‘වන්දනා ගමන ගියේ බාරයක් ඔප්පු කරන්න’ | දිනමිණ

‘වන්දනා ගමන ගියේ බාරයක් ඔප්පු කරන්න’

බාරයක් නිදහස් කිරීමට යැයි කියා වන්දනා ගමනක් ගිය නෝනගම වැලිපටන්විල ප්‍රදේශයේ පිරිසක් රැගත් බස් රථය හුංගම බටඅත ප්‍රදේශයේ දී ටිපර් රථයක ගැටීමෙන් සිදු වූ අනතුරින් එකම පවුලේ තුන් දෙනෙක් හා බස් රථයේ රියැදුරු මිය ගොස් ඇත. ( 17) අලුයම පිරිස වන්දනාවේ යෑම සඳහා නෝනගම පිරිසක් සමඟ රන්න ප්‍රදේශයේ පිරිසක්ද එකතු වී කොළඹ කළුතර, බෙල්ලන්විල ඇතුළු සිද්ධස්ථාන වැඳ පුදා ගෙන නිවෙස් බලා පැමිණෙමින් සිටිය දී රන්න ප්‍රදේශයේ පිරිස බස්සවා නෝනගම පිරිස බැස්සවීමට බස් රථය පැමිණිමේ දි හුංගම බටඅත ගොවිපල ඉදිරිපිට දී අනතුරට ලක් වි වී ඇති බව මියගිය පවුලේ අයගේ ඥාති දියණියක වන ඩබ්ලිව්.ජී ආශා මහත්මිය සඳහන් කළාය. ඇය මෙසේද කීවාය .රාත්‍රී 8 ට විතර දුරකථන ඇමැතුමක් ලබා දී මාතර ප්‍රදේශයේ සිටින බව සඳහන් කර සිටියා .රාත්‍රී 9 ට පමණ නැවත ලොකු මල්ලී කථා කරල කිව්ව බටඅත දී බස් රථය අනතුරකට ලක් වුණා කියලා. ඊට පස්සේ තමයි දැනගත්තේ අනතුර සිදු වී පවුලේ අය මිය ගොස් අනික් අය තුවාල ලබා සිටි බව. අම්මා තමයි මේ වන්දනා ගමන සංවිධාන කළේ . මගේ දරුවා ලෙඩවී සිටි නිසා මටත් මගේ මහත්තයටත් යන්න බැරි වුණා. ඒත් මහත්තය කිව්වා වන්දනා ගමන වෙන දවසක යමු කියලා . ඒත් අම්මා සංවිධාන කර තිබූ නිසා ගමන යන්න ගියා. රන්න පැත්තේ කට්ටියක් එක්ක තමයි වන්දනා ගමන ගියේ . ගිය වසරේදීත් මේ බස් එකෙන්ම වන්දනාවේ ගියා . මේ අනතුරින් නෝනගම වැලිපටන්විල පදිංචි ඒ.පී ආරියදාස (71) පියා දියණිය ඒ.පී ඉරේෂා (32) පෙර පාසල් වයසේ පසුවන ජේ.පී ඉෂාධි සෙව්වන්දි (5) සහ බස් රථයේ රියැදුරු රන්න වාඩියගොඩ පදිංචි ප්‍රභාත් මංජුල ලියනගේ යන හතර දෙනා ජීවිතක්ෂයට පත් වී ඇත.

බස් රථයේ ගමන් ගත් තවත් පුද්ගලයන් 18 දෙනෙක් පමණ තුවාල ලබා තංගල්ල සහ මාතර රෝහල් වල ප්‍රතිකාර ලබන බව පොලීසිය කියයි. ටිපර් රථයේ රියැදුරු සහ තවත් දෙදෙනෙක් බරපතළ තුවාල ලබා රෝහල් ගත කර සිටි. බස් රථය සහ ටිපර් රථය මුහුණට මුහුණ ලා ගැටී‍මෙන් වාහන දෙකකටම බරපතළ හානී සිදුව තිබේ. සිද්ධිය සම්බන්දයෙන් හුංගම පොලිස් ස්ථානයේ රථ වාහන අංශයේ නිලධාරීහු පරීක්ෂණ සිදු කරන බව හුංගම පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක එච්.බී.සි ප්‍රනාන්දු මහතා සඳහන් කළේය.

 ලුණම සමූහ සනත් ගමගේ

නව අදහස දක්වන්න