ජනතා අපේක්ෂාව ආර්ථික නිදහසයි | දිනමිණ


 

ජනතා අපේක්ෂාව ආර්ථික නිදහසයි

ආචාර්ය නාලක ගොඩහේවා

‘ඉතිහාසය පිළිබඳ පවතින අභිමානයෙන් පමණක් සෞභාග්‍ය ළඟාකර ගත නොහැකියි. ලෝකය හමුවේ නිවට නොවන පිටකොන්දක් ඇති ජාතියක් ලෙස නැඟී සිටිය හැක්කේ ආර්ථික අභියෝග ජයගැනීමෙන් පමණයි.’ යනුවෙන් ආචාර්ය නාලක ගොඩහේවා මහතා පැවසීය. ‍ගම්පහ දෙ‍වලපොළ සවුන්ඩ් ඔෆ් ඇන්තූරියම් ආයතනය සහ මහීම ප්ලාන්ට් නර්සරි ආයතනය, සියනෑ කතිකාව සංවිධානය සමඟ ඒකාබද්ධව සංවිධාන කරන ලද අපනයන ඇන්තූරියම් වගාවෙහි නිරත ව්‍යවසායකයන් දිරිමත් කිරීමේ අරමුණින් පැවැත්වූ වැඩසටහනක දී ඒ මහතා එලෙස පැවසීය.

මෙහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා, ‘මේ දිනවල රටේ ඇතිවී තිබෙන නව වෙනස පිළිබඳ බහුතර ජනතාව තුළ පවතින්නේ මහත් උද්යෝගයක්. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් දිනෙන් දින සිදුකරන මේ නව ප්‍රවේශයන් පිළිබඳ ජනතාවගේ ප්‍රතිචාර ඉතාමත් ධනාත්මකයි. ඉක්මනින් සහ කඩිනමින් සෑම අංශයකම වෙනස්කම් කිරීමට හැකියාවක් ලැබී තිබෙන්නේ පසුගිය වසර 4ක කාලයක් පුරා වියත්මඟ සංවිධානයේ මූලිකත්වයෙන් අධ්‍යයන හා පර්යේෂණාත්මක දැනුම පදනම් කොටගෙන සකස් කරන ලද ජනාධිපතිවරයාගේ ‘සෞභාග්‍යයේ දැක්ම‘ ප්‍රතිපත්ති ප්‍රකාශය පදනම්ව මේ සියලු වෙනස්කම් සිදුවන නිසා යැයි මා හෙළි කරන්නේ එම ප්‍රතිපත්ති ප්‍රකාශය සැකසීම සඳහා දායකවීමට හැකිවීම පිළිබඳව මාතුළ පවතින නිහතමානී ආඩම්බරය ද සමඟයි.

සොභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශය පදනම් වී තිබෙන්නේ කරුණු හතරක් මතයි. ඒවා නම්, ඵලදායී පුරවැසියෙක්, සතුටින් ජීවත්වන පවුලක්,

විනය ගරුක සමාජයක්, සෞභාග්‍යමත් දේශයක් යන්නයි.

ඵලදායී පුරවැසියා යනුවෙන් හඳුන්වන්නේ තමන්ට, තමන්ගේ පවුලට සමාජයට මෙන්ම රටට යම් සේවයක් කළ හැකි පුද්ගලයකු ගොඩනැඟීම යන අදහසයි. සතුටින් ජීවත්වන පවුලක් වන්නේ පවුලේ ආර්ථිකය, දරුවන්ගේ අධ්‍යාපනය, සෞඛ්‍ය, ආරක්ෂාව ආදී සෑම අංශයකම පවතින තෘප්තිමත් බවයි.

