අධිකරණයට ඇති ගෞරවය-විශ්වාසය ගොඩනැගීම සියලු දෙනා සතු වගකීමක් | දිනමිණ

අධිකරණයට ඇති ගෞරවය-විශ්වාසය ගොඩනැගීම සියලු දෙනා සතු වගකීමක්

විද්යුුත් මාධ්‍ය ප්‍රධානීන් හමුවේ අගමැති කියයි

අධිකරණයට ඇති ගෞරවය හා විශ්වාසය නැවත ඇති කිරීමේ වගකීම සියලු දෙනා සතුව ඇතැයි අගමැති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.

අගමැතිවරයා මෙසේ පැවසුවේ විද්යුත් මාධ්‍ය ප්‍රධානීන් සමඟ අරලියගහ මන්දිරයේ පැවැති සාකච්ඡාවකට ඊයේ (20) එක් වෙමිනි.

නව ආණ්ඩුය පිහිටුවා මාස දෙකක් ඉක්ම යන අවස්ථාවේ විද්යුත් මාධ්‍ය ප්‍රවෘත්ති අංශ ප්‍රධානීන් හමුවීමට ලැබීම සතුටක් බවද එහිදී අගමැතිවරයා පැවසීය.

මීට පෙර මේ එහිදී විද්යුත් මාධ්‍ය ප්‍රවෘත්ති අංශ ප්‍රධානීන් නැගූ ප්‍රශ්නවලට අගමැතිවරයා හා අැමැතිවරු මෙසේ පිළිතුරු දුන්හ.

මාධ්‍ය - බඩු මිල ඉහළයෑම පාලනය කර ගැනීමට ආණ්ඩුවට තවමත් හැකි වී නැහැ.

අගමැතිවරයා - එළවළුවලට කිසිම බද්දක් අය කරන්නේ නැහැ. බදු අය කරන්නේ නැතිව එළවළු මිල වැඩි වුනේ ඇයි?. පසුගිය කාලයේ වර්ෂාව නිසා එළවළු වගාව විනාශ වුණා. ඒ වගේම දේශගුණික ප්‍රශ්නත් එක්ක එළවළු මාර්කට් එකට ආවේ නැහැ.

අල වැනි ආනයනය කරන ආහාර ද්‍රව්‍යවලට අය කෙරුණු තීරු බදු අඩු කිරීම මඟින් ආහාර මිල අඩු කළා. ඉදිරියේදී එළවළු වෙළෙඳ පොළට එන්න පටන් ගත්තාම එළවළු මිල අඩුවෙයි කියලා අපි විශ්වාස කරනවා.

ඇමැති බන්දුල ගුණවර්ධන මහතා - පසුගිය කාලය තුළ දේශීය නිෂ්පාදනය කඩා වැටුණා. සැපයුම අනුවයි එළවළු මිල තීරණය වෙන්නේ. පොහොර සහනාධාරය ඉවත් කරලා, වක්කඩ කැඩුවා වගේ හැම දේම ගෙන්වන්න දීම නිසා දේශීය නිෂ්පාදන කඩා වැටුණා. බදු අඩුකරලා, පොහොර සහනාධාරය දීලා, නිෂ්පාදකයාට හොද මිලක් දීලා එක් ක්‍රමවේදයකට හැඩ ගැහෙන්න කිසියම් කාලයක් ගත වෙනවා.

ආණ්ඩුව බලයට පත්වීමෙන් පසුව දීලා තිබෙන බදු සහනයි, මිනිස්සුන්ට වැඩ කරන්න තියෙන උනන්දුවයි ඇස් පනාපිටම පේන්න තියෙනවා. දැන් තරුණයෝ ස්වේච්ඡාවෙන්ම පුරන් කුඹුරු අස්වැද්දීම ආරම්භ කරලා. මේ නිසා එළඹෙින අප්‍රේල් මාසය වෙන කොට අලුත් නිෂ්පාදන වෙළෙඳ පොළට ඒමත් සමඟම, එළවළු මිල අඩුවෙන බව අපි විශ්වාස කරනවා.

