ශ්‍රී ලංකා පිල හා සිම්බාබ්වේ පිල අතර ටෙස්ට් තරගාවලිය හෙට සිට | දිනමිණ

ශ්‍රී ලංකා පිල හා සිම්බාබ්වේ පිල අතර ටෙස්ට් තරගාවලිය හෙට සිට

සංචාරක ශ්‍රී ලංකා පිල හා සිම්බාබ්වේ පිල අතර තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලියේ පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය හරාරේ ක්‍රීඩාංගණයේදී හෙට (19) ආරම්භ වෙයි. සිම්බාබ්වේ පිල වසර දෙකකට පසුව තම රටේදී ටෙස්ට් තරගාවලියක් ක්‍රීඩා කිරීම මෙහි ඇති විශේෂත්වයකි. වසරකට පමණ පෙර සිම්බාබ්වේ පිල බංග්ලාදේශයේදී අවසන් වරට ටෙස්ට් තරගාවලියකට එක්වූ අතර එහිදී තරග 1-1ක් ලෙස තරගාවලිය සමකර ගැනීමට සමත් විය.

එරට ක්‍රිකට් පාලක මණ්ඩලය ක්‍රිකට් පරිපාලනයට දේශපාලන මැදිහත්වීමක් කළේ යැයි චෝදනා කරමින් පසුගිය වසරේ ජූලි මාසයේදී අයි.සී.සීය සිම්බාබ්වේ පිලට ජාත්‍යන්තර ක්‍රිකට් තහනමක් පැනවූ අතර මාස කිහිපයක් තිස්සේ එම තහනම ක්‍රියාත්මක විය. එබැවින් සිම්බාබ්වේ රට තුළ ක්‍රිකට් ක්‍රීඩාවේ නිහැඩිතාවකින් පසුව පැවැත්වෙන මේ ටෙස්ට් තරගාවලිය පිළිබඳ බොහෝ දෙනකුගේ අවධානය යොමුව පවතී.

ශ්‍රී ලංකාව ලෝක ටෙස්ට් ශ්‍රේණිගත කිරීමේ 6වැනි ස්ථානයේ සිටින අතර සිම්බාබ්වේ පිල අයර්ලන්තය පමණක් ඉහළින් 11වැනි ස්ථානයේ රැදී සිටී. පසුගිය කාලයේ සිම්බාබ්වේ පිලට ජාත්‍යන්තර ටෙස්ට් තරගාවලි අවමවීමෙන් ලෝක ශ්‍රේණිගත කිරීමේ ඉහළ යෑමේ අවස්ථා විරල විය.

වසර 1994 සිට මේ දක්වා ශ්‍රී ලංකාව හා සිම්බාබ්වේ අතර ටෙස්ට් ඉතිහාසයේදී සිම්බාබ්වේ පිල තවමත් ශ්‍රී ලංකාවට එරෙහිව කිසිදු ටෙස්ට් තරගයක ජය වාර්තාකර නොමැති අතර පැවැති තරග 18කින් තරග 13ක ජය ශ්‍රී ලංකාව හිමිකරගෙන සිටී. දෙරට අතර පැවැති තරග 5ක් ජය පරාජයෙන් තොරව නිමාවට පත්විය. සිම්බාබ්වේ පිල තම රටේදී අවසන්වරට ටෙස්ට් ජයක් ලබා ඇත්තේ මෙයට වසර 6කට පෙර පාකිස්තානයට එරෙහි තරගයේදීය. බ්‍රෙන්ඩන් ටේලර්ගේ නායකත්වයෙන් යුත් සිම්බාබ්වේ පිල මිෂිබා උල් හක් පෙරටුකරගත් පාකිස්තානය ලකුණු 24කින් පරාජය කොට ලැබූ සියුම් ජයග්‍රහණය එරටදී වාර්තාවූ අවසන් ටෙස්ට් ජයග්‍රහණය ලෙස සටහන් වේ.

