ජනපති පත්වීම රටට නව ජීවයක් | දිනමිණ

ජනපති පත්වීම රටට නව ජීවයක්

දුමින්ද අලුත්ගෙදර

ආචාර්ය සුදුහුම්පොළවිමලසාර හිමි ජපානයේ දහම් සෙවණ ජාත්‍යන්තර මධ්‍යස්ථානාධිපති කිරිගම්පමුණුව, මත්තේගොඩ

උසස් නිලධාරීන්ට ඉල්ක්ක දීම ඉතාමත් හොඳයි

වෙනත් රටවල කොණ්ඩය කපන්නත් උපාධි තියෙනවා

පවුල් සංස්ථාව සෙනෙහසින් පුරවන්න ඕන

පන්සලෙන් ඈත්වුණා ජනමතය දූෂ්‍ය වුණා

අවුරුදු දෙකක් කැපකිරීම් කළොත් ජනපතිගෙ වැඩපිළිවෙළේ වටිනාකම පෙනෙයි

අපේ පැරැණ්නන් අනුන් කන්න දෙන තුරු බලාහිටියේ නැහැ

වර්තමානයේ ශ්‍රී ලංකාව මුහුණ පා ඇති අර්බුදය ජයගැනීමට ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ගෙන යන වැඩපිළිවෙළෙහි වටිනාකම සහ එහි තාර්කික බවත්, ශ්‍රී ලාංකික සමාජය වඩා යහපත් තැනකට ඔසවා තැබීම සඳහා බෞද්ධාගමික පරිසරය සහ බෞද්ධ සංස්කෘතික පසුබිම උපයෝගී කරගත හැක්කේ කෙසේද යන වගත් පැහැදිලි කරමින් ජපානයේ දහම් සෙවණ ජාත්‍යන්තර මධ්‍යස්ථානාධිපති ආචාර්ය සුදුහුම්පොළ විමලසාර හිමි එහා ඉවුරට එක්වෙති.

 

l දියුණුවෙමින් පවතින රටක් ලෙස ශ්‍රී ලංකාව මේ වන විට තියෙන්නේ කොතැනද, බෞද්ධාගමික රටක් ලෙස සංවර්ධනය උදාකර ගැනීමට අප කළ යුත්තේ කුමක් ද?

අපි මුලින්ම ලෝකයේ විද්‍යාව බිහිවීම ගැන කතා කරන්නට ඕනෑ. විද්‍යාව පහළ වුණාට පස්සේ පරමාණුව බිහි වීමත් සමඟ ජනතාව කතා කරන්න ගත්තේ පරමාණුවලට එහා ලෝකයක් නැහැ කියලයි. විද්‍යාව කියන්නේ මේ මොහොතේ සොයා ගන්නා ලද දත්තයන් ගැන විග්‍රහ කරන එකක්. නමුත් බුදු රජාණන් වහන්සේගේ දේශනයේ දීග නිකාගේ අග්ගජ්ජ සූත්‍රයට අනුව ලෝකය විනාශ වෙලා යනවා. එහෙම විනාශ වුණත් අපි ඉන්නවා. අපි ඉන්නෙ නොපෙනෙන බ්‍රහ්ම ලෝකවල. ලෝක විනාශයකට පස්සේ නැවත ලෝකය හැදෙනවිට යළිත් අපි උපදිනවා. පවතින ලෝකය වුවත් ආරම්භක ස්ථානයක් තියෙන්නට ඕනෑ. විශ්වශක්තිය තියෙන ස්ථානයක් තියෙන්නට ඕනෑ. විශ්වයේ වැඩි ශක්තියක් තියෙන තැනක් විදිහට තමයි මම ශ්‍රී ලංකාව දකින්නේ.

 

l ඔබ වහන්සේ එහෙම කියන්නේ අතීත උරුමයෙන් අපට දායාද වූ සම්පත් නිසාද? එහෙමත් නැති නම් බුදු දහම වැලඳගත් රටක් නිසා ද?