මේ අවස්ථාවේ කාලගුණික දේශගුණික තත්ත්වය ඉන්දියාව ඇතුළු අනෙකුත් රටවලටත් සෑහෙන්න බලපා තිබෙනවා. අපිට ඉන්දියාවෙන්වත් අඩු මිලට හාල් ගෙනත් වෙළෙඳ පොළට දාන්න ක්‍රමයක් නැහැ. ඉන්දියාවෙත් මේ දවස්වල මිල වැඩියි.

මාධ්‍ය - ඉන්ධන මිල වැඩවීමක් වෙන්න තිබෙන බවත් කිය වෙනවා.

අැමැති බන්දුල ගූණවර්ධන - අපි ඉන්ධන නිපදවන්නේ නැති රටක්. ලෝක වෙළෙඳ පොළේ තෙල් මිල වැඩිවූ අවස්ථාවල ඒ බර දරන්න වෙන්නේ මිනිස්සුන්ට. ලෝක වෙළෙඳ පොළේ මිල අපිට පාලනය කළ නොහැකි සාධකයක්. පසුගිය කාලයේ ඉරාන - අමෙරිකා එක්සත් ජනපදය අතර ප්‍රශ්නය හේතුවෙන් ඉන්ධන මිල එකවර වැඩිවීමක් සිදු වෙලා නැවතත් මිල අඩු වුණා.

කොහොමත් තෙල් මිල සම්බන්ධයෙන් ලෝක වෙළෙඳ පොළේ දරුණු අර්බුදයක් තියෙනවා. ලෝක වෙළෙඳ පොළේ මිල අනුව අපේ රටේ තෙල් මිල වෙනස් වෙනවා. දැනටත් සහනාධාරයක් යටතේ ආණ්ඩුව යන්නේ. මොන තරම් සහනාධාර රජයට දිය හැකිද කියලා බලන්න වෙනවා. එක පැත්තකින් සියලු බදු වර්ග අඩු කරලා, ඛණිජ තෙල්වලින් ලැබෙන බද්දත් අඩු කළොත් වැටුප් ගෙවීම, රාජ්‍ය ආදායම කළමණාකරණය කරන්නේ කොහොමද කියන ප්‍රශ්නය බරපතළ විදියට එනවා.

මාධ්‍ය - මේ වසරේ සියයට 6.5 දැවැන්ත ආර්ථික වර්ධනයක් ආණ්ඩුව විදියට පුරෝකතනය කරලා තියෙනවා. මුදල් ඇමැතිවරයා විදියට මොනවිදියටද මේ ඉලක්ක සපුරා ගන්න බලාපොරොත්තු වෙන්නේ.

අගමැතිවරයා - සහන සැපයීම, බදු අඩුකිරීම තුළින් තුළින් තමයි ආදායම අඩුවෙලා තියෙන්නේ. පෞද්ගලික අංශයත් මැදිහත් කරගෙන රටේ සංවර්ධනය ඇති කිරීම තමයි අපේ බලාපොරොත්තුව.

අැමැති බන්දුල ගුණවර්ධන - කලින් සියයට 15 වැට් එකයි, සියයට 3ක් එන්. වී. ටී. එකයි අය කළ කාලයේ ව්‍යාපාර වැහුණා. සියයට 15 ක බද්දක් දැම්මම ව්‍යාපාර දියුණූ වෙන්නේ නැහැ. අනවශ්‍ය බදු ඉවත්කරලා සියයට 8ක තනි අගයකට බදු ගෙනාවාම අලුතින් ව්‍යාපාර, කර්මාන්ත ආරම්භ කරනවා.

අගමැතිවරයා මුදල් ඇමැතිවරයා වශයෙන් බැංකුවලට උපදෙස් දුන්නා හරියට ණය ගෙවලා තියෙන අයට සියයට 10 සහන පොලියට මිලියන 300 දක්වා ණය දෙන්නයි කියලා. ඒ විදියේ ණයක් පසුගිය කාලයේ ව්‍යාපාරිකයින්ට ලැබුනේ නැහැ. ව්‍යාපාර කරන අයට 2020 අලුත් බලාපොරොත්තුවක් තියෙනවා. බදු අඩුවෙලා, ණය පොලී අඩුවෙලා, අඩු පොලියට ණය අරන් ආයෝජන කරන්න හැකියාව තියෙනවා. පුද්ගලික අංශය දිරිගන්වා නිෂ්පාදනය වැඩි කිරීම කළ යුතුව තිබෙනවා. කාෂි කර්මාන්තය ගත්තාම ගොවියෝ සුළු හා මධ්‍ය පරිමාන කියලා බෙදීමක් ඇති වෙලා තිබෙනවා. ගම්මිරිස්, කුරුදු, ගොරකා වැනි නිෂ්පාදනවලට මිලක් ලැබෙන නිසා ඒ නිෂ්පාදන වැඩි වෙනවා.

