උන්මත්තකයකු උත්තමයකු ලෙස රඟන නවක වදය | දිනමිණ

උන්මත්තකයකු උත්තමයකු ලෙස රඟන නවක වදය

සරසවියේ උගන්නා මේ පරපීඩක මානසිකත්වයෙන් තොර සිසුන්ට සාධාරණයක් වනු පිණිස අපට මේ සම්බන්ධයෙන් තවත් යමක් එකතු කළ යුතුව තිබේ. ඒ අමානුෂික නවක වදය ගෙන යනු ලබන්නේ අතලොස්සක් වූ උන්මත්තකයන් පිරිසක් විසින් බව ය. එම නවක වදයට සම්බන්ධ නොවන විශාල පිරිසක් ද සරසවිවල ඉගෙනුම ලබන බව ය.

එහෙත් එසේ තිබිය දී සරසවි තුළ නවක වදය තිබීමෙන් පෙනී යන්නේ එය නැවැත්වීමට බහුතර සිසුන්ගේ එහෙමට වුවමනාවක් නම් නැති බව ය. එවැනි උණක් ඇති සිසුන් තවමත් ගණනින් අල්ප බව ය.

පරපීඩක මානසිකත්වය

බොල් තර්ක

අක්කලා - අයියලා

හිර ගෙදර ඉන්නේ ද මනුස්සයෝ ය’. ඒ වැලිකඩ හිරගෙදර ලොකු අකුරින් ලියැවී ඇති වාක්‍යයකි. සරසවියේ බිත්තිවල සමාන අකුරින් ලියවුණේ නැති වුව ද වෙනත් ආකාරවලින් නොපෙනෙන්නට ලියැවී තිබෙන්නේ ද ඒ තුළ ඉන්නේත් මනුස්සයෝය කියා ය. එය සමාජයේම තවත් පැතිකඩකි. සමාජය සතුව ඇති සියලු දුර්ගුණ ඒ තුළ ද ඇත. එහෙම බැලුවහම නවක වදය එහි තවත් ආකාරයක ප්‍රකාශ මාන වීමක් පමණ ය.

කුඩා එකකු අල්ලාගෙන ඌට වද දී විනෝදයක් ලැබීම මා දැක ඇති බොහෝ වැඩිහිටියන්ගේ පුරුද්දකි. සුද්ද සිංහලෙන් කියනවා නම් වැඩිහිටියන් කරන්නේ පොඩි එකා “බයිට්” එකට ගැනීම ය.

එයින් පොඩි එකාට ඇතිවන මානසික පීඩනය ගැන වගේ වගක් මේ ඊනියා වැඩිහිටියන්ට නැත. මෙසේ කරන බොහෝ දෙනකු පොඩි එකාගේ නෑදැයින් ය. ළඟම නෑදෑයින් ය. ඇතැම් විට සහෝදර සහෝදරියන් ය. ඇතැම් තැනක අම්මලා තාත්තාලා ය. සරසවියේ ජේෂ්ඨ උත්තමයන්ට සමාන මට්ටමක ඉන්නා අය ය. පොඩි උන් රැක ගැනීමේ වගකීම දැරිය යුතු අය ය.

මේ ඔලොක්කුවට ඔච්චමට අසුවන්නේ පොඩි දරුවන් පමණක් නොවේ. ඇතැම් විට එහි ගොදුර වනු ඇත්තේ ගැහැනිය ය. එසේ සිදුවන්නේ තමන් ගැහැනියකගේ බඩෙන් නොව වෙනත් තැනකින් පහළ වුනා යයි සිතන පිරිමින් අතිනි.