මම කලින් කිව්වා වගේ වැඩිම විශ්වශක්තියක් තියෙන රට අපේ රට. ඒකට හොඳම උදාහරණය තමයි රුවන්වැලි මහා සෑය. මම ජපානයේ විද්‍යා මහාචාර්යවරු කිහිප දෙනෙක් ශ්‍රී ලංකාවට රැගෙන ආවා. ඒ අය රුවන්වැලි මහා සෑය ළඟ නොපෙනෙන ශක්තීන් ගැන ආරූඪයෙන් වගේ ප්‍රකාශ කළා. අග්ගජ්ජ සූත්‍රයේදී බුදුන්වහන්සේ කියනවා බ්‍රහ්ම ලෝකවල අපි ඉපදිලා නැවත අපි මේ ලෝකේ උපදිනවා කියන කාරණයට නොපෙනෙන බලයක් තියෙනවා. බංග්ලාදේශය, පාකිස්ථානය, ඉන්දුනීසියාව වගේ රටවල්වල බුදු දහම විනාශ කළා. නටබුන් කුඩු කළා. නමුත් අවිහිංසාවාදී මිනිසුන් බුදු දහම විනාශ කළාට දුහුවිල්ලක් සේ ඉවත් කරන්න බැරිවුණා. අපේ රටේත් ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ජනාධිපති වෙන්න කලින් විනාශයටම ගියා. ඔය කියන නොපෙනෙන බලවේගය තුළින් අපිට නැවත ජීවයක් ආවා. අපේ ඉතිහාසය පුරාම ඔය වගේ අවස්ථා තිබිලා තියෙනවා. අපේ රට කවුරුහරි ආක්‍රමණය කරන්න හදනවා නම් ඒක වළක්වනවා. ඒ විශ්ව ශක්තිය තියෙන්නේ ශ්‍රී ලංකාවේ.

 

l අපි 1971 වැනි අරගල මැදින්, භීෂණ මැදින් 30 වසරක යුද්ධයක් අවසන් කරලා ආපු රටක්. අද වනවිට අපේ රට විදෙස් රටවලට අතපාන තත්ත්වයක් තියෙනවා. ඔබ වහන්සේ මේ කාරණය දකින්නේ කොහොම ද?

අපේ රට අද පත්වෙලා තියෙන තත්ත්වය ගැන කතා කරනවිට, එක් එක් සිද්ධි, දුර්වලකම් සම්බන්ධ කරන්න සිද්ධ වෙනවා. අපි බුදු දහමේ ප්‍රතිපත්තිවලින් ඉවත් වීම, විහාරස්ථානයක වුවත්, නිවසක වුවත් බුදුන් වදින එකෙන් ඉවත් වුණා. එහෙම බුදු දහමෙන් ඉවත් වෙන විදිහට අපේ අධ්‍යාපන රටාව හැදුවා. ඊළඟට පන්සල්වලින් ජනතාව ඈත් කළා. මේ තත්ත්වයන් නිසා තමයි ඔබ අහන ප්‍රශ්නයට අදාළ මානසිකත්වය ගොඩනැඟුණ පිරිසක් නිර්මාණය වුණේ.

 

l පසුගිය කාලයේ ශ්‍රී ලංකාව බෞද්ධ රටක් නෙවෙයි කියපු ඇමැතිවරුත් හිටියා. අන්‍ය ආගමිකයන් ගැටුම් ඇති කරගත්තා?

දිට්ඨධම්මවේදනීය කර්මයට අනුව අපේ රටට හානි කරපු හැමෝටම වගේ දඬුවම් ලැබිලා තියෙනවා.

 

l මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිවරයා 30 වසරක යුද්ධය ඉවර කළා. නමුත්, ඔහුගේ පාලන බලය මේ රටේ ජනතාව ප්‍රතික්ෂේප කළා. ඊට පස්සේ 5වසරකට බලයට ආපු රජයත් පෙරළලා නැවතත් මහින්ද රාජපක්ෂ මහත්තයාගේ කඳවුර බලයට ගෙනාවා?