අගමැතිවරයා - පාර දෙපැත්ත බලන්න. ගොඩනැගිලි භාගෙට හදලා. පාර දිගේ ව්‍යාපාරික ස්ථානවල බෝඩ් ඉවත් කරනවා. ණය ගෙවා ගන්න බැරිව ව්‍යාපාර කඩන් වැටිලා හිටපු අයට සහනයක් ලැබීමත් සමඟ පොඩි වෙනසක් සිද්ධ වෙලා තියෙනවා.

අැමැති බන්දුල ගුණවර්ධන - එදා මන්ත්‍රීවරු ළඟට සෙනඟ ආවේ දේපොළ උගස් වෙනවා. වෙන්දේසි වෙනවා, හෙට වෙන්දේසි කරනවා කියලා අඩනවා, නින්ද යන්නේ නැහැ, වහ බොනවා කියනවා. දෙසැම්බර් 31 වැනි දා වෙනතුරු සියළුම නීත්‍යාණුකූල නඩු පැවරීම් ආණ්ඩුව නතර කර තිබෙනවා. සෑම පෞද්ගලික හෝ නිත්‍යාණුකූල බැංකුවක් වර්ෂයක් යන තෙක් නීතිමය කටයුතු නතර කර තිබෙනවා. මේ නිසා මිනිස්සුන්ට නින්ද යනවා. වස බීලා මැරෙන්න හිතුන එක නතර වෙලා තියෙනවා.

ඒ වගේම දඩ පොලී ඉවත් කරලා තියෙනවා. දැන් තනි තනිව දේශපාලනඥයින්ට මේ ප්‍රශ්නවලට විසදුම් දෙන්න බැහැ. මුදල් ඇමැතිවරයාගේ නියෝගය අනුව බැංකුව විසිනුයි ගණු දෙනුකරුවාගේ ප්‍රශ්නය විසදන්නේ. දේශපාලනඥයන් ලියුම් දීලා වැඩක් නැහැ. දඩ පොලී අඩු කරන්න, වසරක් නීත්‍යාණුකූලව කටයුතු නොකරන්න, හොඳට ගණුදෙනු කළ අයට මිලියන 300ක් දක්වා සියයට 10ක පොලියට ණය දෙන්න ආණ්ඩුව තීන්දු අරන් තියෙන්නේ. මේ ණය සහන පැකේජය පුද්ගලික අංශය කිසිසේත් බලාපොරොත්තු නොවුණු එකක්.

අැමැති මහින්දානන්ද අලුත්ගමගේ මහතා - පසුගිය කාලයේ බැංකු ණය ගෙවා ගන්න බැරිව ව්‍යාපාර කඩා වැටුණා. සුළු පරිමාන යෝගට් වැනි කර්මාන්ත වැනි දේ කරපු අය වැටුනා. මේ පැකේජය තුළ ඔවුන්ට ලොකු සහනයක් ලැබිලා තියෙනවා. මේකෙන් ව්‍යාපාරකයින් පිටුපස රැකියා කරපු අය රැකෙනවා. නිවාස බැංකුවලට සින්න වෙලා, ව්‍යාපාර කඩන් වැටිලා, වාහන ෆිනෑන්ස් කොම්පැණීවලින් ගත්තා. වෙන්දේසි දාලා බැංකුවලට වාහන විකුණා ගන්නවත් බැරි තත්ත්වයක් තිබුණේ. ව්‍යාපාරිකයාත්, කොම්පැණියත් හිරවෙන තත්ත්වයක් ඇති වුණේ. ඒ නිසා මේ තීරණය ඉතාම හොඳ තීරණයක්.

අගමැතිවරයා - මෙවැනි පැකේජයක් ඉතිහාසයේ කවදාවත්ම දීලා නැහැ. පළමු වතාවටයි මෙවැන්නක් සිදු වුණේ.

