නිලධාරීන් දෙදෙනකු සිදු කළැයි කියන මූල්‍ය අක්‍රමිකතා ගැන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කබඩි සභාපතිගෙන් පැය 6ක් ප්‍රශ්න කරයි | දිනමිණ

නිලධාරීන් දෙදෙනකු සිදු කළැයි කියන මූල්‍ය අක්‍රමිකතා ගැන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කබඩි සභාපතිගෙන් පැය 6ක් ප්‍රශ්න කරයි

ප්‍රින්ස් ගුණසේකර

ශ්‍රී ලංකා කබඩි සම්මේලනයේ සිදුව ඇතැයි කියන මූල්‍ය අක්‍රමිකතා පිළිබඳ එම සම්මේලනයේ සභාපති අනුර පතිරණ මහතාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පැය 6ක් ප්‍රශ්න කරයි. කබඩි සම්මේලනයට ඉන්දියාවේ හර්යානා ප්‍රාන්තයෙන් ලැබුණු රුපියල් ලක්ෂ 10ක මුදලක් නිලධාරියකුගේ පෞද්ගලික ගිණුමට බැර කිරීම හා ඉන්දියාවේ පැවැති 12 වැනි දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේදී ජයග්‍රහණයන් වෙනුවෙන් ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවෙන් පුහුණුකරුවන්ට බෙදා දීම උදෙසා සම්මේලනයට ලබාදුන් රුපියල් 450,000ක මුදල අදාළ පුහුණුකරුවන්ට නොගෙවීම සම්බන්ධව කබඩි සභාපතිවරයාගෙන් කරුණු විමසා ඇත.

මේ ආකාරයෙන් රජයේ මුදල් අවභාවිතා කොට ඇතැයි හිටපු ක්‍රීඩා ඇමැතිවරයකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කළ ලිඛිත පැමිණිල්ලක් අනුව පරීක්ෂණය පැවැත්වෙන අතර සම්මේලනයේ සභාපති අනුර පතිරණ මහතා මේ සම්බන්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කරුණු ඉදිරිපත්කොට ඇත. පතිරණ මහතාගේ ධූර කාලයට කලින් මේ මුදල් ගනුදෙනු සිදුව ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පවසා ඇති අතර ඉදිරියේදී කබඩි සම්මේලනයේ තවත් කිහිපදෙනකුගෙන් ප්‍රශ්න කිරීමට නියමිතව ඇතැයි වාර්තා වේ.

මේ සම්බන්ධව පසුගිය කාලයේ ක්‍රීඩා අමාත්‍යාංශය කළ පරීක්ෂණයකදී හෙළිවූ කරුණු අනුව කබඩි ලේකම්වරයෙකුට හා උප ලේකම්වරයෙකුට ජාතික ක්‍රීඩා සංගමයක හෝ ක්‍රීඩා කමිටුවක සාමාජිකයෙකුවීමට, ජාතික ක්‍රීඩා සංගමයට අනුබද්ධ ක්‍රීඩා සංගමයක සාමාජිකයෙකුවීමට හෝ නාමිකයෙකුවීමට හෝ ජාතික සංගමයක කිසිදු නිලතලයක් දැරීමට නොහැකිවන පරිදි ජීවිතාන්ත තහනමක් ක්‍රීඩා අමාත්‍යාංශය පනවා තිබිණි.

පසුව තහනමට ලක්වූ නිලධාරීන් දෙදෙනා හිටපු ක්‍රීඩා ඇමැතිවරයකුට අභියාචනාවක් ඉදිරිපත්කර තිබූ අතර එය සලකා බලා‍ තහනම ඉවත් කිරීමට ද පියවර ගෙන තිබිණි.

කබඩි සම්මේලනයට ලැබුණු රුපියල් ලක්ෂ 10ක මුදලින් වියදම් කිහිපයක් කපා ඉතිරිව ඇත්තේ රුපියල් 754, 908ක මුදලක් බවත් එයින් අදාළ නිලධාරීන්ට රුපියල් 510,000ක මුදලක් ගෙවා ඇති බවත් ක්‍රීඩා අමාත්‍යාංශය කළ පරීක්ෂණයකදී චෝදනාලත් කබඩි ලේකම්වරයා හා උප ලේකම්වරයා පවසා තිබිණි. එහෙත් අදාළ මුදල් සංගමයේ ගිණුමට ලැබී නොමැති හෙයින් එම මුදල, වහාම බැරකළ යුතු බව හිටපු ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල් සමන් බණ්ඩාර මහතාගේ අස්සනින් කබඩි සම්මේලනයට ලිඛිතව දැනුම්දී ඇත. පරීක්ෂණය පැවැත්වෙද්දී මාසයකට අධික කාලයක් එම මුදල් පෞද්ගලික ගිණුමේ රදවා තබා ගැනීමෙන් ලබන පොලී මුදල් ගණනය කොට සංගමයේ ගිණුමට බැර කරන ලෙස ද හිටපු අධ්‍යක්ෂ ජෙනරාල් වරයා දැනුම් දුන්නේය.

දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේදී ජයග්‍රහණයන් වෙනුවෙන් ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවෙන් පුහුණුකරුවන්ට බෙදා දීම උදෙසා සම්මේලනයට ලබාදුන් රුපියල් 450,000ක මුදල අදාළ පුහුණුකරුවන්ට නොගෙවා ඇති බැවින් එය ගෙවීමට කටයුතු කරන ලෙස ද දැනුම් දුන් අතර මුදල් ගෙවීමට අසමත් වුවහොත් වංචා විමර්ශන ඒකකයට පැමිණිලි කරන බවද ල්ඛිතව දැනුම්දීමට හිටපු ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා පිවර ගෙන තිබිණි.

කබඩි සම්මේලනයට ලැබී ඇති මුදල් පෞද්ගලික ගිණුමකට බැර කර ගැනීම හේතුවෙන් එය මුදල් අවභාවිතාවක් ලෙස සලකා ක්‍රීඩා පනතේ රෙගුලාසිවලට අනුකූලව මුදල් අවභාවිතාවූ සංගමයේ ලේකම්වරයා හා උප ලේකම්වරයාට දඬුවම් නියම කිරීමට පියවර ගත්තේය.

එමෙන්ම ශ්‍රී ලංකා කබඩි සම්මේලනයේ ලියාපදිංචිය අත්හිටුවා වහාම ක්‍රියාත්මක වන පරිදි කබඩි සම්මේලනයේ නිසි බලධාරියා ලෙස ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා පත්කොට අති විශේෂ ගැසට් නිවේදනයක් නික්තු කිරීමට ද හිටපු ක්‍රීඩා ඇමැතිවරයා පියවර ගත්තේය.

පසුව එම ගැසට් නිවේදනය අහෝසි කොට කබඩි සම්මේලනයේ නිලවරණය පැවැත්වීමට ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව පියවරගත් අතර එහිදී සභාපති ලෙස අනුර පතිරණ මහතා ඇතුළු පිරිසක් තේරී පත්වූහ.

නව අදහස දක්වන්න