මාධ්‍යවේදී ප්‍රසාද් පුර්ණමාල්ට මැර ප්‍රහාරයක් | දිනමිණ

මාධ්‍යවේදී ප්‍රසාද් පුර්ණමාල්ට මැර ප්‍රහාරයක්

වෙන්නප්පුව ප්‍රදේශයේ වෙල්යායක් අනවසරයෙන් ගොඩකිරීමක් වාර්තා කිරීමට ගිය මාධ්‍යවේදී ප්‍රසාද් පුර්ණමාල්ට මැර ප්‍රහාරයක් එල්ල වී තිබේ.පසුගිය 17දා පස්වරුවේ මේ මැර ප්‍රහාරය එල්ල වී ඇති අතර මේ සඳහා පැමිණ ඇත්තේ වෙන්නප්පුව ප්‍රදේශයේ එක්සත් ජාතික පක්ෂ හිටපු පළාත් සභා මන්ත්‍රීවරයෙකුගේ පුතකු හා එක්සත් ජාතික පක්ෂ පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුගේ

මැරයෙකි. මේ වෙල්යාය හිටපු එක්සත් ජාතික පක්ෂ වයඹ පළාත් සභා මන්ත්‍රීවරයෙකු විසින් තමන්ට අයිති බව පවසන අතර එහෙත් ඔහුට අයිති බව සඳහන් නිත්‍යානුකුල ලිපි ලේඛන ඉදිරිපත් කිරීමට අපොහොසත් වී තිබේ. මේ වෙල්යාය ගොඩකර හෝටලයක් ඉදිකිරීම මේ අයගේ අරමුණ වී තිබේ . මේ මන්ත්‍රීවරයා මේ වෙල්යාය ගොඩකිරීම සඳහා උපක්‍රමයක් ලෙස තම හිතවත් මන්ත්‍රීවරයාගේ

පුතුනට හා මැරයන්ට භාර දී තමන් කිසිවක් නොදන්නා සේ සිට ඇත .

ප්‍රදේශවාසීන් පවසන ලෙස මේ මැර පිරිස මාධ්‍යවේදී ප්‍රසාද් පුර්ණමාල් ජයමාන්න මහතා බෙල්ලෙන් ඇදගෙන ගොස් මේ පහරදීම සිදු කර තිබේ.

මේ සම්බන්ධයෙන් මාධ්‍යවේදී ප්‍රසාද් පුර්ණමාල් මහතා වෙන්නප්පුව පොලිසියට පැමිණිලි කර ඇති අතර ඒ මහතා රෝහල් ගත වී තිබේ.

මේ පහරදීම සිදු කර ඇත්තේ මාධ්‍යවේදී ප්‍රසාද් පුර්ණමල් මහතා මේ වෙල්යාය ගොඩ කිරීම සඳහා ලබා ගත් අනුමැතිය ඉල්ලා සිටි අවස්ථාවේදීයි . එහිදී ඔවුන් ප්‍රකාශ කර ඇත්තේ අනුමැතිය ලබා ගැනීම සඳහා ඒ වන විට ගොස් ඇති බවයි. මේ වෙල්යාය හා ගින්ඔය රක්ෂිතයේ පිහිටා ඇති අතර මෙය වෙන්නප්පුව ප්‍රධාන වැවෙන් පෝෂණය වන ප්‍රදේශයකි . පසුගිය කාලය පුරා ඉවක් බවක් නොමැතිව සිදුකළ මෙවැනි ගොඩ කිරීම් හේතුවෙන් වෙන්නප්පුව නගරය අවස්ථා කීපයකදී ජලයෙන් යටවූ අතර ඒ සඳහා විකල්ප සෙවීමට පසුගිය රජයට රුපියල් කෝටි ගණනක මුදලක් වැය විණි . එහෙත් ඇතැම් ගම්මාන හා ප්‍රදේශ සුළු වර්ෂාවකදී පවා ජලයෙන් යටවන අතර මේ හේතුවෙන් ගම්මාන කීපයක ජනතාවට සිය නිවාස අතහැර යාමට පවා සිදුව තිබේ . එවැනි තත්ත්වයක් ප්‍රදේශයේ තිබීම නිසා මාධ්‍යවේදී ප්‍රසාද් පුර්ණමාල් මහතා මෙය වාර්තා කිරීමට ගොස් ඇති අතර එහිදී ඔහුට පහර දී මරණ තර්ජන පවා එල්ල කර තිබේ .

වෙන්නප්පුව පොලිසිය විසින් 17දා දහවල් මේ අනවසර ගොඩකිරීම නවතා දැමුවත් 18 දා පස්වරුව වන තෙක් එය නවතා නොතිබිණි .

ප්‍රසාද් මහතාට පහර දුන් පිරිස අත්අඩංගුවට ගැනීම සඳහා වෙන්නප්පුව පොලිසිය ඊයේ(19) දහවල් වන තෙක්ම පියවර ගෙන නොතිබිණි .

 

නව අදහස දක්වන්න