සමහර විට ගොදුරට හසු වන්නේ අබාධිතයන් ය. ශාරීරිකව හෝ මානසිකව යම් ආබාධයක් ඇති තැනත්තන් ය. එවන් තැනැත්තකුගේ ඇද කුදයක් සොයමින් සිනාසීමට තරම් මේ නොමිනිසුන් අන්ධ බාල ය. එසේ සිදු වන්නේ තමන්ට කවදාවත් එවැනි ඇබැද්දියක් වෙන්නේ නැතැයි සිතන නැඩ පුරුෂයන් අතින් ය. නැතිනම් යකඩ ගැහැනුන් අතින් ය.

තව තැනක උන්ගේ උසුළු විසුළුවලට හසු වන්නේ මහළු මිනිසුන් සහ ගැහැනුන් ය. ඒ සදාකාලිකව තිරිහන් වී ඉඳීමට නියමිත පරම්පරාවක් අතින් ය.

තවත් අවස්ථාවල ඉලක්කය සමලිංගික නැඹුරුතාවයක් ඇති මිනිසුන් හා ගැහැනුන් ය. ඒ විෂම ලිංගික බව ශ්‍රේෂ්ඨ යැයි සලකන විෂම ලිංගික මිනිසුන් හා ගැහැනුන් අතින් ය. ඇතැම් අවස්ථාවල ඒ පීඩනය එල්ල වනුයේ සංක්‍රාන්තික ලිංගික අනන්‍යතාවක් ඇති මිනිසුන්ට ය. ගැහැනුන්ට ය. ඒ මේ ලෝකයේ සිටිය යුත්තේ තමන් පමණක් යැයි සිතන නොවෙනස් ලිංගික අනන්‍යතාවයකට උරුම කියන අය අතින් ය.

 

 

 

 

ඇතැම් විට ගොදුර වන්නේ අන්‍ය ආගමිකයින් ය. ඒ තමන්ගේ ආගම තරම් ලොකු අටමගලයක් ලෝකේම නැතැයි හිතා ඉන්නා ආගමිකයන් අතින් ය. මෙයිනුත් වැඩිම හිංසනයට ලක් වන්නේ සුළුතරයක් මිනිසුන් ඉන්නා ආගම් අදහන්නන්ට ය. ඒ මේ රට බුදුන්ගේ දේශය යයි කියමින් නැති අයිතිවාසිකමක් කියන බෞද්ධයන් අතින් ය.

තව වතාවක දී අසුවන්නේ “සුළු“ ජාතිකයන් ය. ඒ නාමකරණය තුළ ම ඔවුන්ගේ තැන සලකුණු කර තිබීම ම අමතර හේතුවක් හැටියටගෙන ය. එයින් අදහස් වන්නේ බහුතර ජාතියට අයත් නොවන්නා වූ අන් ජාතිකයන් ය. ඔවුන් පරයන් ලෙස සැලකෙන්නේ තමන් භූමිපුත්‍රයන් යැයි සිතන බහුතර සිංහල ජාතියට අයත් මිනිසුන් අතින් ය.

තවත් විටෙක මේ තරවටුව පීඩනයට අසුවන්නේ කුල හීන යැයි සම්මත කර ගෙන ඇති මිනිසුන්ට ය. ඒ තමන්ගේ කුලය මහා ඉහළ යැයි පාරම්බාන කුලීනයන් අතින් ය.

සුරතල් සතුන් පවා මේ පරපීඩක ආත්මයන්ගෙන් ගැලවෙන්නේ නැත. රතිඤ්ඤා කරලක් බල්ලෙකුගේ වලිගයේ එල්ලා, එය පත්තු කර, සතා පත් වන කලබලය දෙස බලා සිනාසෙන මිනිසුන් කියන්නේ ඒ පුවත ය.

මේ පරපීඩක මානසිකත්වය නොහොත් පරපීඩනයෙන් වින්දනයක් ලැබීම, විවිධ ආකාරයේ පීඩනයන්ට තමන් ලක් වීම නිසා සිදු වන අතුරු ඵලයක් යැයි කෙනකුට තර්ක කළ හැකි ය. එතෙකුදු එම පීඩනය නිදහස් වන්නේ තමන් වැනි ම පීඩිතයකුගේ කර පිටින් ගොහින් ය. ඉවසන්නට අමාරු ඒ පීඩාව සිදු කරනු ලබන්නේ පීඩනයට විරුද්ධව දෑත් එසවිය නොහැකි අසරණයකුට වීම ය.

