දරුවන් අයිති රටට නිසා... | දිනමිණ


 

දරුවන් අයිති රටට නිසා...

කුඩා කල සිටම මව්පියන් තමන්ගේ දරුවන්ට දැනෙන ලෙස ආදරය කළ යුතු ය. එවිට දරුවන් වෙනත් පුද්ගලයන්ට සමීප වන්නේ නැත. වි‍ශේෂයෙන් මව්පියන්, ළමයා ඇසුරු කරන්නේ කවුරුන්ද, ළමයා යන්නේ කුමන ස්ථානවලද, යනාදිය පිළිබඳවත් , ළමයාගේ හැසිරීම් රටා හා එදිනෙදා ජීවිතයෙහි කටයුතු කරන ආකාරය පිළිබඳ ඔවුන්ට බාධා නොවන ‍සේ මනා අවධානයෙන් සිටිය යුතු ය.

රටේ ජීවත්වන දරුවන්ගේ අනාගතය සුරක්ෂිත කිරීම රටක පාලකයින්ගේ ප්‍රධාන වගකීමකි. යම් පුද්ගලයකුගේ හෝ පුද්ගල කණ්ඩායමකගේ මැදිහත් වීමෙන් දරුවකුට යම් පීඩාකාරී තත්ත්වයක් ඇති වුවහොත් එතුළින් රටේ අනාගතය ද අවිනිශ්චිත විය හැකි ය. ඒ හේතුවෙන් ලෝකයේ සෑම රටකම ළමා ආරක්ෂක ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරනු ලබන්නේ එහෙයිනි.

1998 අංක 50 දරන ජාතික ළමා ආරක්ෂක අධිකාරී පනතේ 14 ( අ ) වගන්තිය ප්‍රකාරව " ළමා ආරක්ෂණය පිළිබඳ ජාතික ප්‍රතිපත්තියක් ( National Child Protection Policy) සම්පාදනය කිරීම සඳහා ජාතික ළමා ආරක්ෂක අධිකාරිය වෙත බලය පවරා තිබේ. ඒ අනුව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය විසින් රාජ්‍ය, රාජ්‍ය නොවන ( දේශීය හා විදේශීය ), සිවිල් , ප්‍රජා ස්වේච්ඡා පාර්ශ්වකරුවන් මෙන්ම ළමයින්ගේ ද අදහස් ද ඇතුළත් වන අයුරින් මහජන අදහස් විමසීමෙන් අනතුරුව මෙම ප්‍රතිපත්තිය සම්පාදනය කර ඇත .

 

ළමා ආරක්ෂණය පිළිබඳ ප්‍රතිපත්තිය

ළමා ආරක්ෂණය පිළිබඳව ප්‍රතිපත්ති සැකසීම ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ ප්‍රධාන අරමුණ වේ. 2019 ඔක්තෝබර් මාසයේදී ළමා ආරක්ෂණය පිළිබඳව ජාතික ප්‍රතිපත්තිය සඳහා කැබිනට් අනුමැතිය ලැබුණි. එය ළමා ආරක්ෂක අධිකාරිය ලැබූ විශිෂ්ට ජයග්‍රහණක් විය. ළමා ආරක්ෂණ ප්‍රතිපත්තිය සකස් කිරීමේදී පළමුවෙන්ම ඒ සඳහා ක්‍රියාකාරී සැළැස්ම සකස් කළ යුතු වේ. ඒ අනුව මේ වසරේ ජනවාරි 07 වනදා 2020- 2025 දක්වා වූ ක්‍රියාකාරී සැළැස්ම සකස් කෙරිණි.