විනය ගරුක සමාජයක් ගොඩනැඟීම ලෙස මෙහිදී හඳුන්වන්නේ සෑම කටයුත්තක් සඳහාම පිළිවෙළක් ක්‍රමවත් බවක් ඇති කිරීමයි. අපිට මතකයි, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා 2009 ‍‍2010 වකවානුවේ මේ රටේ ආරක්ෂක ලේකම් ලෙස සිටිය දී නාගරික සංවර්ධන අධිකාරියේ කටයුතු පැවතුනේත් එතුමා යටතේයි. ඒ කාලයේ කොළඹ නගරය ඉතාමත් කඩිනමින් සොඳුරුතම ස්ථානයක් බවට පරිවර්තනය වුණා. එහි ප්‍රෞඩ බව ඉස්මතු වුණා සේම විධිමත් බව ක්‍රමවත් බව ප්‍රයෝජනවත් බව ඉහළට ඔසවා තැබුණා. කුණු පොදක් නැති නගරයක් බවට කොළඹ පත්කෙරුණා. එම තත්ත්වය ඇති කෙරුණේ ක්‍රමවත් බවක් ඇති කිරීමෙනුයි. කැළිකසළ එකතු කිරීම බැහැර කිරීම නිසි පරිදි සිදුවුණා. විනයගරුක සමාජයක් ඇති වන්නේ ඒ ආකාරයටයි. මේ තත්ත්වය ගොඩනැඟීමෙන් අන්‍යෝන්‍ය ගෞරවය මෙන්ම විශ්වාසය තහවුරු වූ සමාජ පරිසරයක් නිරිමාණය වෙනවා. පසුගිය වකවානුවේ අපි විනයගරුක සමාජයක් යනුවෙන් පවසද්දී එදා ආණ්ඩු පක්ෂය පැවසුවේ‍ මිලිටරිකරණය කිරීමක් ලෙසයි. මේ කාරණා තුන ඉටුවීමෙන් සෞභාග්‍යමත් දේශයක් ගොඩනැඟියය හැකියි.

තවත් ආකාරයකට පවසනවා නම් රට දියුණු කිරීමයි. නිදහස ලබා වසර 72ක් ගෙවී ගියත් අප පසුවන්නේ ඉතාමත් දුක්ඛිත තැනකයි. අපට වඩා දිළිදුව සිටි රටවල් වන මැලේසියාව, සිංගප්පූරුව, තායිලන්තය, වියට්නාමය අප පසු කර ගව්ගාණක් ඉදිරියට ගිහින්.

අප මෙතෙක් පැමිණි ගමන් මඟේ වැරැදි හේතුවෙන් අපිට දියුණු රටක්වීමට නොහැකිවී තිබෙනවා. මේ තත්ත්වය වෙනස් කිරීම සඳහා පළමු පියවර ලෙස හඳුනාගෙන තිබෙන්නේ දිළිඳු බව තුරන් කිරීමයි. ඒ අරමුණින් යුතුවයි දිළිඳු පවුල් අතරින් ලක්ෂයක සාමාජිකයන්ට රැකියා දීමට අපේක්ෂා කරන්නේ. පවුලක එක් අයකුට රැකියාවක් දීමෙන් පවුලේ අනෙක් සාමාජිකයන් පිළිබඳ රැකවරණය සැලසීමට ‍ඔහුට හෝ ඇයට හැකියාව ලැබෙනවා.

දෙවැනි පියවර වන්නේ සැමට සම අවස්ථා ලබාදීමයි. අධ්‍යපනය, සෞඛ්‍ය මෙන්ම පොදු සේවාවන් ලබා ගැනීමේ දී සමාජ අසමානතා ඉතාමත් නරක අන්දමින් ක්‍රියාත්මක වෙනවා. මේ තත්ත්වය වෙනස් කිරීම වඩාත් වැදගත් කරුණක්.

තුන්වැනි පියවර වන්නේ රාජ්‍ය සේවය කාර්යක්ෂම කිරීමයි. දැන් බොහෝවිට සිදුවන්නේ පාර්ලිමේන්තුවේ 225ට චෝදනා කිරීමයි. නමුත් රාජ්‍ය යාන්ත්‍රණයේ පවතින අකාරයක්ෂම බව හේතුවෙන් ඇතිවී තිබෙන තත්ත්වය වඩාත් කනගාටුදායකයි.

මේ තත්ත්වයන් විදිමත් කිරීමෙන් පමණයි රටේ ආර්ථිකය ශක්තිමත් කළ හැක්කේ. විදෙස් විනිමය වර්ධනය කිරීම මේ ක්‍රියාවලියේ අවසන් ඉලක්කයයි. ඒ සඳහා කළ යුත්තේ දේශීය ව්‍යාපාර නඟා සිටුවීමයි.