ප්‍රශ්නය ඇත්තේ එහෙම වටපිටාවක අප සරසවියෙන් පමණක් වෙනසක් අපේක්ෂා කිරීම තුළ ඇත්තේ කුමන සාධාරණයක් ද යන්න ය.

උන් ද උඩ දාගෙන තලන්නේ අප ද තලමින් ඉන්නා “පුංචි” එවුන් ය. එහෙව් කොට උන්ට පමණක් ඇඟිල්ල එල්ල කිරීමට අපට හැකියාවක් නැත.

එවැනි අසාධාරණ අපේක්ෂාවක පදනම විය හැක්කේ සෙසු මිනිසුන් මෙන් නොව සරසවිය තුළ ඉන්නේ හිතන්නට හැකි, විමසන්නට හැකි, ඥානයක් බුද්ධියක් ඇති, පිරිසක් ලෙස අප තුළ ඇති මතය ය. ඒ වැරදි මතය කර තබා ගෙන සිටීම සම්බන්ධයෙන් සරසවි සිසුන් වගකිව යුතු නැත. එවැනි බරපතළ චරිතයක් උන්ගෙන් අපේක්ෂා කිරීමෙන් අප කර ඇත්තේ වැරැද්දකි.

උන් බොහෝ දෙනකු කට පාඩම් කර, ටියුෂන් ගුරුවරුන්ගේ දක්ෂකම්වලට ද විභාග ප්‍රශ්න පත්තරවල දුර්වලකම්වලට ද ඇතැම් තැනක විභාග ශාලාවල සිදුවන අකටයුතුකම්වලට ද පින්සිදු වන්නට සරසවියට ගොඩ වැදුණු අය ය. ඒ නිසා වැස්සකට සරසවියකට ගොඩ වුණු අය හා උන් අතර එහෙමකට වෙනසක් නැත.

පොදු තත්වය එසේ වුව ද ලංකාවේ බුද්ධිමතුන් යැයි ගැණිය හැකි පිරිසක් ද එයට ඇතුළු වන බව අපට නොසලකා හැරිය නොහැකි ය. ප්‍රශ්නය ඇත්තේ බහුතරයක් වූ ඇතුළතින් හීනමානී වූ ද පිටතින් අධිමානී වූ ද මිනිසුන්ට ඉඩ දී උන් නිහඩ වීම ය. නැතිනම් බහුතර මතයට විරුද්ධව යෑමට පණ නැතිකම නිසා උන් ද බහුතරය සමග එකතු වීම ය. නැතිනම් තමන් විශේෂ යැයි සලකා උන් ද ඇඳ ගැනීම ය.

නවක වදයට පක්ෂ අය විසින් ගෙනෙන එක් තර්කයක් වන්නේ නවකයින්ගේ සබකෝලය නැති කොට උන් ද සමාජශීලි පිරිසක් කිරීමේ අරමුණින් මේ සියල්ල ක්‍රියාත්මක කෙරෙන බව ය. එහෙත් නවක වදය ක්‍රියාත්මක වන ආකාරය දෙස බැලූ විට පෙනෙන්නේ නවකයින්ගේ අභිමානය නැත්තට ම නැති කොට උන් වහළුන් බවට පත් කිරීමෙන් එය අවසන් වන බව ය. කියන්නේ එකක් වුනාට කරන්නේ තව එකක් බව ය.

නවක වදයට පක්ෂව ගෙනෙන තව තර්කයක් වන්නේ මේ හරහා ඇතිවන මිත්‍රත්වය මත නවකයින්ගේ වුවමනා එපාකම් බලා ගන්නට ජේෂ්ඨයන් ඉදිරිපත් වන බව ය. නවකයන් කට්ට කෑ යුත්තේ ඒ අනාගත උදව්ව බලාගෙන බව ය.