මාධ්‍ය - එජාපයේ මන්ත්‍රීවරයෙක්ගෙන් චෝදනාවක් ආවා හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට ආණ්ඩුවෙන් විශේෂ ආරක්ෂාවක් ලබා දීලා, කාර්යාලයකුත් ලබා දීලා තිබෙන බවට. එහෙම දෙයක් සිදු වෙනවාද?.

අගමැතිවරයා - තිබුණු ආරක්ෂාවයි තියෙන්නේ. මම ඉවත් වෙන වේලාවේ දී නම් පළමු වැනි දවසේදීමයි දීලා තිබුණ ආරක්ෂා ඉවත් කෙළේ. ටික දවසක් ගියාට පස්සේ තමයි හිටපු ජනාධිපතිවරයෙකුට දිය යුතු ආරක්ෂාවක් තියෙනවා කියලා ටිකෙන් ටික ආරක්ෂකයන් වැඩිකරලා දුන්නේ. මේකෙදිත් හිටපු අගමැතිවරයා වශයෙන් එතුමා ආරක්ෂාව ඉල්ලලා තියෙනවා. තවම ඒ සම්බන්ධයෙන් තීන්දුවක් අරන් නැහැ. විපක්ෂනායකකම නැතිවත් සම්බන්ධන්ටත් ආරක්ෂාව දුන්නනේ.

සාමාන්‍යයෙන් හිටපු අගමැතිවරයා වශයෙන් ආරක්ෂාවක් දෙනවා. නමුත් මම දන්නේ නැහැ ආරක්ෂකයින් 200ක් ඉන්නවාද කියලා. එක එක්කෙනාට තිබෙන තර්ජනය මොනවගේද කියලා බලලා තමයි අරක්ෂාව තීරණය වෙන්නේ. වෙන අයගෙන් නොවෙයි. එක්සත් ජාතික පක්ෂයෙන්මයි එතුමාට තර්ජනය තියෙන්නේ.

මාධ්‍ය - ආණ්ඩුව ව්‍යවස්ථා සංශෝධනයක් සම්බන්ධයෙන් උත්සාහ කරන බවක් පේනවා. මොනවගේ ක්ෂේත්‍ර සම්බන්ධයෙන්ද මේ සංශෝධන සිද්ධ වෙන්නේ.

අගමැති - අලුත් ආණ්ඩුවක් ආවට පස්සේ අපි ඒ සංශෝධන බලමු.

මාධ්‍ය - ජනතාවට ලබා දෙන සහන ගැන බොහෝ විට අසන්නට ලැබෙනවා. බඩු මිල අඩු කිරීම සහන දීම ගැන මෙතැනදීත් ප්‍රකාශ වුණා. මේ සහන සැබැවින්ම ජනතාවට යනවාද කියන එක ප්‍රශ්නයක්. වෙළෙඳ පොළේ භාණ්ඩ මිල වැඩිවීමක් තමයි පේන්නේ. පසුගිය ආණ්ඩුවලත් ණය යෝජනා ක්‍රම ඉදිරිපත් වුණාට ඒවා ජනතාවට ලබා ගැනීමට හැකි වුණේ නැහැ.

අැමැති බන්දුල ගුණවර්ධන - පසුගිය ආණ්ඩුව කාලයේ තිබුණේ ප්‍රචාරකවාදී ණය යෝජනා ක්‍රම විතරයි. ඒවා මහ පොළොවේ යථාර්ථයක් වුණේ නැහැ. එන්ටර්ප්‍රයිසස් ශ්‍රී ලංකා කියන එක එහෙම ගෙනත් කෙළේ එජාප හිතවතුන්ගේ ණය අඩු පොලියට පෙරලා ගැනීම පමණයි. ඒවා දේශපාලනික ව්‍යාපෘති. මෙය දේශපාලන ව්‍යාපෘතියක් නොවෙයි. මිනිස්සු හුස්ම ගන්න බැරි තරමට තමන්ගේ වත්කම් දේපොළ නැති වෙන තැනට වැටිලා හිටියත් දැන් නඩු පවරන්නේ නැහැ. නඩු පවරනවා නම් මුදල් අමාත්‍යාංශයට දන්වන්න. නඩු පැවරීම හා දඩ පොලිය වසරක් යනතෙක් නතර කරලා තියෙන්නේ. නිසි ලෙස ගණුදෙනු කළා නම් සියයට 10 පොලියට ණයක් දෙනවා. මේ සියල්ල මුදල් අමාත්‍යාංශය අධීක්ෂණය කරනවා. රිෂාඞ් බදියුදීන් ඇමැතිවරයාගේ කාලයේ පාරිභෝගික අධීකාරියේ යන්ත්‍රණය ක්‍රියාත්මක වීම දුෂණය වෙලා. පාරිභෝගික අධීකාරිය වැඩ කරන්නේ නැහැ.