මෙවර සිම්බාබ්වේ බලා පිටත්වූ ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩකයන්ගෙන් සමන්විත ටෙස්ට් පිලට තර්ජනයක් ගෙනදීමේ අදහසින් සිම්බාබ්වේ පිල පසුවන බව නොරහසකි. ශ්‍රී ලංකාව අවසන් වරට පසුගිය මාසයේදී පාකිස්තානය සමග ටෙස්ට් තරගාවලියකට ක්‍රීඩා කළ අතර එය 1-0ක් ලෙස පරාජයට පත්විය. පාකිස්තාන සංචාරයට එක්වූ වේග පන්දු යවන අසිත ප්‍රනාන්දු හා කුසල් ජනිත් පෙරේරා සිම්බාබ්වේ සංචාරයට එක්ව නොමැති අතර ඒ වෙනුවට සුරංග ලක්මාල් හා ළහිරු තිරිමාන්න කැඳවා ඇත. සිම්බාබ්වේ පිල හා සංසන්දනය කරද්දී ශ්‍රී ලංකා පිල සෑම අංශයකින්ම ඉදිරියෙන් සිටීම කැපී පෙනේ. ශ්‍රී ලංකා පිලේ සිටින අත්දැකීම් බහුල ක්‍රීඩකයන් මෙල්ල කිරීම සිම්බාබ්වේ පිල බලාපොරොත්තුවන තරම් පහසු ඉලක්කයක් නොවන බව විචාරක මතය වේ.

ශ්‍රී ලංකාව සමග ටෙස්ට් තරගාවලියට එක්වන සිම්බාබ්වේ පිලේ නායකත්වය ෂේන් විලියම්ස්ට පවරා ඇත. ටෙස්ට් වරම් දිනා නොගත් නවකයන් රැසකට දොරටු විවරවූ මේ තරගාවලියේදී අත්හදා බැලීම් කිහිපයක් සිදු කිරීමට අපේක්ෂාවෙන් පසුවේ.

සිම්බාබ්වේ පිලේ වේග පන්දු යවන ක්‍රීඩක ටෙන්ඩායී චටාරා ආබාධ තත්ත්වයක් හේතුවෙන් ක්‍රීඩා නොකරන අතර ඒ වෙනුවට තවමත් ටෙස්ට් වරම් දිනා නොමැති වික්ටර් නයාචී හා කාල්ටන් සූමා වේග පන්දු බල ඇණියට කැඳවා ඇත. එමෙන්ම මංගල ටෙස්ට් වරම් දිනා ගැනීමේ බලාපොරොත්තු ඇතිව ආරම්භක පිතිකරු කෙවින් කසුසා, බ්‍රයන් මඩ්සින්ගනයාමී හා වමත් දඟ පන්දු යවන එයින්ස්ලී නඩ්ලොවූ සිම්බාබ්වේ සංචිතයේ රැදී සිටිති.

ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය - දිමුත් කරුණාරත්න (නායක), ඕෂධ ප්‍රනාන්දු, කුසල් මෙන්ඩිස්, ඇන්ජෙලෝ මැතිව්ස්, දිනේෂ් චන්දිමාල්, ළහිරු තිරිමාන්න, ධනංජය ද සිල්වා, නිරෝෂන් දික්වැල්ල, ඩිල්රුවන් පෙරේරා, ලසිත් ඇඹුල්දෙණිය, ළහිරු කුමාර, විශ්ව ප්‍රනාන්දු, කසුන් රාජිත, ලක්ෂාන් සඳකැන්, සුරංග ලක්මාල්.

සිම්බාබ්වේ ටෙස්ට් සංචිතය - ෂෝන් විලියම්ස් (නායක), සිකන්දර් රාසා, රෙගිස් චකබ්වා, ක්‍රෙග් අර්වින්, කයිල් ජාවිස්, කෙවින් කසූසා, ටිමිසෙන් මරුමා, ප්‍රින්ස් මස්වයුරි, බ්‍රයන් මඩ්සින්ගනයාමී, කාල් මුම්බා, එයින්ස්ලී නඩ්ලොවූ, වික්ටර් නයාචී, බ්‍රෙන්ඩන් ටේලර්, ඩොනල්ඩ් ටිරිපානෝ, චාල්ටන් ට්ෂුමා.

 

නව අදහස දක්වන්න