ඒ තර්කය බොල් ය. තමන්ට වඩා පහළ කණිෂ්ඨයන්ට උදව් කරන්නේ උන් දෙකට නැමී ගෙන කියන දේ කරන්නේ නම් පමණක් නම් ඒ උදව්ව සමෘද්ධිය දෙන්නේ දේශපාලකයාගේ රැස්වීම සහභාගි වූ අයට පමණක් යැයි කීමට දෙවැනි වන්නේ නැත.

රැස්වීමකට සහභාගී වීමට අසමත් වීම සමෘද්ධිය අහිමි වීමට හේතුවක් වන රටක නවක වදයට සහභාගී වීම ප්‍රතික්ෂේප කිරීම රැහෙන් එලවා දැමීමට පමණක් නොව ගුටි කන්නට ද සිදුවන පාප කර්මයක් බවට පත් වීම පුදුමයක් නොවන බව ඇත්ත ය. පුදුමය වන්නේ දේශපාලකයින්ගේ පතුරු යවන “අන්තරය” ම උන් අනුගමනය කිරීමේදී කිසිදු වෙනසක් නොපෙන්වීම ය. තමන් විවේචනය කරන දේශපාලනඥයන් සමග ම එක පෙළට ලජ්ජා නැතිව සිට ගැනීම ය.

මේ සන්සන්දනය අපට කියන්නේ බොහෝ තැනක බලය තියෙන එකා අවස්ථාව ලැබුණු විටක නැති එකාව පාගා දමන බව ය. ඒ හරහා තමන්ට අවශ්‍ය විදිහට නැටවෙන රූකඩයක් බවට උන්ව පත් කර ගන්නා බව ය. තමන් වෙනුවෙන් උන් කඩේ යවන බව ය.

වෙනසකට ඇත්තේ බලයේ ප්‍රභවයන් වෙනස් වීම පමණ ය. ඇතැම් තැනක බලය ලැබෙන්නේ බහුතරය නිසා ය. තවත් තැනක එය පාරම්පරික උරුමයක් ලෙස සලකාගෙන ය. තවත් තැනක එය දරන තානාන්තරයක් නිසා ය. පළඳින ඇඳුමක්, තරුවක් හෝ ඔටුන්නක් නිසා ය. බැජ් එකක් නිසා ය. ජේෂ්ඨත්වය නිසා ය. වයස නිසා ය. ප්‍රභවය කුමක් වුව ද සැවොම කරන්නේ එක ම දෙයකි. ලැබුණු හා ලබා ගත් බලය අමු අමුවේ භාවිතා කර තවකකු හෙළීම ය. පෙළීම ය. එය තරුවක් හිමි පොලිස් කාරයෙක් විසින් සිදු කළ ද බැජ් එකක් පැළැන්දු ශිෂ්‍ය නායකයකු විසින් කළ ද ජේෂ්ඨත්වය හිමි සරසවි ජේෂ්ඨ උත්තමයකු නැතිනම් ජේෂ්ඨ උන්මත්තකයකු විසින් කළ ද වෙනසක් නැත.

ඇතැම්හු මේවා කරන්නේ තමන්ට නැති පොරත්වයක් ලබා ගැනීමට ය. වීරයකු වීමට ය. තවත් සමහරු මෙසේ හැසිරෙන්නේ තමන්ගේ තේජස සෙසු අයට පෙන්වන්නට ය. බොරු ෂෝ එකට ය. තවත් අය තමන්ගේ අඩුපාඩුවක් වසා ගැනීමට ය. උන්මත්තකයකු උත්තමයකු බවට රූපාන්තරණය කර ගැනීමට ය. ඒ කුමන හේතුවක් නිසා කළ ද මේ එකක්වත් අහිංසක නැත.

