කඩවුණු පොරොන්දුව දිගහැරී වසර 73යි | දිනමිණ


 

කඩවුණු පොරොන්දුව දිගහැරී වසර 73යි

සිංහල සිනමාවේ ප්‍රථම කතානාද චිත්‍රපටය වන 'කඩවුණු පොරොන්දුව' චිත්‍රපටය තිරගත කර අද (21) දාට වසර 73ක් සපිරෙයි. 1947 ජනවාරි 21දා කොළඹ කිංස්ලි සිනමා ශාලාවේ දී එවකට අගමැතිව සිටි ඩී.එස්. සේනානායක මහතාගේ ප්‍රධානත්වයෙන් මේ චිත්‍රපටයේ මංගල දර්ශනය පවත්වා ඇත. 1947 'කඩවුණු පොරොන්දුවේ' සිට 2020 'සුනාමි' චිත්‍රපටය දක්වා මෙරට නිර්මාණය කළ සිංහල චිත්‍රපට සංඛ්‍යාව 1320කට ආසන්නය.

කඩවුණු පොරොන්දුව මෙරට තිරගත වූ ප්‍රථම කතානාද සිංහල චිත්‍රපටය වූවද 1929 දී 'රො‍මානිස්ගේ කතාව' නමින් නිහඬ චිත්‍රපටයක් කොළඹ එල්පින්ස්ටන් සිනමා ශාලාවේ දී තිරගත කර ඇත.

ප්‍රථම කතානාද චිත්‍රපටය තිරගත කර වසර 73ක් සපිරීම හා 1972 දී රාජ්‍ය චිත්‍රපට සංස්ථාව (අද ජාතික චිත්‍රපට සංස්ථාව) ආරම්භ කර වසර (48)ක් සපිරීම නිමිති කරගෙන විශේෂ සැමරුම් උළෙලක් අද සවස 4ට චිත්‍රපට සංස්ථා 'තරංගනී' සිනමා ශාලාවේ දී පැවැත්වේ.

බුද්ධශාසන හා සංස්කෘතික අමාත්‍යාංශයේ ලේකම් බන්දුල හරිස්චන්ද්‍ර, ජාතික චිත්‍රපට සංස්ථාවේ සභාපති උපාලි ධර්මදාස මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් සිනමා ශිල්පීන්ගේ සහභාගීත්වයෙන් මෙම සැමරුම් උළෙල පැවැත්වීමට චිත්‍රපට සංස්ථාව කටයුතු යොදා ඇත.

මෙම සැමරුමට සමඟාමීව පසුගිය 19දා 'හංසවිලක්' 20 දා 'ඩිංගිරිමැණිකා' චිත්‍රපට ප්‍රදර්ශනය කළ අතර අද සවස 5ට 'සැඩසුළං' චිත්‍රපටය තිරගත කිරීමට නියමිතය.

රත්නසිරි පතිරණ

නව අදහස දක්වන්න