සිම්බාබ්වේ පළමු ඉනිම ලකුණු 358යි | දිනමිණ


 

සිම්බාබ්වේ පළමු ඉනිම ලකුණු 358යි

ලසිත් ඇඹුල්දෙණිය පිතිකරුවන් මෙල්ල කරයි

සංචාරක ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සමග හරාරේහිදී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ දෙවැනි දිනය වූ ඊයේ සිය පළමු ඉනිම සඳහා ලකුණු 358ක් රැස්කිරීමට සත්කාරක සිම්බාබ්වේ කණ්ඩායම සමත් විය.

ඊයේ දිනය ආරම්භ වනවිට නොදැවී ලකුණු 13ක් ලබාසිටි බ්‍රෙන්ඩන් ටේලර් ඊයේ තවත් ලකුණු 5ක් එක්කර ගනිද්දී තෙවැනි කඩුල්ල ලෙස පිටියේ ඉවත් කිරීමට සුරංග ලක්මාල් සමත්වූයේ ඔහු කඩුල්ල මුවා කිරීමේ වරදට හසුකර ගනිමිනි. නායක ෂේන් විලියම්සන්ගේ ඉනිම ලකුණු 18කට සීමා කරමින් ඊයේ සිය කඩුලු දඩයම ආරම්භ කළ ලසිත් ඇඹුල්දෙණිය සවස තේ පානය සඳහා තරගය නතර කරනවිට තවත් කඩුලු 3ක් බිඳ දැමීමට සමත් විය.

ඊට පෙර පෙරේදා සිවුවැනි ටෙස්ට් අර්ධ ශතකය රැස්කරමින් නොදැවී ලකුණු 55ක් ලබාසිටි ක්‍රෙග් අර්වින්, ලක්මාල්ගේ පන්දුවක් කෙළින්ම කඩුල්ලේ වැදීමෙන් ලකුණු 85කට දැවී ගියේය. පන්දු 187කට මුහුණදුන් ඔහු හතරේ පහර 5ක් සහ හයේ පහර 3ක් ඉනිමට එක්කර ගෙන තිබිණි.

ඉන් අනතුරුව ක්‍රියාත්මක වූ ඇඹුල්දෙණිය රෙගිස් චකබ්වා ලකුණු 8කට, සිකන්දර් රාසා ලකුණු 41කට සහ එයින්ස්ලී නඩ්ලොවු ලකුණු 1කට පිටියෙන් ඉවත් කළහ. පන්දු යැවීමේදී ලසිත් ඇඹුල්දෙණිය ලකුණු 114කට කඩුලු 5ක් දවාගත් අතර සුරංග ලක්මාල් ලකුණු 53කට කඩුලු 3ක්ද, ළහිරු කුමාර ලකුණු 82කට කඩුලු 2ක්ද බිඳ දැමූහ.

පෙරේදා දිනයේදී සිම්බාබ්වේ මුල් පෙළ පිතිකරුවන් තිදෙනාම අර්ධ ශතක රැස්කළ අතර එලෙස මුල් පෙළ පිතිකරුවන් තිදෙනාම අර්ධ ශතක රැස්කළ පළමු තරගය ලෙස මේ තරගය සිම්බාබ්වේ ක්‍රිකට් ඉතිහාසයට එක්විය.

සිය මංගල ටෙස්ට් ඉනිම ක්‍රීඩා කළ කසූසා පන්දු 178කදී අර්ධ ශතකය රැස්කළ අතර ළහිරු කුමාර යැවූ ඉනිමේ 76 වැනි ඕවරයේ තෙවැනි පන්දුවෙන් කඩුල්ල මුවා කිරීමේ වරදට හසුවිය. ඒ වනවිට හතරේ පහර 5ක් සහ හයේ පහරක් සමගින් ලකුණු 63ක් රැස්කළ ඔහුගේ ඉනිමට පන්දු 214ක් වැයවී තිබිණි. පෙරේදා ඉනිමේ දෙවැනි කඩුල්ල ලෙස කසූසා දැවී යනවිට මුළු ලකුණු සංඛ්‍යාව 164ක් විය.

අද තරගයේ තෙවැනි දිනයයි.

නව අදහස දක්වන්න