 

 

 

 

මේ ලිපි පෙළේ එක් ලිපියකින් අපි සරසවිය කෙසේ විය යුතු දැයි සිහිනයක් දැක්කෙමු. අප එහි සටහන් කළේ මේ වචන ය.

“සරසවිය ප්‍රඥාවේ හරඹ පිටියක් විය යුතු ය. නව උත්පාදනයේ තෝතැන්නක් විය යුතු ය. ජාතියේ නැණ පහන් දල්වන ආලෝකය විය යුතු ය. රටට මග පෙන්වන ප්‍රදීපාගාරයක් විය යුතු ය. නැත. එවැන්නක තැන තැන විසිරුණු ලකුණු කීපයක් ඇරෙන්නට එය වඩාත් ආසන්න කාන්තාරයකට ය”.

කාන්තාරයක පිපෙන්නේ පතොක් මල් පමණ ය. ඒවා කටු සහිත ය. විෂ ය. ඒ නිසා අපට අසන්නට ලැබෙන්නේ පරපීඩක නවක වදය පිළිබඳ කතා ය. ඒවා සාධාරණීකරණය කරනු සඳහා නගන බොල් තර්ක ය.

සරසවියේ උගන්නා මේ පරපීඩක මානසිකත්වයෙන් තොර සිසුන්ට සාධාරණයක් වනු පිණිස අපට මේ සම්බන්ධයෙන් තවත් යමක් එකතු කළ යුතුව තිබේ. ඒ අමානුෂික නවක වදය ගෙන යනු ලබන්නේ අතලොස්සක් වූ උන්මත්තකයන් පිරිසක් විසින් බව ය. එම නවක වදයට සම්බන්ධ නොවන විශාල පිරිසක් ද සරසවිවල ඉගෙනුම ලබන බව ය.

එහෙත් එසේ තිබිය දී සරසවි තුළ නවක වදය තිබීමෙන් පෙනී යන්නේ එය නැවැත්වීමට බහුතර සිසුන්ගේ එහෙමට වුවමනාවක් නම් නැති බව ය. එවැනි උණක් ඇති සිසුන් තවමත් ගණනින් අල්ප බව ය. ඒ නිසා ම රටට ප්‍රදර්ශනය වන්නේ සරසවිය විලි සංගේ නැති උන් හිතු හිතු දේ කරන, උන්ගේ දඩ බිමක් ලෙස ය. මේ අපකීර්තිමත් නාමයෙන් සරසවිය ගලවා ගැනිමේ වගකිම වෙන කවරකුටත් වඩා තිබිය යුත්තේ සරසවි සිසුන්ට ය. ඔවුන් ඒ වගකීමෙන් කර හැරිය විට සිදු වන්නේ පරිපාලනය මැදිහත් වීම ය. පොලීසිය මැදිහත් වීම ය. මාධ්‍ය නවක වදයේ නිරුවත රස කර කර ප්‍රදර්ශනය කිරීම ය.

නවක වදයට විරුද්ධව ප්‍රමාණවත් උද්ඝෝෂණයක් කිරීමට අසමත් වූ අය ද නවක වදය දුන් අය සමග ම එකතුව දැන් පොලු අමෝරාගෙන එන්නේ මේ බාහිර කුමන්ත්‍රණය පැරද වීමට ය.

සරසවියට නොගිය උන්ට තමන් සමග ඇරියස් එකක් ඇතැයි කියමින් ද වැස්සකටවත් සරසවියකට ගොඩ වී නැති එකෙකු සරසවිය ගැන කුමක් දන්නේ දැයි පාච්චල් කරමින් ද ඔවුහු නවක වදයට එරෙහිව කතා කරන රටේ මිනිසුන්ට එරෙහිව එකතු වෙති. එතැනදී ද ප්‍රදර්ශනය වන්නේ පුහු මාන්නය ය. අපේ ජාතියට ද පොදුවේ ඇති අප පොරවල් යැයි හිතන අධි මාන්නය ය.