අපේ රට සම්පූර්ණයෙන් ම විනාශ වුණ රටක්. ගෝඨාභය රාජපක්ෂ චරිතය දේශපාලනඥයෙක් නෙවෙයි. ජනාධිපති පුටුවේ වාඩි වුණාට පස්සේ තමන් මුහුණ දෙන සහ ඊට කලින් තිබුණ මානසිකත්වයයි නිසා විශාල අධ්‍යයනයක් කරන්න සිද්ධ වෙලා තියෙනවා. අද වෙනකොට දේශපාලනය වල්මත් වෙලා තියෙන්නේ. බහුතරයක් තමන්ගේ සුඛ විහරණය සඳහා යම් යම් දේවල් කළා මිස ජනතාව වෙනුවෙන් අලුත් ක්‍රමයක් හැදුවේ නැහැ. ජනාධිපතිතුමාට තියෙන දැක්ම අනුව මේ ක්‍රමය හදන්න ඕනෑ. ඒකට ටික කාලයක් ගත වෙයි. පාර්ලිමේන්තු බලයත් ඕනෑ. උපදෙස් දෙන නිලධාරින් දෙන උපදේශයට අනුව කොතරම් කැපකිරීම් කරයි ද කියන ප්‍රශ්නය තියෙනවා. ඇතැමුන් ලස්සනට කතා කරනවා. නමුත්, එහෙම අය වැඩ කරන්න බැරි අසාර්ථක පුද්ගලයන් වෙන්න පුළුවන්. කාට හෝ නිලයක් පවරන්නේ නම්, ඒ නිලයට අදාළ කාර්ය සමාජගත වීමේ දී ජනතාවට කොතරම් ප්‍රතිඵලදායක වෙයිද කියන එක අපි හිතන්නට ඕනෑ. ඒ නිසා දීර්ඝ කාලීන ක්‍රමයක් අපේ රට දියුණු කරන්න අවශ්‍යයි.

 

l ඉදිරිගාමී ආර්ථික ප්‍රතිපත්තියක් නැති රටක් විදිහට තමයි අපේ රට තියෙන්නේ. රටට ගැලපෙන අධ්‍යාපන ප්‍රතිපත්තියක් නැහැ කියලත් බොහෝ දෙනෙක් පෙන්නලා දෙනවා?

විදෙස් රටවල ගොවියන්ට ඉගෙන ගන්න විශ්වවිද්‍යාල තියෙනවා. පුහුණු මධ්‍යස්ථාන තියෙනවා. අපි ශරීරය ලස්සන කරන එකත් අපේ රටේ ආර්ථිකයට සම්බන්ධ කරන්න පුළුවන්. දොස්තරලා, ඉංජිනේරුවෝ විතරක් හදන්න තමයි අපි ලෑස්ති වෙන්නේ. කොණ්ඩෙ කපන එකට පවා විශ්වවිද්‍යාල පිටරටවල තියෙනවා. සාමාන්‍ය පෙළින් පස්සේ ළමයා කරන්නේ මොකක්ද කියන එක අපේ රටේ අයට හිතන්න විදිහක් නැහැ. ගෝඨාභය මහත්තයා ජනපති වෙන්න කලින් මම හමුවුණා. අපි මේ ගැන සාකච්ඡා කළා. එතුමට තියෙන දැක්මට අනුව මේ ක්‍රමය හදන්නෙ නැතිව ජනතාවගේ බඩ කට පුරවලා විතරක් වැඩක් නැහැ. නොමිලේ කන්ට දිදී හරි එතුමාගේ ඔළුවෙ තියෙන ක්‍රමය අපි හදන්න ඕනෑ.

l වත්මන් රජය බිහි වුණාට පස්සේ රාජ්‍ය ආයතන, සංස්ථාවලට සභාපතිවරු සහ අධ්‍යක්ෂ මණ්ඩලයක් තෝරා ගත්තේ විද්වත් කමිටුවක් හරහා. ඒ කාරණය ඔබ වහන්සේ දකින්නේ කෙහොමද?

