එම්.සී.සී.ගැන දිව දෙකේ කතා | දිනමිණ


 

එම්.සී.සී.ගැන දිව දෙකේ කතා

ඇමෙරිකාව සමඟ අත්සන් තැබීමට යෝජිත එම්.සී.සී.ගිවිසුම සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ මතය හිටි හැටියේ වෙනස්ව තිබේ. සිය පාලන කාලය තුළ එම ගිවිසුම අස්සන් තැබීම වෙනුවෙන් ප්‍රබලව පෙනී සිටි එ.ජා.ප. ය දැන් ඊට ප්‍රතිවිරුද්ධ මතයක් දැරීම එක අතකට පුදුමයක් නොවන්නේ එම පක්ෂයේ ඉතිහාසය මෙවැනි දෙබිඩි ක්‍රියාකාරකම්වලින් ගහණව පැවති නිසාවෙනි.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පසුගියදා කියා සිටියේ එම්. සී.සී. ගිවිසුම ඉරා විසිකළ යුතු බවය. මීට මාස තුනකට ප්‍රථම සජිත් ප්‍රේමදාස මහතා දැරුවේ මීට ඉඳුරාම වෙනස් මතයක් බව පාඨකයන් හට අමුතුවෙන් මතක් කළ යුතු නැත. එම්.සී.සී. ගිවිසුම කෙටුම්පත් කිරීමේ සිට කැබිනට් මණ්ඩලයේ අනුමත කිරීම දක්වා සියලු කාර්යයන් හිදී සජිත් ප්‍රේමදාස මහතා දැක්වූයේ උදාසීන පිළිවෙතකි.

2015 වර්ෂයේ සිට මෙරට ක්‍රියාත්මක වූ යහපාලන ආණ්ඩුවේ සෑම ක්‍රියාකාරකමක් ම එකිනෙක ගෙන විශ්ලේෂණය කළහොත් පැහැදිලිව පොදු කාරණාවක් දක්නට ලැබේ. එය නම් එම ආණ්ඩුව පූර්ණ වශයෙන් ක්‍රියාත්මක වූයේ බටහිර ගැති න්‍යාය පත්‍රයකට අනුවය යන කාරණාව වේ. පසුගිය ආණ්ඩුව ගත් සෑම ක්‍රියාකාරකමකදීම සජිත් ප්‍රේමදාස මහතා අනුගමනය කළේ නිහඬ පිළිවෙතකි.

සජිත් ප්‍රේමදාස මහතා එසේ නිහඬ පිළිවෙතක් අනුගමනය කළේ ඒවාට විරුද්ධ නිසා නොව ආණ්ඩුවත් ජනතාවත් යන දෙපාර්ශ්වයම තරහා කර නොගැනීමේ යටි අරමුණ ඇතිවය. ඒ අනුව බලන කල අද එම්.සී.සී. ගිවිසුමට විරුද්ධව මෙසේ ප්‍රබල හඬක් නඟනුයේ කැබිනට් මණ්ඩලයේ තබා දේශපාලන වේදිකාවක දී වත් ඊට එරෙහිව වචනයක් හෝ කතා නොකළ අයකු බව පැහැදිලිය.

එම්.සී.සී. ගිවිසුම සම්බන්ධයෙන් මේ වන විට විවිධ සංවාද හා සාකච්ඡා පැවැත්වෙමින් තිබේ. ජනාධිපති ධුරයෙහි දිවුරුම් දීමෙන් අනතුරුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එම්.සී.සී. ඇතුළු සියලු විදෙස් ගිවිසුම් සම්බන්ධයෙන් සිය මතය පැහැදිලිව ප්‍රකාශ කළේය. ජනාධිපතිවරයා කියා සිටියේ කිසිදු කරුණක් මත රටට අහිතකර ගිවිසුම්වලට තමන් නො එළැඹෙන බවය. එසේම එවැනි අවබෝධතා ගිවිසුම්වලට එළැඹීම සම්බන්ධ‍ෙයන් වන නිර්ණායක ද ජනාධිපති ලේකම්වරයාගේ අත්සනින් යුක්තව නිකුත් කරන ලද චක්‍රලේඛයක් මඟින් සියලු වගකිවයුත්තන් වෙත දැනුම් දීමට ද පියවර ගැනිණි.

එම්.සී.සී. ඇතුළු සියලු ගිවිසුම් සම්බන්ධයෙන් අගමැති මහින්ද රාජපක්ෂ මහතා ද දරනුයේ ජනාධිපතිවරයා දරන ස්ථාවරයමය. විද්යුත් මාධ්‍ය ආයතන ප්‍රධානීන් සමඟ අරලියගහ මන්දිරයේ දී ඊයේ (20) පැවැති හමුවකට එක් වෙමින් අගමැතිවරයා අවධාරණය කළේ එම්.සී.සී. ගිවිසුම යළි අධ්‍යයනය කරන බවය. ඒ සඳහා කමිටුවක් පත් කර ඇති බවත් අගමැතිවරයා කියා සිටියේය.

ඒ අනුව පැහැදිලි වන්නේ ජනාධිපතිවරණයට පෙර මෙන්ම පසුවත් එම්.සී.සී. හෝ එවැනි අනෙකුත් ගිවිසුම් සම්බන්ධයෙන් ගෝඨාභය රාජපක්ෂ සහ මහින්ද රාජපක්ෂ මහත්වරුන් දැක්වූ ස්ථාවරයේ වෙනසක් වී නොමැති බවය. ස්ථාවරය වෙනස් වී ඇත්නම් ඒ එක්සත් ජාතික පක්ෂයේ නායකයන්ගේ පමණකි. ආණ්ඩු කරන සමයේ එක් ස්ථාවරයක් දැරූ එක්සත් ජාතික පක්ෂය විපක්ෂයේ සිටින කල දරනුයේ ඊට ඉඳුරාම වෙනස් මතයක් බව පැහැදිලිය.

ජනාධිපතිවරණයට දින කිහිපයක් තිබිය දී එම්.සී.සී. ගිවිසුම හදිසියේ අනුමත කිරීමට එක්සත් ජාතික පක්ෂයේ කැබිනට් මණ්ඩලය තීන්දු කළ බව ජනතාවට රහසක් නොවේ.

ශ්‍රී ලංකාව වැනි රටක් දියුණුව කරා ගෙන යාමේ දී ලෝකයේ බලවත් රටවල ආධාර උපකාර අවශ්‍ය බව සැබෑවකි. එහෙත් එවැනි උපකාර වෙනුවෙන් රටේ ස්වෛරීත්වය පාවා දිය යුතු නොවේ. ඒ සම්බන්ධයෙන් ආණ්ඩුව පැහැදිලි මතයක සිටින අතර විපක්ෂය දෙබිඩි පිළිවෙතක් දරනුයේ ඉදිරි මැතිවරණය ඉලක්ක කරගනිමින් බව පැහැදිලිය. එය ජනතාව තේරුම් ගන්නා බව නිසැකය. එම්.සී.සී.ගිවිසුම වේවා වෙනත් ගිවිසුමක් වේවා ජනතා අනුමැතියෙන් තොරව අත්සන් තැබීමට වත්මන් රජය කටයුතු නොකරන බවට ජනතාව තබා ඇති විශ්වාසය එක්සත් ජාතික පක්ෂයේ දෙබිඩි පිළිවෙතින් වෙනස් කළ නොහැකි බව නම් ස්ථිරය.

 

නව අදහස දක්වන්න