පොත පතට රජයෙන් අත දෙන්න | දිනමිණ

පොත පතට රජයෙන් අත දෙන්න

“සාහිතස්‍ය භාවඃ සාහිත්‍යම්” යන පාඨයට අනුව සාහිත්‍යය යනු සහිත බවයි. එනම් මනා කොට කියන ලද හෙවත් මනාකොට තබන ලද්දයි. සහෘදයා තුළ චමත්කාරෝත්පාදනය සඳහා තෝරාගත් ශබ්දාර්ථ සහිත කොට බන්ධනය කරන ලද්ද සාහිත්‍යයේ ගත හැකි ය. සාහිත්‍යයෙහි පරමාර්ථය රසජනනයි. එහෙත් එය හුදු රසාස්වාදන මාධ්‍යයක් නොවිය යුතුය. සාහිත්‍යයට වස්තු වන්නේ මානව ජීවිතයයි. එබැවින් එහි අඳුරු අහුමුළු, ගූඨ සිතිවිලි එමගින් විවරණය විය යුතුය. කලා කෘතියක් ආනන්දයෙන් ඇරඹි ප්‍රඥාවෙන් අවසන් විය යුතුයැයි පවසන්නේ එබැවිණි.

සුන්දර ධනය සෞන්දර්ය යි. කුසලතා ධනය කෞශල්‍යය යි. මේ අංශද්වය මානව වර්ගයාගේ අනාගත යහ පැවැත්මට අත්‍යාවශ්‍ය අංගයන් ය. අතිශය මානුෂවාදී මිනිසකු ලොවට දායාද කරන්නට සාහිත්‍යය අත්‍යාවශ්‍ය සාධකයකි. ‘කියවීම මිනිසා සම්පූර්ණ කරන බව’ ප්‍රැන්සිස් බේකන් වරෙක පවසා තිබෙන්නේ එහෙයිනි. මිනිසාට තමා සතු භාෂා ශක්‍යතාව නිසාම සත්ත්ව ලෝකයේ විශිෂ්ට ස්ථානයක් හිමිව ඇත. තමාගේ පැවැත්මට අත්‍යවශ්‍ය වන එම ශක්‍යතාව දෙයාකාරයකින් ප්‍රයෝජනයට ගනියි. ඉන් එකක් භාෂණයයි. අනෙක ලේඛනයයි. භාෂාව මිනිසාගේ සන්නිවේදන මාධ්‍ය වන බැවින් තම අදහස් ප්‍රකාශ කිරීමට භාෂණය ද ඒ අදහස් සටහන් කර තැබීමට ලේඛනය ද උපයෝගී කර ගත්තේ ය.

එදා ලේඛන මාධ්‍ය වශයෙන් පුස්කොළ පොත් සහ තල්පත් යනාදිය යොදාගත්හ. 1505 දී මෙරටට පැමිණි පෘතුගීසීහු කඩදාසි ගෙන ආ අතර ලිවීම සඳහා ඒවා භාවිතයට ගත්හ. 1556 දී පමණ මුද්‍රණ ශිල්පය ගෝවේ පැතිර යමින් තිබුණ ද පෘතුගීසීහු එය මෙරටට ගෙන්වා ගැනීමට උනන්දු නොවූහ. අනතුරුව මුද්‍රණ ශිල්පය මෙරටට ගෙන්වා ගැනීමේ ගෞරවය හිමිවන්නේ ලන්දේසීන්ටය. තමන් විසින් අත්පත් කර ගන්නා ලද පළාත්වල බදු අයකර ගැනීමේ ආඥා සහ වෙනත් නියෝග ජනතාවට දැන්වීම සඳහා පිළියෙළ කරන ලද්දේ ඒවා ලියන්නන් ලවා කඩදාසිවල ලියවීමෙනි. නමුත් නොකඩවා අතින් ලිවීම වෙහෙසකර සහ කාලය නාස්තිවන කටයුත්තක් බව අවබෝධ කරගත් ලන්දේසීහු එදා පෙරදිග රටවල පැතිර යමින් තිබූ මුද්‍රණ ශිල්පය මෙරටට ගෙන්වා ගැනීමට අදහස් කළහ. මේ අනුව ප්‍රාථමික මට්ටමින් ඇරඹි මුද්‍රණ කර්මාන්තය වත්මනය වන විට නව්‍ය තාක්ෂණික විපර්යාසයන්ට භාජනය වෙමින් ඉදිරිගමනකට අවතීර්ණව ඇත.