මෙතැනදී විද්වත් කියන කාරණය මම දකින්නේ තමන්ගේ විෂය පථය ගැන තියෙන විද්වත්කම. තානාපති කෙනෙක් පත් කළාම සමහර තානාපතිවරු දන්නේ නැහැ කරන්න ඕනෑ මොනවද කියලා. සභාපතිවරයෙක් පත් කළා ම දන්නෙ නැහැ මම මොනවද කරන්න ඕනෑ කියලා. අධ්‍යක්ෂවරු, ලේකම්වරුත් එහෙමයි. ඒ අය කියන වැඩේ විතරක් කරනවා. බොහෝ අය හිතලා වැඩක් කරන්නේ නැහැ. ආයතනයක සේවයට ගත්තු සේවකයන්ටත් ඇන ඇන වැඩ කරන්න කියන්න ඕනෑ. එහෙම මේ ගමන යන්න බැහැ. මේ අයට ඉලක්කයක් දෙන්න ඕනෑ. ඒ බව තේරුම්ගෙන ජනාධිපතිවරයා පසුගියදා සංචාරයකයන් ගෙන්වන්න ඉලක්කයක් දෙන්න යෝජනා කළා. සංස්ථාපිත සමාගමක වුණත් සභාපතිවරුන්ට වසරක ඉලක්කයක් ලබා දී තියෙනවා. එහෙම ඉලක්ක නොදී දේශපාලන සතුට වෙනුවෙන් තනතුරු දීලා ආයතනවල දියුණුවක් දකින්න බැහැ. අපේ රටේ මහජනතාවගෙන් 80%ක් විතර ජීවන අරගලයක ඉන්නවා. දේශපාලකයන්ගේ පිටුපස්සේ මිනිස්සු ඉන්නේ ඉඩම් ගන්න, බස් දාගන්න, රස්සා ගන්න. අදටත් ඒ මිනිස්සු ඉන්නවා. ජනාධිපති වෙන්ට කලින් හිටපු මිනිස්සුයි, ඊට පස්සෙ ඉන්න මිනිස්සුයි හාත්පසින්ම වෙනස්. මේ අවස්ථාවාදීන් සම්පූර්ණයෙන් ඉවත් කරලා දාන්න ඕනෑ. එහෙම නොවුණොත් මේ රටේ කලින් කිව්ව 80%ක ජනතාවට සේවයක් වෙන්නේ නැහැ.

 

l ලෝක ආර්ථික අර්බුදයකදී හෝ ධනවත් රටවල යුද්ධයක් ඇති වුවොත් හෝ අපේ රටට මොන වගේ තත්ත්වයකට මුහුණ පාන්නට සිදුවෙයි ද?

ගුවන් යානා සොයා ගැනීම්, තෙල් සොයා ගැනීම් මේ සියල්ල මෑත ඉතිහාසයේ සිද්ධි. ඊට කලින්, මේ ලෝකය ආරම්භක අවදියේ ඉදලා මිනිස්සු ජීවත් වුණේ නැද්ද? බුදුන්වහන්සේගේ කාලේ ජනතාව ජීවත් වුණේ නැද්ද. අපේ රටේ සීගිරිය වගේ ලෝක උරුමයන් තිබුණේ නැද්ද? ඊළඟට පොළොන්නරුවේ වගේ වාස්තු, වාරි විද්‍යාව තිබුණේ නැද්ද? පෙරදිග ධාන්‍යාගාරය වුණේ අපේ රට නෙවෙයි ද? ඒ නිසා අපි මේ ගැන යළි සිතන්නට ඕනෑ. රෑ වෙනකොට පවුල පිටින් ටීවී එක ළඟ වාඩිවෙලා ආනයනික ටෙලි නාට්‍ය දිහා බලාගෙන ඉන්නවා. මේවා මිනිස්සුන්ගේ මොළෙන් ඉවත් කරන්න ඕනෑ. අපට මානසික වෙනසක් නැතිව ඉදිරියට යන්න අමාරුයි. අනුන් කන්න දෙනකල් බලාගෙන ඉන්න මානසිකත්වයක් ඉස්සර අපට තිබුණේ නැහැ. මේ මානසිකත්වය අපිට වෙනස් කරන්න පුළුවන්. ඒක කරන්න පුළුවන් ඔබතුමාලාට පත්තරවලින්, ටීවීවලින්, රේඩියෝවලින්. මේ වෙනස කරන්න ජනමාධ්‍ය පෙරමුණ ගන්නට ඕනෑ.

 

l ඔබ වහන්සේ මතක් කළා ටෙලි නාට්‍ය සම්බන්ධයෙන්. 94 චන්ද්‍රිකා මැතිනිය ජනපතිනිය වුණාට පස්සේ ජාතික රූපවාහිනියේ සහ අයිටීඑන් රූපවාහිනියේ දේශීය සිනමාවට, ටෙලිනාට්‍යයට, වාර්තා වැඩසටහන්වලට වැඩි ඉඩක් දුන්නා නේද?

