ජනේරුව උදා වෙද්දී | දිනමිණ

ජනේරුව උදා වෙද්දී

රාත්‍රී භෝජන සංග්‍රහය මුළුමනින්ම වාගේ පිළියෙල වෙමින් තිබු‍ණේ ‘ඉතාලි’ පන්නයටය. සූකර හා කුකුළු මාංශ බැදෙන, පිලිස්සෙන ගන්ධය සමඟ ඔලිව් තෙල්වලින් නැගෙන තෙම්පරාදු සුවඳ මුසු විය. ජනේරුව උදා වන්නට හෝරා පහ හයක් තිබුණද, තැනින් තැන පත්තු වන රතිඤ්ඤා සහ අහස් කූරුවල ශබ්දය මිනිසුන්ගේ ප්‍රීති ප්‍රමෝදයටත්, සුනඛයන්ගේ භීතියටත් හේතු විය. එහෙත් බළල්ලු නම් වෙනදා මෙන්ම මේ කිසිදු කාරණයකින් වික්ෂිප්ත නොවී පුරුදු ලෙස අලස නිද්‍රාවේම ගැලුනහ.

රාත්‍රී භෝජන සංග්‍රහය පැවැත්වුණු එම නිවස වසර සියයකටත් වඩා පැරැණි විය. කබොක් ගලෙන් බඳින ලද, ශක්තිමත් බිත්තිවලින් හෙබි එම නිවස සිංහල උළු සෙවිලි කළ උස් වහළකින් යුක්ත විය. එහි නිවැසියන්ගෙන් වැඩි පිරිසක් වාසය කළේ ඉතාලියේය. කලාතුරකින් ඔවුන් පැමිණි විට නානාවිධ හේතු දක්වමින් පැවැත්වෙන සාදවලින් අඩුවක් ‍නොවීය. එවිට ඇසෙන අතිශයෝක්ති කතා බස් සිංහල, ඉංග්‍රීසි පමණක් නොව ඉතාලි බසින්ද සිදු විය. සැබවින්ම එය ‘අන්තර් සංස්කෘතික අධ්‍යයනය පිළිබඳ අපූරු නිදසුනක් විය.

මෙම නිවැසියන්ගේ සමීප ඥාතීන් වූ ‘සාලිය’ සහ ‘අනුත්තරා’ යුවළද මීට දිනකට පමණ පෙර පැමිණ එහි නැවතී උන්හ. සැබවින්ම එය අනුත්තරාගේ නැන්දනියකගේ නිවස විය. ඔවුන් දෙදෙනා ඇතැම් වකවානුවලදී යම් යම් රැකී රක්ෂාවල නිරත වූහ. එහෙත් වැඩ වර්ජනවලට සහභාගී වීම නිසා හෝ වෙනත් විවිධ හේතු නිසා ඔවුන් වසරේ වැඩි කාලයක් සිටියේ රැකියා විරහිතයන් විලසිනි. සමාජ, දේශපාලන කාරණා සඳහා අගනුවරට පැමිණෙන විට මේ ඥාති නිවසේ නතර වී ඉන්නට ඔවුහු පුරුදුව සිටියහ.

එහෙත් නව වසරක් උදාවෙද්දී එම නිවසේ රැඳී සිටීමට සාලිය සහ අනුත්තරා අකමැති වූහ. එම නිසා නොපමාව එතැනින් පිටවී යන්නට ඔවුහු කතිකා කර ගත්හ. ටී ෂර්ටයකින් හා ඩෙනිමකින් සැරසුණු අනුත්තරාද කුර්තා කමිසයකින් හා කළු කලිසමකින් හැඩවුණු සාලියද කුඩා ගමන් මල්ලක් රැගෙන සාලයට එනු නිවසේ වැඩිහිටි ඥාතිවරිය දුටුවාය.

“අයියෝ! ඇයි ඔයාලා යන්නද? පාටියට ඉඳලා යන්නකෝ! අද අන්කල් මියුසික් ගෲප් එකකුත් ගේනවා.”

එයට අනුත්තරා පිළිතුරු දුන්නේ පුළුල් සිනාවක් පාමිනි.

“කමක් නෑ... ආන්ටි... අපේ යාළුවො වගයක් අපි එනකල් බලාගෙන ඉන්නවා. නොගිහින් හොඳ නැහැනෙ.”

නැන්දනිය එවර විස්මය පළ කළේ අභිනයෙනි. “ආ... ඇත්තද? එහෙනම් ජයට පාටියක් ඇති නේද?”

එවර, ‘සාලිය’ පිළිතුරු දුන්නේ ය.

“ඔව්... අපට ගිය අවුරුද්දෙත් එන්න කිව්වා. ඒත් යන්න බැරි වුණා. මේ පාර නම් කොහොම හරි යන්න ඕනෙ.”

