පීපල්ස් ලීසිං සමාගම නත්තල් කැරොල් ගී ගයයි | දිනමිණ

පීපල්ස් ලීසිං සමාගම නත්තල් කැරොල් ගී ගයයි

ශ්‍රී ලංකාවේ බැංකු නොවන ප්‍රමුඛතම මූල්‍ය සමාගම වන පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් සමාගම කිතුනු උපත සමරන නත්තල වෙනුවෙන් වාර්ෂිකව පැවැත්වෙන ‘කැරොල් ගීතිකා මෙහෙය’ පසුගිය නත්තල් සමයේ දී කොළඹ පීපල්ස් ලීසිං ප්‍රධාන කාර්යාලයේ දී පැවැත්විණ. මේ කැරොල් ගී ප්‍රසංගයට පීපල්ස් ලීසිං සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි/ සාමාන්‍යාධිකාරි සබ්‍රි ඊබ‍්‍රහිම් මහතා ඇතුළුව ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වය, කාර්ය මණ්ඩලය හා ඔවුන්ගේ පවුල්වල සාමාජිකයෝ සහභාගි වූහ. මේ ‘කැරොල් ගීතිකා ප්‍රසංගයෙහි’ විශේෂ ආරාධිතයා ලෙස පැමිණි කැමිලස් ප්‍රනාන්දු පියතුමා විසින් නත්තල් පණිවිඩය ද ප්‍රකාශ කෙරුණි.

පීපල්ස් ලීසිං සමාගමේ වාර්ෂික නත්තල් කැරොල් ගී ප්‍රසංගයේ දී වසර 2020 දී බෙල්ජියමේ පැවැත්වෙන ‘ජගත් ගීතිකා තරගාවලිය’ සඳහා සහභාගීවීමට බලාපොරොත්තු වන ‘ප්‍රෙස්ටන්ටියා සංගීත පාසලේ’ ගීතිකා කණ්ඩායම ද මේ අවස්ථාවට සහභාගි වූ අතර, ඒ සඳහා අනුග්‍රාහකත්වයක් ලබාදීම ද සිදු කෙරුණි.

පීපල්ස් ලීසිං සමාගමේ වාර්ෂික නත්තල් කැරොල් ප්‍රසංගයට සහභාගිවෙමින් එම සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි/ සාමාන්‍යාධිකාරි සබ්‍රි ඊබ‍්‍රහිම් මහතා පැවැසුවේ ‘අප සමාගමේ වාර්ෂික නත්තල් කැරොල් ගී ප්‍රසංගය කිතුනු උපත සමරන සමස්ත ලෝකවාසී කිතුනුවන් සමඟ එක්ව සමාගමේ කිතුනු බැතිමත් කාර්ය මණ්ඩලය ඉදිරිපත් කරන්නක්. එම අවස්ථාවට අප කතෝලික කාර්ය මණ්ඩලයට සුහදතාව පළ කිරීමට සෙසු කාර්ය මණ්ඩල සාමාජිකයනුත් එක්වීම විශේෂත්වයක්’ යන්නය. මේ කැරොල් ගීතිකා ප්‍රසංගයට එක් වූ ‘නත්තල් සීයා’ තෑගි බෙදා දෙමින් සියල්ලෝම සතුටට පත් කළහ.

 

නව අදහස දක්වන්න