දුම්රිය දෙපාර්තමේන්තුවේ සියලු මිල දී ගැනීම් සම්බන්ධව විමර්ශණයට ස්වාධින කමිටුවක් | දිනමිණ


 

දුම්රිය දෙපාර්තමේන්තුවේ සියලු මිල දී ගැනීම් සම්බන්ධව විමර්ශණයට ස්වාධින කමිටුවක්

දුම්රිය දෙපාර්තමේන්තුව වෙත පසුගිය කාලයේ සිදු කරන ලද ඇතැම් මිල දී ගැනීම් වලින් මහජන මුදල් වැය කිරීමේ දී විශාල වශයෙන් අක්‍රමිකතාවන් සිදුවී ඇති බව මේ වනවිටත් එම දෙපාර්තමේන්තුවේ වෘත්තීය සමිති විසින් පෙන්වා දී ඇති කාරණාවල දී හෙලිදරව් වී තිබේ.
 
එම කරුණු   පිලිබඳව සොයා බැලීම සඳහා අද (17) පෙරවරුවේ අමාත්‍ය මහින්ද අමරවීර මහතා මාලිගාවත්ත ගබඩා සංකීර්ණය වෙත ගොස් එවැනි අක්‍රමිකතා සම්බන්ධව ලැබුනු තොරතුරු මත  සොයා බැලීමට පියවර ගත්තේය.
 
එම අංගනය තුළ ඇති ගබඩාවල විශාල වශයෙන් දුම්රිය මැදිරිවල සවිකරන අලුත් හා පැරණි විදුලි පංකා ගොඩ ගසා  තිබු අතර එම විදුලි පංකා සඳහා ගෙන්වා ඇති අමතර කොටස් නියම අමතර කොටස් ලෙස සඳහන් කරමින් මිල දී ගෙන තිබුනත් ඒවා තත්ත්වයෙන් බාල ඒවා බව තාක්ෂණික නිලධාරින් ප්‍රකාශ කළේය. ඇතැම් අමතර කොටස් සවිකර දින දෙකක් හෝ තුනක් තුළ එකක් රු. 20,000 බැගින් මිල දි ගන්නා විදුලි පංකා දැවී යන බව ද තහවුරු වී තිබේ. එසේ කෙටිකළක් තුළ දැවී යන විදුලි පංකා වෙනුවට දිගින් දිගට අලුත් ඒවා මිල දී ගනු ලබයි.
 
එසේ මිල දී ගත් ඇතැම් විදුලි පංකා දුම්රිය මැඳිරිවල සවි නොකර  අංගනය තුල දිරා ඇති මැදිරිවල ගබඩා කර දිරා යාමට සළස්වා තිබෙන බව ද අමාත්‍යවරයා නිරීක්ෂණය කළේය.
 
එමෙන්ම මේ වනවිට ආනයනය කර තිබෙන  අපේ රටේ දුම්රිය මාර්ගවල ධාවනය කළ නොහැකි මට්ටමේ බරකින් යුත් දුම්රිය එන්ජින් 10ක් ගෙන්වීම හා ඉන් දෙකක් පරීක්ෂණ ධාවනයේ දී පෙරළී යාම සම්බන්ධයෙන් ද අමාත්‍යවරයාට වෘත්තිය සමිති නිලධාරීන් විසින් කරුණු ඉදිරිපත් කළේය.
 
මෙම කරුණු සියල්ලම සම්බන්ධව විධිමත් විමර්ශනයක් සඳහා දුම්රියට කිසිසේත්ම සම්බන්ධ නැති පාර්ශ්ව කිහිපයක් යොදාගනිමින්  ස්වාධීන විමර්ශන කමිටුවක් පත් කිරීමටත් එම කමිටු වාර්තාව සති දෙකක් වැනි කෙටි කාලයක් තුළ ලබා ගෙන එම නිර්දේශ ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
 
මේ අතර වෘත්තීය සිමිති පෙන්වා දුන්නේ මෙම දුම්රිය එන්ජින් සම්බන්ධව සොයා බැලීමට දුම්රිය දෙපාර්තමේන්තුව ද කමිටුවක් පත් කර ඇති බවත්, එහි ප්‍රධානියා ලෙස පත් කර තිබෙන්නේ මෙම දුම්රිය එන්ජින් මිල දී ගැනීමට නිර්දේශ කළ පිරිසේ අයෙකු බවයි. එමනිසා එවැනි කමිටුවක් මගින් සිදුවන්නේ හොරාගේ අම්මාගෙන් පේන ඇසිමක් බව ද වෘත්තිය සමිති නිලධාරින්  ප්‍රකාශ කළේය.
 
එහෙත් අමාත්‍යවරයා කියා සිටියේ තමන් පත් කරන කමිටුවට දුම්රිය දෙපාර්තමේන්තුවට සම්බන්ධ කිසිවෙකුත් සම්බන්ධ කර නොගන්නා බවයි.  අදාල කමිටුව පත් කිරීමේ දී දුම්රිය වෘත්තිය සමිතිවල අදහස් හා යෝජනා මත පමණක් එම කමිටුව  පත් කරන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
 
 

නව අදහස දක්වන්න