ඉන්පසුව සාරවත් බිමක රෝපණය කළ වෘක්ෂයක එකවර අතු රිකිලි රැසක් ම වැඩෙන්නාක් මෙන් සිංහල සාහිත්‍යයේ ද විපර්යාසාත්මක විවිධාංග රැසක් පහළ වන්නට විය. පුවත්පත් සඟරාවලින් අරඹා නවකතා කෙටිකතා කාව්‍ය මෙන්ම ශාස්ත්‍රීය පොතපත රචනා කරන්නටත් ඒවා මුද්‍රණ‍යෙන් එළිදක්වන්නටත් ලේඛකයින් පෙළඹිණි. නිර්මාණකරුවා පවතින සමාජයට වඩා ඉදිරියෙන් සිටිමින් අනෙක් අය නොදකින සත්‍යයක් සිය අන්තර්ඥානය තුළින් අවබෝධ කර ගනිමින් ඔවුනට මග පෙන්වන්නෙකි. රටක් සමාජයක් යහමගට ගෙන යාමට ලේඛකයාට ඇත්තේ පුදුම බලයකි.

තරගකාරී ජීවන රටාව, අති ධාවනකාරී අධ්‍යාපන රටාව, රූපවාහිනිය, සමාජ මාධ්‍ය ආදී සාධක හේතුකොටගෙන පාඨකයා කියවීමෙන් දුරස්ථව ඇතැයි සමහරු පවසති. වර්තමානය වන විට කියවීම පාසල තුළින් ද දුරස්ව ඇතැයි මතයකි. පාසල් අධ්‍යාපනයේ පළමු ශ්‍රේණියේ සිට උසස් පෙළ දක්වා ම සිසුන්ගේ මානසික වර්ධනය සඳහා සාහිත්‍ය ඇසුරු කිරීම ඉතා වැදගත් වේ. පාසල් පුස්තකාලවල පොත පත වැඩිපුරම පරිහරණය කරන්නේ කාවන්, මීයන් සහ වේයන් යැයි වරෙක දැඩි කම්පනයෙන් යුතුව කීවේ විදුහල්පතිවරයෙකි. විභාග ඉලක්ක කරගත් අති ධාවනකාරී අධ්‍යාපන තරගයක නිරත දරුවා විභාග උපකාරක පොත පත හැරුණු විට කවියක්, කෙටිකතාවක්, පොතක්, පත්තරයක් කියවා රස විඳින්නට පෙළඹෙන්නේ නැත. එබැවින් අද දවසේ ගුරුවරුන් සහ මවුපියන් ද මේ විෂය ගැන සංවේදී වීම ඉතා වැදගත් වේ.

දූ පුතුන්ගේ අනාගතය සාර්ථක කරගැනීමට අධ්‍යාපනය මඟින් ලැබෙනුයේ ඉමහත් පිටිවහලකි. එය අවබෝධ කරලීම සඳහා හුදෙක් දේශනා පැවැත්වීමට වඩා දරුවන් ප්‍රියකරන ‘සාහිත්‍ය’ මෙවලමක් ලෙස යොදා ගැනීම වඩාත් ඵලදායී වනු ඇත. ඒ සඳහා දරුවන් කුඩා කල සිටම නිර්මාණකරණයට, ලිවීමට, කියවිමට පෙළඹවීම කළ යුතුමය. ඔවුන්ගේ නිර්මාණ අගය කරන්නට එළි දක්වන්නට ඉඩ ප්‍රස්ථාවන් සලසා දිය යුතුය. පාසල් දරුවන් කියවන්නේ නිර්දේශිත පාඨ ග්‍රන්ථ පමණකැයි ද ගුරුභවතුන් කිහිප දෙනෙකු ම මා සමඟ පැවසීය.

ලේඛකයින් සම්බන්ධයෙන් ද වර්තමානයේ පවතින තත්ත්වය ගැන නම් කිසිසේත්ම සතුටට පත්විය නොහැකිය. එදා පොතකින් පිටපත් 1000ක් හෝ 2000ක් මුද්‍රණය කිරීම සාමාන්‍ය ක්‍රමවේදයකි. ඊටත් වඩා වැඩියෙන් මුද්‍රණය කළ අවස්ථා ද ඇත. නමුත් වර්තමානයේ සම්මාන දිනූ කෘති හැරෙන්නට අනෙකුත් පොතකින් මුද්‍රණය කරනුයේ උපරිම පිටපත් 500කි. කවි පොතකින් නම් පිටපත් 250 – 300 කි. අගනුවර ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයට එක් වසරකට ලක්ෂ 10 – 12 ක ජනතාවක් පැමිණිය ද පොතකින් පිටපත් 1000ක් අලෙවි කර ගැනීම දුෂ්කර කාර්යයක් වී තිබේ. කවි පොත් සහ කෙටිකතා පොත් අලෙවිය සම්බන්ධයෙන් නම් ඇත්තේ ඉතාම ඛේදනීය තත්ත්වයකි. සමහර වෙළෙඳ ආයතන විකුණා මුදල් ගෙවීමේ පදනම මත හෝ කවි සහ කෙටිකතා පොත් අලෙවියට භාර ගන්නේ නැත. කවි ලියන අයවත් කවි පොත් මිලදී නොගන්නා බව ඔවුහු පවසති. තවද පලාත් පාලන ආයතනවල මහජන පුස්තකාලවලින් වත් මෙම කවි සහ කෙටිකතා පොත්මිලදී නොගන්නා බව වෙළෙන්දෝ පවසති.

