උපාධිය බල ගැන්වේ! | දිනමිණ


 

උපාධිය බල ගැන්වේ!

 රැකියා විරහිත සියලු ම උපාධිධාරීන් සඳහා රාජ්‍ය අංශයේ රැකියා ලබාදීමට යෑම ඓතිහාසික සිද්ධියක් සේ සලකන්නට පුළුවන. බණ්ඩාරනායක මැතිනිය 1970 ගණන්වල දී මෙබඳු තීරණයක් ගෙන තිබූ අතර ඉනික්බිති බලයට පත් වූ නායකයන් උපාධිධාරීන් සම්බන්ධයෙන් විශේෂ සැලැකිල්ලක් දක්වා නැත. ගෝඨාභය රාජපක්ෂ මහතාගේ එක් කියමනක් වන්නේ රටක් දියුණු කිරීමට අවශ්‍ය ප්‍රධාන සාධකය දියුණු මානව සම්පත යන්න ය. මැලේසියාවේ මහතීර් මොහොමඩ් මහතා ද ඉහත අදහස දැරූ අතර දියුණු රාජ්‍ය අංශයක් ස්ථාපිත කළේය. රාජ්‍ය අංශය දියුණු වීම යනු රට දියුණුවීමකි. කාර්යක්ෂම හා ඵලදායීතාව අතින් ඉහළ රාජ්‍ය සේවයක් ගැන “සෞභාග්‍යයේ දැක්ම” වැඩසටහනෙහි ද සඳහන් වේ.

රැකියා විරහිත උපාධිධාරීන්ගේ ප්‍රමාණය පනස්දහස ඉක්මවා සිටින බව වාර්තා වී ඇත. උපාධිධාරීන්ට රැකියා සැපයීමේදී අභ්‍යන්තර හා බාහිර වශයෙන් උපාධිධාරීන් තක්සේරු කිරීමකට ලක්නොකරන හැටියට ද, ඔවුන්ගේ වයස නොසලකා හරින ලෙස ද, විශේෂයෙන් ඔවුන්ගේ දේශපාලනය සැලැකිල්ලට නොගන්නා ලෙස ද ජනාධිපතිවරයා උපදෙස් ලබා දී ඇත. මෙය ඉතා වැදගත් ය. සමහර උපාධිධාරීන් රැකියා විරහිත තත්ත්වයෙන් පීඩා විඳින්නේ ඔවුන්ගේ දේශපාලනය නිසා ය. දේශපාලනය මිනිසාගේ මූලික අයිතියක් වන අතර රජය ඊට බලපෑම් කරන්නේ නම්; එය බලවත් වැරැද්දකි. මේ වැඩසටහන දේශපාලනයෙන් දුරස් වී ඇත.

උපාධිධාරීන්ට රැකියා ලබාදීමට පෙර පුහුණු වැඩසටහනක් ද සංවිධාන කර තිබේ. එම පුහුණුව අංශ දෙකකින් සමන්විත ය. පළමු අංශය වන්නේ නායකත්ව පුහුණුව ය. දෙවන අංශය වන්නේ පරිපාලනය, කළමනාකරණය හා ආර්ථිකය පිළිබඳ පුහුණුවයි. නායකත්ව පුහුණුව ඉතා වැදගත් බව නූතන විශ්වවිද්‍යාල ශිෂ්‍යයෝ හොඳින් ම දනිති. නිරෝගීතාව සඳහා ශාරීරික අභ්‍යාස ඊට ඇතුළත් ය. එලෙස ම සාමුහික ව අභිප්‍රායයන් ජයගැනීමේ උපාය මාර්ග ද ඊට ඇතුළත් ය. දෙවන අංශයේ පුහුණුවෙන් මුදල් රෙගුලාසි, පරිපාලන රෙගුලාසි පමණක් නොව; ජාතික ආර්ථිකයේ අරමුණු හා ඉලක්ක හඳුනාගැනීමට ද අවස්ථාව ලැබේ. මේ මගින් ඵලදායී රාජ්‍ය සේවකයකු බිහි කරගත හැකි බව පෙනෙයි.