අගමැතිවරයා - පසුගිය කාලයේ කඩවලට ගිහින් භාණ්ඩ හා මිල පරීක්ෂා කිරීම් ආරම්භ කළා. ඒ සඳහා උපදෙස් දීලයි තියෙන්නේ.

මාධ්‍ය - එම්. සී. සී. ගිවිසුම සම්බන්ධයෙන් ආණ්ඩු පාර්ශ්වයෙන් කමිටුවක් පත් කළා.

අගමැතිවරයා - අපි කමිටුවක් දැම්මා වාර්තාවක් හදලා දෙන්න කියලා.

මාධ්‍ය - ඒ කමිටුවේ ප්‍රගතිය කොහාමද?. මේ සම්බන්ධයෙන් අමෙරිකාවේ පාර්ශ්වය සමඟත් සාකච්ඡා කළාද?.

අගමැතිවරයා - ගිවිසුම සම්බන්ධයෙන් අධ්‍යනය කරනවා.

අගමැති බන්දුල ගුණවර්ධන - සජිත් ප්‍රේමදාස මහත්තයා එම්. සී. සී. ගිවිසුම හෝ කිසිම ගිවිසුමක් සම්බන්ධයෙන් වචනයකින්වත් විරෝධතාවය දක්වලා නැහැ. අපි තමයි මේ ගිවිසුම අත්සන් කිරීම වළක්වන්න සෘජුව දායක වුණේ. ඒ නිසයි එම්. සී. සී. ගිවිසුම අත්සන් කිරීම වැළැක්වුණේ. ඊට කලීන් අත්සන් කරලා තිබුණා සෝපා ගිවිසුම වගේ දේවල්. රජයක් වශයෙනුයි මේ ගිවිසුම් අත්සන් කරලා තියෙන්නේ. සජිත් ප්‍රේමදාස මහත්තයාගේ ආණ්ඩුවක් එනවා කියන්නේ හරිම භයානකයි. ජාත්‍යන්තරව අත්සන් කරපු ගිවිසුම් ඉරලා දානවා. මේ විදියට කරන්න පුළුවන්ද? .දැන් කැබිනට් මණ්ඩලය එම්. සී. සී. ගිවිසුම අත්හිටුවලා තියෙනවා.

මාධ්‍ය- සිංගප්පූරු ගිවිසුම , ඉන්දියානු ගිවිසුම වගේ දේවල් ගැනත් පසුගිය කාලයේ කියැවුණා.

අගමැතිරයා - ඒ හැම ගිවිසුමක්ම අධ්‍යයනය කරනවා.

අැමැති මහින්දානන්ද අලුත්ගමගේ - එම්. සී. සී. ගිවිසුම සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩල අනුමැතිය පමණයි ලැබිලා තියෙන්නේ. ගිවිසුම් අත්සන් කිරීමේ කිසිදු පොරොන්දුවක් දීලා නැහැ.

අගමැතිවරයා - ඒ කාලේ කැබිනට් මණ්ඩලය අනුමත කරලා වාචිකව පොරොන්දු දීලා තියෙනවා.

මාධ්‍ය - හඩපට හරහා යහපාලන ආණ්ඩුවේ නීතිය ක්‍රියාත්මක වීම ගැන බරපතළ ප්‍රශ්නයක් මතුවෙලා තියෙනවා.

අගමැතිවරයා - දැනටමත් ජනාධිපති කොමිසන් සභාවටම ඒ සම්බන්ධයෙන් පරීක්ෂා කරන්න කියලා තියෙනවා. නඩු කාරයකුට කතා කරලා අසවලා එල්ලුම් ගහට යවන්න කියනවා නම් ඒ කියපු කෙනා වගේම යවපු කෙනාත් කරන්නේ වරදක්. අධිකරණයට ඇඟිලි ගැසීම් සිදුවෙලා තියෙන බව පැහැදිලියි.