ළමා ආරක්ෂණය පිළිබඳ ප්‍රතිපත්තිය සැකසීම සඳහා පාර්ශවකරුවන් ලෙස අමාත්‍යංශ 14 ක් සහභාගී විණ. මේ අමාත්‍යංශ 14 ටම වෙන වෙනම ක්‍රියාකාරී සැළැස්ම සකස් කිරීමට අරමුණු කර ගෙන සිටී. මෙම අමාත්‍යංශ 14 ට දින 14 ක් වෙන් කර අමාත්‍යංශවල අදාළ නිලධාරීන් සමඟ සාකච්ජා කර ප්‍රතිපත්තිය සකස් කිරීමට ද අරමුණු කර ගෙන සිටී. ජාතික ළමා ආරක්ෂනය පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය මේ වසරේ අප්‍රේල් මාසය වන විට අවසන් කිරීමට නියමිත ය .

සභාපතිවරුන් , අධ්‍යක්ෂ ජනරාල්වරුන් , ලේකම්වරුන් ඇතුළු අමාත්‍යංශවල නිලධාරීන් සෑම කෙනෙකුම වෙනස් වුවත් ජාතික ප්‍රතිපත්තිය සහ ක්‍රියාකාරී සැළැස්ම වෙනස් නොවේ. ඒ හේතුවෙන් දරුවන්ගේ ළමා ආරක්ෂක ප්‍රතිපත්තිය ඉදිරි අවුරුදු පහ තුළදීම නොනැසී පවතී.

 

සිදු කරන මෙහෙය

ජාතික ළමා ආරක්ෂණ ප්‍රතිපත්තිය තුළින් ශ්‍රී ලංකාවේ ළමයින්ගේ සුරක්ෂිතතාව, ආරක්ෂාව හා උපරිම යහපත තහවුරු කිරීම වෙනුවෙන් ප්‍රතිචාර දැක්වීමට රජය හා අනෙකුත් සියලුම පාර්ශවකරුවන් විසින් ක්‍රියාකාරකම් සැලසුම් සකස් කිරීම, ක්‍රියාත්මක කිරීම, අධීක්ෂණය, නියාමනය, සම්බන්ධීකරණය කිරීම ‍සිදු කරනු ලබයි.

උදාහරණ වශයෙන් මේ මගින් ළමා අපයෝජනය පිළිබඳව පාර්ශවකරුවන් අතර අවබෝධ වැඩි කිරීම, ළමයින්ට සිදු වන හිරි හැර හැකිතාක් වළක්වා ගැනීමට පියවර ගැනීම , ළමා හිංසන සිද්ධීන් පර්යේෂණවලට භාජනය කර එම දත්ත මත පදනම් වූ වැඩසටහන් සකස් කිරීම සිදු කරනු ලැබේ .

ළමා ආරක්ෂණ අධිකාරියේ සභාපතිතුමන් වන මා , උප සභාපති, දෙපාර්තමේන්තු 06 ක ප්‍රජාව , අධ්‍යක්ෂකරුවන් 07 , 35 දෙනෙකුගෙන් යුක්ත පොලිසිය, මෙන් ම දිස්ත්‍රික් ළමා ආරක්ෂක නිලධාරීන් , ළමා මානසික සහ සමාජීය නිලධාරීන් , ප්‍රාදේශීය ළමා ආරක්ෂණ නිලධාරීන් යන සෑම ක්ෂේත්‍රයකම නිලධාරීන් ළමා ආරක්ෂණය පිළිබඳ ප්‍රතිපත්තිය ක්‍රියාවට නැංවීමට තම සහය ලබා දෙති.

 

සිද්ධීන්දැනුම් දීම

ළමා හිංසන සිද්ධීන් අතරින් ළමා ආරක්ෂණ අධිකාරියට වාර්තා වෙන්නේ හතෙන් එකක ප්‍රමාණයකි. ශ්‍රි ලංකාවේ සිදු වන සෑම ළමා හිංසනයක්ම ළමා ආරක්ෂක අධිකාරියට වාර්තා නොවීම විශාල අර්බුදයක් බවට පත්ව ඇත. ඊට හේතු වී තිබෙන්නේ දරුවන් සමීපව ඇසුරු කරන පුද්ගලයන් විසින් දරුවන්ට වැඩි වශයෙන් හිංසනයන් සිදු කිරීමත්, එම පුද්ගලයින් විසින් දරුවන්ට සිදු වූ සිද්ධිය පිළිබඳව කිසිවකුටත් නොපවසා සිටින ලෙස බිය වැද්දීමත් ය.