යාමිකා ගුණවර්ධන මහත්මිය සමඟ කටයුතු කරන වගාකරුවන් 10,000ක් පමණ දෙනා මේ රටේ විදෙස් විනිමය ඉපයීම සඳහා උරදෙන පිරිසක්. එවැනි ව්‍යාවසායකයන් රටටම ආශිර්වාදයක්. තමන්ගේ තම පවුලේ මෙන්ම ‍රටේ ආර්ථිකය වෙනුවෙන් උරදෙන පිරිසක්. මෙවැනි ව්‍යාපාර දියුණුවට අවශ්‍ය ණය පහසුකම් ලබා දීම, අවශ්‍ය තාක්ෂණික පහසුකම් මෙන්ම අඩු පොලී ණය ලබාදීම වැනි කටයුතු සඳහා යාන්ත්‍රණය සැකසිය යුතු වෙනවා. සුළු මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් දියුණු කිරීම මෙන්ම ව්‍යවසායක ප්‍රජාව ඉහළ නැංවීම සඳහාත් වැඩපිළිවෙළක් සකස් කිරීමයි මේ ක්‍රියාවලියේ අරමුණ.

මෙවැනි ක්‍රමයක් සකස් කිරීම සඳහා සුදුසුකම් ඇති පිරිසක් තීරණ ගැනීම සඳහා පාර්ලිමේන්තුව වෙත පත්කර ගැනීමයි අපගේ මී ළඟ අභියෝගය. සෞභාග්‍යයේ දැක්ම සැබෑවක්වී දියුණු රටක් නිර්මාණය කරගත හැකි වන්නේ ඉදිරි වසර පහ දහය තුළ ඒ සඳහා හිමිවන වපසරිය තුළයි. ඒ නිසා පක්ෂ පාට භේදයකින් තොරව මේ දැක්ම වෙනුවෙන් පෙළ ගැ‍සිය යුතුයි.’ යනුවෙන් පැවසීය.

මේ අවස්ථාවේදී ජාතිමාමකත්වය පිළිබඳ අදහස් දැක්වූ මහාචාර්ය පුංචිනිලමේ මීගස්වත්ත මහතා පවසා සිටියේ වැදූ මවට ගරු කරන රටේ ඉතිහාසය පිළිබඳ ආඩම්බර විය හැකි රටට ණය ගැති නොවන පුරවැසියකු ලෙස කටයුතු කළ යුතු බවයි.

සභාව අමතමින් යාමිකා ගුණවර්ධන මහත්මිය පවසා සිටියේ ‘උනන්දුව උත්සාහය මෙන්ම කැපවීම තිබේනම් ඇති හැකි කෙනකුවීමට බාධාවක් නෑ. හදවතේ හැඩය ඇති ඇන්තූරියම් ශාකය අප අවට පරිස‍රයේ ඔක්සිජන් ප්‍රතිශතය වැඩි කරන ශාකයක්. ඒ නිසාම මේ ශාකය සමඟ කාලය ගෙවනවිට ප්‍ර‍බෝදමත්ව කටයුතු කිරීමේ හැකියාව ලැබෙනවා. සතුට විනෝදය සමඟ මුදල් උපයන ක්‍රමක් ලෙස ඇන්තූරියම් වගාව හඳුන්වන්නේ ඒ නිසයි. පවුලේ ආර්ථිකයට ශක්තියක් සේම රටට ලැබෙන විදෙස් විනිමය ඉහළ දැමීමටත් හැකියාවක් ලැබී ති‍බීම සැබවින්ම ආඩම්බරයට කරුණක්’

මේ අවස්ථාව සඳහා වියත්මඟ සංවිධානයේ සාමාජිකයන්, සියනෑ කිතිකාව සංවිධානයේ සාමාජිකයන් මෙන්ම ව්‍යවසායකයන් විශාල පිරිසක් සහභාගිවී සිටියහ.

නව අදහස දක්වන්න