරිසක් මීට දින දෙකකට ඉහත දී ජනාධිපතිවරයා මුණ ගැසුණෝය. එම සාකච්ඡාවලදී සෑම නියෝජිතයකුම කියා ඇත්තේ ආර්ථීක වශයෙන් රට ගෙඩනැඟීම සඳහා නව රජය ගෙන යන වැඩසටහන් අගය කරන බව ය. එම රටවල සහයෝගය ඊට ලැබෙන බව ද විදේශීය නියෝජිතයන් ප්‍රකාශ කර තිබේ. රට නියම පීල්ලට වැටී ඇති බවත් එයින් හැ‍ඟෙයි.

දීපවාලී උත්සවයෙහි අර්ථය වන්නේ හිරු දෙවියන් නමස්කාර කොට සශ්‍රීකත්වය ප්‍රාර්ථනා කිරීම බව සඳහන් වී ඇත. වතු කම්කරුවන්ගේ ද, සමස්ත රටවැසියාගේද සශ්‍රිකත්වය ප්‍රාර්ථනා කරමින් ජනාධිපතිවරයා ත්‍යාගයක් ලබා දී ඇත. එය බොහෝ දෙනෙකුගේ පැසසුමට ලක්වනු ඇත.

 

නව අදහස දක්වන්න