තව ද ලංකාවේ සිදු වන බොහෝ ළමා හිංසන සිදුවීම් කාමරයේ බිත්ති හතරට පමණක් සීමා වේ.

හිංසනවලින් ආරක්ෂා වීමට නම් දරුවන් සෑම විටම තමන්ගේ මව්පියන් හා තමන්ට වඩාත් විශ්වාසවන්ත මිතුරන් ඇසුරු කළ යුතු ය. හුදකලා ස්ථානවලින් ඈත් කර තැබීමට වැඩිහිටියන් කල්පනා කාරී විය යුතු වේ. දරුවන් යම් ස්ථානයකට යන්නේ නම් ඒ පිළිබඳව තමන්ගේ මව්පියන්ට, හෝ භාරකාරයාට ප්‍රකාශ කළ යුතු ය.

දරුවකුට යම් පුද්ගලයකු පිළිබඳව සැකයක් ඇති වුවහොත් ඒ පිළිබඳව තමන්ට විශ්වාසවන්ත වැඩිහිටියකුට ප්‍රකාශ කළ යුතු බව දරුවන්ට ඉගැන්විය යුතුය.

ශ්‍රී ලංකාවේ සෑම පුද්ගලයකුටම 1929 දුරකථන අංකය මගින් දරුවන්ට සිදු වන ක්‍රියා පිළිබඳව දැනුම් දීමට පුළුවන. මෙම දුරකථන අංකය පැය 24 තුළදීම විවෘතව පවතී. සිද්ධීන් දැනුම් දීමේදී තමන්ගේ පෞද්ගලිකභාවය රැක ගැනීමට මතක තබා ගත යුතු වේ. යම් සිද්ධියක් දැනුම් දීමෙන් පසුව තමන්ට යම් හානියක් සිදු වේ යයි යම් පුද්ගලයකුට බියක් තිබේ නම් අපට ආරක්ෂාකාරීව නිර්නාමිකව හෝ සිද්ධිය පිළිබඳව දැනුම් දීමට පුළුවන. අපට හිංසන සිද්ධීන් පිළිබඳව දැනුම් දෙන පුද්ගලයාට කිසිදු හානියක් නොවීමට වග බලා ගනු ලැබේ. 1929 වෙත ලැබෙන පැමිණිලි සම්බන්ධයෙන් ඉතා කඩිනමින් විමර්ශන කටයුතු සිදු කිරීම සඳහා වූ සුවිශේෂී යාන්ත්‍රණයක් ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ ඉල්ලීම පරිදි පොලිස් දෙපාර්තමේන්තුව මඟින් ක්‍රියාත්මක කර තිබේ.

1929 දුරකථන අංකය හරහා උපදේශනය, අවශ්‍ය ළමයින් සඳහා මනෝ සමාජ සහයන් ලබා දීමට අවශ්‍ය සම්බන්ධීකරණයන් ද සපයනු ලබයි.එපමණක් නොව අවශ්‍ය පුද්ගලයින්ට නීතිමය උපදෙස් ද ලබා ගැනීමට පුළුවන.

 

මව්පියන්ගේ කාර්යභාර්ය

කුඩා කල සිටම මව්පියන් තමන්ගේ දරුවන්ට දැනෙන ලෙස ආදරය කළ යුතු ය. එවිට දරුවන් වෙනත් පුද්ගලයන්ට සමීප වන්නේ නැත. වි‍ශේෂයෙන් මව්පියන් , ළමයා ඇසුරු කරන්නේ කවුරුන්ද, ළමයා යන්නේ කුමන ස්ථානවලද, යනාදිය පිළිබඳවත් , ළමයාගේ හැසිරීම් රටා හා එදිනෙදා ජීවිතයෙහි කටයුතු කරන ආකාරය පිළිබඳ ඔවුන්ට බාධා නොවන ‍සේ මනා අවධානයෙන් සිටිය යුතු ය.