මාධ්‍ය - හිටපු අගමැතිවරයා වගේම ජනාධිපතිවරයාත් මේ සම්බන්ධයෙන් මැදිහත්වී තිබෙන බව පේනවා.

අගමැතිවරයා - ඒක තමයි බරපතළම කාරණය.

අගමැතිවරයා - පරීක්ෂණයක් මඟින් එන තින්දුවට අනුවයි අපි කටයුතු කරන්නේ. නඩුකාරවරු කී දෙනෙක් ලයිස්තුවේ ඉන්නවාද කියලා අපි දන්නේ නැහැ. එක් ලක්ෂ ගාණක් හඩපට තියෙනවා. පරීක්ෂා කරන්නත් පොලිස් නිලධාරීන් කණ්ඩායම් යොදවලා තියෙනවා.

මාධ්‍ය - මහින්දානන්ද ඇමැතිතුමාත් හඩපටයක් සම්බන්ධයෙන් පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.

අැමැති මහන්දානන්ද අලුත්ගමගේ - හිටපු අගමැතිවරයාටත් රන්ජන් රාමනායකටත් විරුද්ධව මම පැමිණීල්ලක් ඉදිරිපත් කළා දිනවකවානු සහිතව. අගමැතිවරයාගේ ප්‍රධානතවයෙන් පොලිස්පතිවරයාත්, නීතිපතිවරයාත්, අජිත් පී. පෙරේරා මන්ත්‍රීවරයාත් රන්ජන් රාමනායක මන්ත්‍රීවරයාත් මේ සියලු දෙනා එකමුතුව රන්ජන් රාමනායකට මේ කටයුත්ත භාර දෙන, විජේදාස රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ හඩපටයකුත් මම ඉදිරිපත් කළා. මේක රන්ජන්ට ලගු කරන්න එපා. මේක හිටපු ජනාධීපතිතුමාගේ සිට විපක්ෂයේ සියලු දෙනා මර්දනය කිරීමේ කුමන්ත්‍රණයක්. දැන් අගමැවරයාගේ කටහඩ පරීක්ෂා කරන්න නියමිතයි. නීතියේ සාධාරණත්වය ඉටු වෙයි කියලා හිතනවා.

අැමැති බන්දුල ගුණවර්ධන - 2015 ආණ්ඩුව පිහිටවූ ගමන් කැබිනට් මණ්ලයට උඩින් අගමැතිවරයා, චන්ද්‍රිකා බණ්ඩාරනයක, රාජිත සේනාරත්න, පාඨලී චම්පික, වගේ අයගෙන් සමන්විත වුණ විධායක සභාවක් පිහිටවූවා. අද දින 100 ආණ්ඩුව කරපු අය ඒ ගැන කියන්නේවත් නැහැ.

මාධ්‍ය - ලංකාවේ අධීකරණ ක්‍රියාදාමය ගැන ජනතාවට තියෙන්නේ බියක්. අධීකරණ පද්ධතිය ගැන අවිස්වාසයක් තියෙන්නේ.

අගමැතිවරයා - අගවිනිසුරුවරයා මේ සම්බන්ධයෙන් පියවර ගත යුතුයි. ශ්‍රේෂ්ඨාධීකරණයේ කී දෙනෙක්ට කතා කරලා ද කියලා ජනතාව මගෙන් අහනවා. මේ සැකය රටපුරාම ගිහින්. නිවෙසටම ගිහින් විනිසුරුවරයෙක් එක්ක සාකච්ඡා කරන වීඩියෝ එකකුත් අපි දැක්කා. අධීකරණය කෙරේ වූ ගෞරවය හා විශ්වාසය නැවත ඇති කළ යුතුයි. එහෙම නැතිව රටක් ඉදිරියට ගෙනියන්න බැරි වෙනවා. අධිකරණය කෙරේ වූ ගෞරවය හා විශ්වාසය නැවත ඇති කිරීමේ වගකීම අපි සියලු දෙනාම සතුයි.