අපේ රටේ ලේඛකයින්ට මෙන්ම පාඨකයින්ට බලපාන පොදු කරුණක් වන්නේ පොතක නිෂ්පාදන පිරිවැය ඉහළ යාමය. ලේඛකයාට පොතක් මුද්‍රණය කිරීමට යන පිරිවැය වැඩිවන තරමට පාඨකයාට අඩුමිලට පොතක් මිලදී ගැනීමේ අවස්ථාව ද අහිමි වේ. මෙයට හේතුව වශයෙන් මුද්‍රණාල හිමිකරුවන් පවසන්නේ වර්තමානය වන විට මුද්‍රණ කර්මාන්තය ද බරපතළ අර්බුද රැසකට මුහුණ පා ඇති බවය. එදා පෘතුගීසීන් පළමු වරට මෙරටට ගෙන ආ කඩදාසි තවමත් ඉන්දියාව, ඉන්දුනීසියාව, තායිවානය, චීනය ආදී රටවලින් ආනයනය කරනු ලබයි. එසේම තීන්ත වැනි අමුද්‍රව්‍ය ද මෙසේ ගෙන්වනු ලබයි. මේ සඳහා බදුබර අඩුකර සහනශීලී වැඩපිළිවෙළක් රජය මඟින් අනුගමනය කළහොත් පොතක නිෂ්පාදන පිරිවැය අඩුකර ගැනීමට හැකියාව ලැබෙනු ඇත. මේ වන විට රජය මඟින් ක්‍රියාත්මක ජාතිය ගොඩනැගීමේ බද්ධ අහෝසි කිරීමේ වාසිය සහ එකතු කිරීමේ අගය මත පැනවෙන බද්ධ සංශෝධනය කිරීමේ සහනයවත් මුද්‍රණ කර්මාන්තයට නියාමාකාරයෙන් ක්‍රියාත්මක වන බවක් නොපෙනේ.

ප්‍රමාණවත් පරිදි නොවෙතත් හැකි පමණින් හෝ කඩදාසි නිපදවා ගැනීමට අපේ රටට හැකිනම් විදේශයට ගලායන විශාල ධනස්කන්ධයක් ඉතිරිකර ගැනීමේ හැකියාව අප සතුව පවතී. මෙයට දශක කිහිපයකට පෙර මහා පරිමාණ නිෂ්පාදන ධාරිතාවකින් ක්‍රියාත්මක වූ ඇඹිලිපිටිය සහ වාලච්චේනයි කඩදාසි කර්මාන්තශාලා වත්මන වන විට ඉතාමත් අඩු නිෂ්පාදන ධාරිතාවක් සහිතව ක්‍රියාත්මකව පවත්නේ අකර්මන්‍ය ලෙසය. අපට අවශ්‍ය කඩදාසි දේශීයව නිපදවා ගැනීමට හැකියාව තිබියදී එම කඩදාසි නිෂ්පාදන කර්මාන්තශාලාවල මිලියන ගණන් වටිනා යන්ත්‍ර සූත්‍ර, ගොඩනැගිලි, ඉඩකඩම් ඇතුළු භෞතික සම්පත් විනාශ මුඛයට යන්නේ කෙදිනක හෝ ඈවර කර අහවර කර දැමීමේ අටියෙන් බව කාටත් වැටහෙන කරුණකි.

කියවීමේ සංස්කෘතියක් රටේ ගොඩනැගීම සහ පොත පතට, සාහිත්‍ය කලාවට ආදරය කරන දරු පරපුරක් බිහිකිරීම ජාතික කර්තව්‍යයක් රටක් ලස්සන වන්නට හිතක් ලස්සන මිනිසුන්ගෙන් එරට පිරී තිබිය යුතුය. දීර්ඝ කාලයක් තිස්සේ නොවිසැඳුණු ලේඛක - පාඨක ගැටලු සම්බන්ධයෙන් රාජ්‍ය මැදිහත්වීමෙන් විද්වත් කථිකාවතක් නිර්මාණය විය යුතු ය. ඒ ඇසුරෙන් ශ්‍රී ලාංකේය ජන සමාජය තුළ සැඟව ගිය සබුද්ධික සංස්කෘතික මිනිසා යළි කැඳවනු වස් සාහිත්‍යකරුවාගේ කාර්යභාරය වඩා ඉහළින් ඔසවා තැබීමට හැකිවනු ඇතැයි සුවහසක් බලාපො‍රොත්තු තැබිය හැකි ය.

 

දේශබන්ධු ඉන්දික සංජීව විතාන

නව අදහස දක්වන්න