එහෙත් නවක වදය නිසා ම සරසවියට ආයුබෝවන් කී, එහි දුගඳ අත්දැකීම්වලින් සැලී, ඒ බව රටට හෙළි කළ, සරසවි සිසුන්ගේ ම කතාවලට ඇහුම් කන් දීමට ඔවුහු පසු බාති. ඒවාට නෑසූ කන් ඇති ව සිටිති.

සරසවි සිසුන් පමණක් නොව, අප ජාතියක් හැටියට ම තේරුම් ගැනීමට අපොහොසත් වී ඇත්තේ බාහිර බලවේගයන්ට අපේ අභ්‍යන්තර කටයුතුවලට ඇඟිලි ගැසීමට අවස්ථාව විවර වන්නේ අපේ ම අතලොස්සකගේ උන්මත්තක ක්‍රියා නිසා බව ය. ඔවුන්ගේ ඇඟිලි ගැසීම් සුජාතකරණය වීමට, අප විසින් පාලනය නොකළ, අප අතරම ඉන්නා, උන්මත්තකයින් කීප දෙනකුගේ ක්‍රියා ද හේතු වී ඇති බව ය. අප, අපේ නොහික්මුණු උන් පාලනය කිරීමට අසමත් වෙන තාක් බාහිර බලවේගයන්ට අත පොවන්නට අවස්ථාවක් ඉන් ඇති වන බව ය.

ප්‍රශ්න එතැනින් අවසන් නොවේ. ඊළඟට අපට වද දෙන ප්‍රශ්නය වන්නේ නවක වදය විඳි අය ම ඊළග වසරේ දී ජේෂ්ඨ උන්මත්තකයින්ගේ තැන ගෙන නවකයන් පෙළීමට ඉදිරිපත් වීම ය. වසරින් වසර අමානුෂිකත්වය ද ඒ හා සමගම ඉහළ යෑම ය.

ජේෂ්ඨ උත්තමයන්ට ඇති බිය නිසා ම, උන්ගෙන් එල්ල විය හැකි අතවරයන්ට ඇති බිය නිසා ම, කොන්වෙතැයි සැකය නිසා ම, මුල දී බාරගන්නා මේ සිතුවිලි පරම්පරාව ටික කලක් යන විට තමන්ගේ ම කරගන්නට නවක සිසුන්ට ද සිදු වේ. ඒ කෙනකුගේ චර්යාව හා ආකල්ප අතර යම් පරතරයක් ඇති වීම ඔහුට ,ඇයට හිරිහැරයක් නිසාත් එයින් ගැලවිය හැක්කේ ආකල්ප වෙනස් කර ගැනීම මගින් නිසාත් ය. ඒ සඳහා කළ යුත්තේ තම චර්යාව සාධාරණීකරණය කරන සිතුවිලි ඇති කර ගැනීම ය. නවකවදය සාධාරණීකරණය වන්නේ ඒ අනුව ය. ඒ වෙනුවෙන් සරසවි සිසුන් පෙනී සිටින්නේ ඒ අනුව ය. ඊළග වසරේ තමන් විඳි නවක වදය තමන්ගේ කණිෂ්ඨයන්ට අත් කර දෙන්නට ඉදිරිපත් වන්නේ ඒ අනුව ය.

 

 

 

අප සරසවියේ ගත කළ කාලයේ අපේ ඉහළ වසරවල මිතුරන් ද පහළ වසරවල මිතුරන් ද අපේ මචං ලා වූ හ. ඒත් දැන් එහෙම නැත. ඉහළ වසරවල ඉන්නේ අයියලා අක්කලා ය. පහළ වසරවල නංගිලා මල්ලිලා ය. දැන් අනුගමනය මුලටත් වඩා ලෙහෙසි ය. වැඩිහිටි අයියා කෙනෙකුට විරුද්ධව යෑම මචං කෙනකුට විරුද්ධව යෑමට වඩා භයානක ය. ඉතින් පැරණි සම්ප්‍රදාය ගෙන යෑමට, දිගින් දිගට ගෙන යෑමට, සුදුසු වටපිටාවක් සරසවිය තුළ මෙසේ සංවිධානය වී තිබේ.