මාධ්‍ය - ඉදිරි මහ මැතිවරණයෙන් තුනෙන් දෙකක් ලබා ගැනීමේ ශක්තිය තියෙනවාද?.

අගමැතිවරයා - ඒ වගේ තමයි පේන්නේ. මේ තියෙන වාතාවරණය හා එජාපයේ ගැටුම් තුළ තවදුරටත් එජාපය කඩා වැටෙනවා. අද ප්‍රසිද්ධියේම දෙගොල්ලේ ගහගන්නවා.

මාධ්‍ය - මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතවරයා තුනෙන් දෙකේ බලය ලබා ගන්න සහාය දක්වන බව ප්‍රකාශ කර තිබෙනවා.

අගමැතිවරයා - එතුමා ඡන්දය ඉල්ලන බවත් කියලා තිබෙනවා. මම පුරුදු කළානේ. චන්ද්‍රිකාට බැරි වුණා. මගෙන් පස්සේ ආවා නම් කරන්න පුරුදු වෙනවා.

මාධ්‍ය - අර්ජුන මහේන්ද්‍රන් ලංකාවට ගෙන්වා ගැනීම සම්බන්ධයෙන් මොනවගේ පියවරද ගෙන තියෙන්නේ. වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නේ කවදාද?.

අගමැතිවරයා - ඒ වාර්තාව කතානායකවරයාට භාර දිලයි තියෙන්නේ.

අැමැති මහින්දානන්ද අලුත්ගමගේ - පාර්ලිමේන්තුවේ කෝප් කමිටුව සඳහා නියෝජිතයින් පත්කරන්න කියලා දැනුම්දීලයි තියෙන්නේ. කෝප් කමිටුව පත්කරලා රැස්වෙන පළමු වැනි දවසේම වාර්තාව ඉදිරිපත් කිරීමේ හැකියාව තියෙනවා.

අගමැතිවරයා - අර්ජුන මහේන්ද්‍රන් ලංකාවට ගෙන්වා ගැනීම සම්බන්ධයෙන් දියත් වෙන වැඩ පිළිවෙළ දිගටම ක්‍රියාත්මක වෙනවා. ඒක නතර වෙලා නැහැ. ඒ සදහා වූ ක්‍රියාදාමයක් තිබෙනවා. සේපාල ඒකනායකව ඉතාලියෙන් ඉල්ලුවාට ඒකට යම් වැඩ පිළීවෙළක් ක්‍රියාත්මක කරන්න සිදු වුණා.

මාධ්‍ය - ආණ්ඩුවක් මාරු වුණාම ප්‍රතිපත්ති වෙනස් වෙන එක නතර විය යුතුයි. මේ දවස්වල ගැබ්නි මවුවරුන්ට දෙන ආහාර මල්ල ආණ්ඩුවෙන් නතර කරලා කියලා චෝදනාවක් එල්ල වෙනවා.

අගමැතිවරයා - ඒක බොරුවක්. විපක්ෂයෙන් කරන්නේ නොයෙක් දේ මවලා කියන එකයි.

මාධ්‍ය - ආණ්ඩුවක් ක්‍රියාත්මක කරන හොඳ වැඩ ජාතික වැඩපිළිවෙළක් විදියට ඉදිරියට ගෙනියන්න බැරිද?. කෝප් සිටිය වගේ දේවල් පසුගිය කාලයේ නතර කිරීම නිසා සෑහෙන පාඩුවක් සිද්ධ වුණා.

අගමැතිවරයා - ජාතික ප්‍රතිපත්තියක් හැදීම ප්‍රශ්නයක් නොවෙයි. පත්වෙන ඇමැතිවරුන් ආණ්ඩු තමන්ට ඕනෑ දේවල් කරනවා. මූලික ප්‍රතිපත්තියේ ඉදගෙන කටයුතු කරනවා නම් වැදගත්. අපි සම්පත් විකුණන්නේ නැහැ කියන ප්‍රතිපත්තියේ සිටියත් බදු දෙන්නේ නැහැ කියන ස්ථාවරයේ නැහැ.

මෙම අවස්ථාවට විද්යුත් මාධ්‍ය ආයතන ප්‍රධානීන් රැසක් සහභාගි වූහ.

 

නව අදහස දක්වන්න