මව්පියන් සෑම විටකදීම දරුවන් සමඟ සිටිමින් ඔවුන්ට ආරක්ෂාව සැපයිය යුතු වේ. මව්පියන්ට දරුවන් පිළිබඳව අවදානයෙන් සිටීමට නොහැකි නම් විශ්වාසවන්ත, ආරක්ෂාකාරී පුද්ගලයකුට දරුවන්ව භාර දිය යුතු ය. කුඩා කල සිටම දරුවන්ට අපයෝජන පිළිබඳ හා ඉන් ගැලවෙන ක්‍රම පිළිබඳවත් , ආරක්ෂිත ක්‍රමෝපායයන් පිළිබඳවත් දැනුවත් කළ යුතු වේ.

ලංකාවේ ළමා හිංසන සිද්ධීන් පිළිබඳව ජනමාධ්‍යවල විවිධ අන්දමින් පුවත්පත් වාර්තා පළ වේ. ජාතික ළමාරක්ෂක අධිකාරිය මගින් එම සිද්ධීන් සිදු වන්නෙ ඇයි ? එවැනි සිදු වීම් සිදු වීමට හේතු, යළි එවැන්නක් සිදු නොවීමට කළ යුතු දෑ යන්න පිළිබඳව විමර්ශනය කර අධ්‍යනය කරනු ලබයි. දරුවන්ට සිදු වන හිංසන පිළිබඳව මහජනතාව දැනුවත් කිරීම උදෙසා පළ වුණු පුවත්පත් ලිපි සඳහා අප ස්තූතිය පළ කර අදාළ මාධ්‍ය ආයතනවලට ලිපි යැවීම සිදු කරනු ලබයි. පළ වූ පුවත්පත් වාර්තාව හේතුවෙන් හිංසනයට ලක් වූ දරුවාට හෝ එම දරුවාගේ පවුලේ සමාජිකයින්ට යම් ගැටලුවක් ඇති වනවා නම් එම පුවත්පත් සමඟ අපි ඒ පිළිබඳව සාකච්ජා කර යළිත් එවැනි ලිපි , ඡායාරූප පළ නොකරන ලෙස දැනුම් දෙනු ලැබේ.

සේවා සැපයීමේ දී හෝ මහජනයා වෙත තොරතුරු ලබා දීමේදී විශේෂිත ළමයකුගේ හෝ ළමා කණ්ඩායමකගේ පෞද්ගලිකභාවය හා රහස්‍යභාවය සියලුම අවස්ථාවල දී තහවුරු කළ යුතු ය. මූලික නිරීක්ෂණයන්ගෙන් එළිදරව් වන සාක්ෂි මත පදනම්ව එය වාර්තා කිරීමෙන් ළමයාට වඩා ප්‍රතිඑලදායී අවස්ථාවක් ඇති වන්නේ නම් ළමා අපයෝජනය පිළිබඳව වාර්තා කිරීමට මාධ්‍යට හැකියාව පවතී.

සෑම විද්යුත් හා මූද්‍රිත ජනමාධ්‍යන් හා සමාජ ජාලා ඇතුලු නව මාධ්‍යන් විසින් ළමයා සම්බන්ධයෙන් සහ ළමයා සම්බන්ධ වන්නා වූ වෙළෙඳ දැන්වීම්, වැඩසටහන් හා සියලුම ආකාරයේ අනෙකුත් මාධ්‍ය නිර්මාණයන් තුළින් කිසිදු අයුරකින් ළමයා කවර ආකාරයේ හෝ අපයෝජනයන්ට, ප්‍රචණ්ඩත්වයකට, සූරාකෑමකට,හානියකට , අගතියකට හෝ නොසලකා හැරීමකට , ළමා පෞරුෂය හානියට ලක් කිරීමක් සිදු නොකළ යුතු ය.