“ඒත් ළමයිනේ දැන් රෑ බෝවීගෙනත් එනවනේ. ඔයාලා කොහොමද යන්නේ ත්‍රීවිල් එකකින්ද?”

“තාම රෑ වෙලා නැහැනේ. බස් එකේ හෝමාගමට යනවා. ටවුන් එකේ බැහැලා ත්‍රීවිල් එකක යනවා.”

ඥාතීන් සියල්ලන්ට සුබ නව වසරක් ප්‍රාර්ථනා කළ යුවළ මඟට බටහ. නිවස ඉදිරිපිටින් වමට හැරී මදක් කඩිනමින් ගමන් කළ ඔවුහු මංසන්ධියකට පැමිණියහ. එතැන මදකට නැවතුණු අනුත්තරා නොකඩවා සිනාසෙන්නට වූවාය.

“ඔන්න ඉතින් ඔයා ඇංජිම ස්ටාට් කර ගත්තා.”

‘සාලිය’ ඈ දෙස බලමින් පැවසුවේ සෝපහාසයෙනි. ඔහු එසේ කීවේ අනුත්තරාගේ සිනාවේ විශේෂත්වය නිසාය. ඉතා සුළු කරුණකට වුවද දෙවුර සලිත කරමින් සිනාසෙන්නට ඕ හපනියකි. මේ නිසා ඔවුන්ගේ මිතුරන් එය උපමා කළේ වාහනයක එංජිමක් ක්‍රියාත්මක වීමටය.

“නෑ... අනේ මට ආන්ටි පාටිය ජයද? දුර තැනක්ද? කියල අහනකොට හිනාව නවත්තා ගන්න බැරි වුණා.”

“අපි වගේ ජොබ් නැති උදවිය අවුරුද්ද උදා වෙනකොට ගෙවල්වල ඉන්න හොඳ නෑ. මූණට මොනවත් නොකිව්වට ඒ මිනිස්සුන්ගෙ අවුරුදු උදාව නැති කරන්න හොඳ නැහැ.”

ඔවුහු කිසිදු වාහනයකට ගොඩ වූයේ නැත. අතුරු මාවත්වලින් හැරෙමින්, කිසියම් නිශ්චිත ඉසව්වක් කරා ගමන් ගත්හ. ඒ අතර වාරයේදී සිල්ලර කඩයකට ගොඩවැදුණු යුවළ සම්බා සහල් කිලෝ දෙකක්ද, සීනි කෙසෙල් ඇවරියක්ද මිලට ගත්හ.

හෝරාවකට පමණ පසු ඔවුහු සරුවට වැවුණු සියඹලා ගසක් අසලින් පටු මාවතකට අවතීර්ණ වූහ. ඒ මාවතේ මීටර් දෙතුන් සීයක් පමණ යන විට වඩාත් ගැමි පරිසරයක සොබාව දැකගත හැකි විය. එය වඩාත් කැපී පෙනුණේ පර්චස් හැටක පමණ ඉඩමක පිහිටා තිබූ ගව ගාලක් නිසාය. අද ඊයේ ඉපැදුණු වහු දරුවන්ගේ සිට වියපත් එළ ගවයන්ද ජව සම්පන්න නාම්බන්ගෙන්ද යුතු සියයකට වැඩි රංචුවක් එහි දක්නට ලැබිණි. එබඳු තැනක් අගනුවරට ආසන්න තැනක තිබෙනු දකින යමකු විස්මයට පත්වීම අරුමයක් නොවීය. එම ඉඩමේම ගරාවැටුණු නිවසක් දක්නට ලැබිණි. නිරුවත් උඩුකයින් සහ අවුල් කෙස් කළඹකින් හෙබි ගවපල්ලකු දණ්ඩක් අතින් ගෙන නිරතුරුව එහි ගැවසුණේය.

ගවගාල පසු කළ ඔවුන්ට මධ්‍යම ප්‍රමාණයේ රට උළු සෙවිළි කළ නිවසක් දක්නට ලැබිණි. මිදුලේ කිසිදු මල් ගසක් දක්නට නොවීය. දින කීපයකින් මිදුල ඇමදූ ලකුණක් නොවූයෙන් වැටේ තිබූ කොස් ගසකින් පතිත වූ වියළි පත් පාවඩයක් සේ ඇතිරී තිබිණි.