අපිට ස්වර්ණමය යුගයක් තිබුණා. අපි සිංහල බෞද්ධයෝ, මේ අපේ උරුමය කියලා මහ ලොකුවට කතා කළාට, පවුල් සංස්ථාවේ තියෙන අසමගිය, දරුවන්ට දෙන වදහිංසා, බිරිඳට කරන හිංසනය අපි දකින්නෙ මාධ්‍යයට නිරාවරණය වන ටිකෙන් විතරයි. අපිට පේන්නෙ නැති අභාග්‍ය සම්පන්න කාරණා බොහෝමයක් තියෙනවා. දරුවන්ගේ මානසිකත්වය කෙළෙසිලා. රන්ජන් රාමනායක චරිතය දිහා බැලුවොත් ඇයි එහෙම චරිතයක් බිහිවුණේ කියලා දකින්න පුළුවන්. පාස්කු ඉරිදා බෝම්බකරුවන්ට බොහෝ දෙනෙක් කියනවා හොඳ අධ්‍යාපනයක් තියෙන අය පුපුරවා ගත්තා කියලා. නමුත්, පොඩි කාලේ ඉදලා ආදරේ කියන එක මානවයාට ඕනෑ. අවුරුදු 16 - 17ක් වෙනකල් අම්මා තාත්තාගේ සෙනෙහස ඕනෑ. මේ කාලයේ දී මිනිස් මොළයේ ඇති ආහාරවලටවත් පණ දිය නොහැකි සෛල ආදරය නිසා අවදිවෙනවා. එහෙම ආදරය අහිමි වුණාම තමයි රන්ජන් වගේ මිනිස්සු බිහි වෙන්නේ. නරක දේවල්, අසභ්‍ය දේවල් එදත් තිබුණා, අදත් තියෙනවා. පුංචි කාලේ ඉදලා අපේ මනස හදන ක්‍රමය අනුව තමයි ඔළුවට දාගන්නවාද නැත්ද කියලා තේරුම් ගන්නේ. ඒ නිසා පවුල් සංස්ථාව සෙනෙහසින් පිරුණු තැනක් වෙන්න ඕනෑ.

 

l නව රජයේ නව දැක්මත් එක්ක ඉදිරියට යන්න නම් ජනතාව කළ යුත්තේ කුමක් ද?

පෙරුම් පුරලා අපිට හරියට පුරුදුයි. අපි එක එක පාරමිතා පුරනවා. අපි ඇස් දෙක පියාගෙන තමන්ගේ නිවසේ ඉදලා විනාඩි දහයක් භාවනා කරන්න ඕනෑ. මම කියන්නේ කවුද? මම කියන පුද්ගලයා පවුලට මොනවද කරන්නේ, මොනවද කරන්න ඕනේ. මම අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් වුණේ ඇයි? මගේ යුතුකම් මොනව ද? කියලා හිතන්නට ඕනෑ. අද ඉදලා හෝ තමන් කළ වැරැදි හදාගෙන අනාගතයට යහපත් දෙයක් කරන්න පුරුදු වුණොත් රටට කලින් පවුල හැදෙනවා. අපි අපේ ඉඩමේ වගා කළොත් අපි ඉස්සරහට යනවා. එහෙම අවුරුදු දෙකක් කැපකිරීම් කළොත් ගෝඨාභය මහත්තයාගේ වැඩපිළිවෙළ කොයිතරම් වටිනවද කියලා පෙනෙයි. අපි අපේ දුර්වලකම් සියල්ලම අවබෝධකරගෙන ඒ කාරණාවලට කාලය කැප කරනවා නම් ජාතියක් විදිහට නැගිටින්න අමාරු නැහැ. අවුරුද්දක් දෙකක් තමන්ගේ වැඩක් කරගෙන ඉස්සරහට යන්න අපේ ආදරණීය මිනිස්සු කැපවෙන්න ඕනෑ. එහෙම කරලත් ගෝඨාභය මහත්තයාට කරගන්න බැරි නම් අපි පාරට බහිමු. එතෙක් අපිට අමාරුවෙන්, ජාතියක් විදිහට නැඟිටින්නට අවස්ථාව දෙන ජනපතිවරයාට අවස්ථාව දෙමු.

නව අදහස දක්වන්න