ළමයාගේ යහපත ,සංවර්ධනය සහ ආරක්ෂාව තහවුරු කරන හා ශ්‍රී ලාංකීය සංස්කෘතිය හා අනන්‍යතාවයන්ට අනුකූල වන ආකාරයට තාක්ෂණය හා මාධ්‍ය භාවිතය ප්‍රමිතිකරණය කළ යුතු ය. ඒ තුළින් ළමයා සහ මාධ්‍ය සම්බන්ධයෙන් නව සදාචාරයක් ගොඩනැගිය හැකි ය.

 

ගත යුතු පියවර

වත්මන් ජනාධිපතිතුමන්ගේ " දිනන රටක් සෞභ්‍යාග්‍යවත් හෙටක් " සංකල්පය තුළින් කියා පාන්නේ රටේ සිටින සෑම පුද්ගලයකුම තමන් ගෙවන ජීවිතය පිළිබදව තෘප්තිමත් වීම පිළිබඳව ය. එලෙස ජීවිතය තෘප්තිමත් වීම සඳහා සෑම පුද්ගලයකුටම යහපත් කායික සෞඛ්‍යයක් , යහපත් ප්‍රජනන සෞඛ්‍යක්, මෙන් ම යහපත් මානසික සෞඛ්‍යක් තිබිය යුතු ය.

ඒ සඳහා රටේ ජනතාව, දරුවන්, රාජ්‍ය නිලධාරීන්, පෞද්ගලික අංශයේ නිලධාරීන් සෑම දෙනෙක්ම තම උපරිම ශ්‍රමය කැප කළ යුතු ය.

ළමා හිංසනය සහ වළක්වා ගැනීම පිළිබඳව රටේ සෑම ක්ෂේත්‍රයකම ප්‍රජාව දැනුවත් කළ යුතු ය. නිරන්තරයෙන් තමන් ජීවත්වන ප්‍රදේශයේ අවට පරිසරය පිළිබඳව අවධානයෙන් සිට යම් ළමා හිංසනයක් සිදු වුණු විට එය වහාම ජාතික ළමා ආරක්ෂණ අධිකාරියට දැනුම් දීම කළ යුතු ජනතාවගේ යුතුකමක් වශයෙන් පවතී.

අප ඉදිරියේදී ජාතික ළමා ආරක්ෂණ ‍ අධිකාරියේ ළමා ආරක්ෂණය පිලිබදව ජාතික ප්‍රතිපත්තිය නිසි පරිදි ක්‍රියාත්මක කිරීම, දිවා සුරැකුම් මධ්‍යස්ථානවලට මාර්ගෝපදේශනය සහ ජාතික ප්‍රතිපත්තිය සකස් කිරීම , සමාජ මාධ්‍යවලින් සිදු වන අපරාධ සදහා තිබෙන ඒකකය තවදුරටත් පුළුල් කිරීමට බලාපොරොත්තු වේ . ‍

ලංකාවේ ඇතැම් පොලිස් ස්ථානවලින් ළමා හිංසන පිළිබඳ වාර්තා අධිකාරියට ලැබෙන්නේ නැත. එම පොලිස් ස්ථානවල තිබෙන දැඩි කාර්යබහුලත්වය ඊට ප්‍රධානතම හේතුව වී ඇත. ඒ හේතුවෙන් ලංකාවේ සෑම පොලිස් ස්ථානයකින් ම ළමා හිංසන වාර්තා කරලීම සඳහා අවශ්‍ය දායකත්වය ලබා දීමට ද ඉදිරියේදී අධිකාරිය කටයුතු කිරීමට නියමිත ය.

 

සටහන

මදාරා මුදලිගේ

නව අදහස දක්වන්න