ඉදිරි දොර හැර තිබූ අතර නිවස තුළ විදුලි බුබුළු දැල්විණ. සාලිය හා අනුත්තරා කිසිවක් කතා නොකරම සාලයට ඇතුළු වූහ. එහි කුඩා සිරුරින් යුතු රැවුල වැවූ තරුණයෙකුද සිහින් උස්, ශක්තිමත් දේහයකින් යුතු කළු පැහැති තරුණයකුද පුටු දෙකක හිඳ කිසියම් කතාබහක නිමග්නව සිටියහ. සාලිය හා අනුත්තරා දුටු විගස ඔවුහු ළෙන්ගතු සිනා පා නැගී සිටියහ. මේසයක් හා පුටු කිපයක් ඇති නිවස තුළ පත්තර, සඟරා රැසක් දක්නට ලැබිණි.

“අපි හිතුව අද අනිවාර්යයෙන්ම ඒවි කියල”

කළු උසැති තරුණයා කීවේය. ඒබසට පිළිතුරු දුන්නේ සාලිය යි.

“ඔව් එහෙ ඉන්න එක හොඳ නැහැ පද්මෙ.”

එවිට කුඩා සිරුරින් යුතු තරුණයා මදහස නගා මෙසේ ඇසීය.

“ටිකට් කැපෙන්න වගේ ගියාද?”

එවිට අනුත්තරා ‘එංජිම ස්ටාට්’ කළා ය. ‘අපොයි නෑ. අපි බලෙන්ම ටිකට් කපාගෙන ආවා.”

මේ මොහොතේ කුස්සිය පැත්තේ සිට මැදිවියට ආසන්න පුද්ගලයකු ආවේය. මේ දැන් ලෙලි ගසන ලද පොල් ගෙඩියක් ඔහු අතේ විය.

“පොල් ගෙඩියක් තියෙනවා. සම්බෝලයක් හදන්න ඇහැකි.”

“ඒක හොඳයි!” අනුත්තරා කීවාය. එවිටම මැදිවියේ පුද්ගලයා සාලිය අතේ තිබුණු සිලි බෑගය දුටුවේය.

“අඩෙ අප්පා. අවුරුදු පාටියට තෑගිත් ගෙනැල්ලා. ඉතිං ඔය මොනවැයි?”

“හාල් ටිකක් තියෙනවා. හෙට උදේට අපි කිරිබත් ටිකක් හදමු. සැමන් එකක් ගෙනාවා.”

“අපොයි ඔයි තියෙන්නෙ ඉහටත් උඩින්!” මැදිවියේ මිනිසා උදන් ඇනුවේය. ඔවුහු කුස්සියට ගියහ. එහි එළවළු බක්කියේ මැලවුණු බණ්ඩක්කා කරල් කීපයක්ද, එබඳුම කරපිංචා මිටියක්ද තිබිණි. කුස්සියෙන් පිටත පෑල දොර විය. එයින් ඔබ්බේ කුඩා බිම් තීරුවේ මල් පිපුණු කතුරුමුරුංගා ගසක්ද, පණ යන්නට ආසන්න පැපොල් ගසක්ද විය.

මද වේලාවකින් කුඩා සිරුරින් යුතු තරුණයා කොහෙදෝ යන්නට ලකලෑස්ති විය.

“රත්නායක ඔයා කොහෙද යන්නෙ?”

‘සාලිය’ ඇසුවේය. නළ දත පෙන්නා සිනාසුණු ‘රත්නායක’ මෙසේ කීවේය.

“මං පොඩ්ඩක් ළඟට ගිහින් එන්නම්.”

රත්නායක යළි ආවේ සිලි බෑගයක් ද ඔසවා ගෙනය. එහි තක්කාලි, බෝංචි ඇතුළු එළවළු කීපයක් විය.

“මේ... මේ... කලබල වෙන්ට එපා! තව බඩු තියෙනවා.!”

ඔහු කීවේ ජයග්‍රාහී හැඟීමෙනි. පිරිස ඒ දැක ජයගොස නැගූහ.

රාත්‍රී භෝජනය පොල් සම්බෝලයකින්ද, සැමන් හොද්දකින්ද යුක්ත විය. සියල්ලෝ බඩ පුරා අහර අනුභව කර අතුරුපසට කෙසෙල් ගෙඩි කෑහ.

අනුත්තරා ඇඟ පත දොවාගෙන පද්මනාදන්ගේ සරමක් හැඳ ගත්තාය. මෙසේ පැමිණි දිනවල සරම චීත්තයක් සේ අඳින බැවින් ඇගේ ඉණෙහි කැපුණු සලකුණක්ද විය. බො‍හෝ රෑ බෝ වන තුරු ඔවුන් කතා බහේ නිමග්නව සිටි අතරේ ‘ජනේරුව’ උදාවිය. රතිඤ්ඤා හඬ නෑසී යන විට ඔවුහු සිමෙන්ති පොළොවේ වැතිර සන්සුන්ව නිදා උන්හ.

Tiniwick [email protected]

නව අදහස දක්වන්න