නවක වදය පිළිබඳ ප්‍රමාණවත් විරෝධයක් තබා ප්‍රමාණවත් සංවාදයක් පවා සරසවි තුළ ඇති නොවන්නේ ඒ හේතුව නිසා ය.

මේ වටපිටාව තුළ, පුස්කොළ පොත් තරමට නොවෙතත් පරම්පරා කීපයකට පෙර ලද සෑහෙන පැරණි සටහන් අනුගමනය කරමින් දේශන පවත්වන සරසවිය තුළ, අලුත් දැනුමක් සොයා යනවා වෙනුවට අවම වෙහෙසක් දරා සහතිකය රැගෙන ආ උද්දාමයෙන් පිට වී යෑමට සිතීම ගැන සරසවි සිසුන්ට දොස් පැවරිය නොහැකි ය. එහෙම පිරිසක් තමන්ගේ චාරිත්‍රයක්, එය කොතරම් සමාජය විසින් ප්‍රශ්න කළ ද, නැවත විමසීමට වෙහෙසෙන්නේ නැත.

අපේ සරසවියට ලොව දියුණු රටවල සරසවිවලින් ඉගෙන ගත හැකි ය. ඒවායේ ද නවක සිසුන් සමාජශීලී කිරිමේ වගකීම ජේෂ්ඨ සිසුන් විසින් දරනු ලැබේ. එහෙත් ඒ නවක සිසුන් පීචං කර තමන් උත්තමයන් බවට පත් වීමෙන් නොවේ. නවකයන්ට සරසවිය නිසි ලෙස හඳුන්වා දීමෙනි. ඔවුන් සමග කතා බහ කිරීමෙන් නව පරිසරය පිළිබඳව ඔවුන්ට ඇති චකිතයෙන් ඔවුන් මුදා හරිමිනි.

බොහෝ දෙනකු බටහිර රටවලින් ගුරුහරුකම් ගන්නට මැළිකමක් දක්වති. ඒ අප උන්ට වඩා කෙරුමන් ලෙස ඒ අය විශ්වාස කරන නිසා ය. එහෙම අයට ටිබෙට් රටේ කෙනකු වුව ද අපේ ද ජාතික වීරයකු වූ ඇස් මහින්ද හිමියන්ගෙන් උපදෙස් ලැබිය හැකි ය.

උස් තැන් දැක හැකිළෙන්නේ

මිටි තැන් දැක පුප්පන්නේ

නිවටුන් බව සිතමින්නේ

මගේ පුතා ලොකු වෙන්නේ

සරසවි සිසුන් ලොකු විය යුතු ය. ඒ තමන්ගේ කණිෂ්ඨයන්ට පිප්පීමෙන් නොවේ. පාසලක ශිෂ්‍ය නායකයින් මෙන් ලොකු අයියාගේ භූමිකාවට පණ දීමෙන් නොවේ. ටිබෙට් ජාතික මහින්ද හිමියන් කියූ ලෙසින්ම, මිටි තැන් දැක පුප්පන්නේ නිවටුන් බව සිතමින්, ලොකු විය යුතු ය. රටේ මිනිසුන් නියෝජනය කළේ වුව ද, ඒ සෙසු මිනිසුන්ට වඩා වෙනස් පරිණත හැසිරීමක් ඔවුන් විසින් පෙන්නුම් කළ යුතු ය. එසේ කිරීමට අසමත් වන්නේ නම් උන් ලබන උපාධියට පිරිපුන් මිනිසුන් අතර නම් වටිනාකමක් හිමිවන එකක් නැත.

නව අදහස දක්වන්න