අපේ රාජ්‍ය සේවයේ ප්‍රමාණය ලක්ෂ 14ක් පමණ වන බවද, එයින් අඩක් හෙවත් ලක්ෂ 07ක් ප්‍රමාණවත් සේවයක් ඉටු නොකරන බවත් විශ්වවිද්‍යාල මහාචාර්යවරයකු පෙන්වා දී ඇත. කතාව සම්පූර්ණ සත්‍යයක් විය නොහැකි වුව රාජ්‍ය සේවයේ විශාල පිරිසක් නිකම් සිටින බව පිළිගත හැකි කාරණයකි. මීට වගකිව යුත්තේ රජ‍ය මිස සේවකයන් නොවේ. රාජ්‍ය සේවයට ඉලක්ක හා අරමුණු ලබාදිය යුතුය. එලෙස ම රාජ්‍ය සේවකයා තුළ රට ගැන හැඟීමක් ඇති කළ යුතුය. එය කළ හැකි එක් මාර්ගයක් වන්නේ සාර්ථක පුහුණුවක් ලබාදීම ය. සාර්ථක පුහුණුවක් ලැබ රටේ ආර්ථිකය ගැන හැඟීමක් ඇති කරගන්නා රාජ්‍ය සේවකයා කිසිවිටෙකත් දූෂණයට හා නාස්තියට ඉඩ නොතබනු ඇත.

රටේ බුද්ධිමත් තරුණ කණ්ඩායම් නිසි කළමනාකරණයක් ඔස්සේ ජාතික ආර්ථිකයට සම්බන්ධ කරගැනීම නායකයන් සතු වගකීමක් බව ගෝඨාභය රාජපක්ෂ මහතා කියා තිබේ. බුද්ධිමත් නායකයන් කළ යුත්තේ වෘත්තිකයන්ගේ හා උගතුන්ගේ සේවය ආර්ථික ක්‍රියාවලිය හා සම්බන්ධ කිරීම ය. අපේ රටේ පවතින්නේ අධ්‍යාපනය හා රැකියාව අතර නොගැළපීමකි. මේ අනුව උගතාට හා වෘත්තිකයාට රැකියා සොයමින් දේශපාලකයන් පසුපස යෑමට සිදු වී ඇත. ජනාධිපතිවරයා කියා සිටින්නේ රැකියාව බුද්ධිමත් තරුණයන් කරා හඹා එන යුගයක් ඇති කළ යුතු බවය. අධ්‍යාපනය හා රැකියා වෙළෙඳ පොළ අතර ඍජු සම්බන්ධ‍යක් ඇති කිරීමෙන් එය කළ හැකි ය. දියුණු රටවල විශ්වවිද්‍යාල පාඨමාලා සකස් වී ඇත්තේ රැකියා වෙළෙඳ පොළට ගැළපෙන ලෙස ය.

කාර්යක්ෂම හා ඵලදායීතාව අතින් ඉහළ අගයක් සහිත රාජ්‍ය සේවයක් නිර්මාණය කරගත හැකි නම්; රට දියුණු කිරීමේ පළමු අඩිතාලම එය වනු ඇත. රටේ සංවර්ධන ව්‍යාපෘතිවලින් විශාල ප්‍රමාණයක් මෙහෙයවන්නේ රාජ්‍ය අංශය යි. පොදු සේවාවලින් වැඩි හරිය මෙහෙයවන්නේ ද රාජ්‍ය අංශය යි. අධ්‍යාපන, සෞඛ්‍ය, ප්‍රවාහන ආදී ක්ෂේත්‍ර නිදසුන් ලෙස ගත හැකි ය. නිෂ්පාදන ක්‍රියාවලියේදී පෞද්ගලික අංශය පෙරමුණ ගෙන සිටිය ද එම ක්‍රියාවලියේ වැදගත් වැඩ කොටස් ගණනාවකට රාජ්‍ය අංශය සම්බන්ධ වෙයි. එහි අර්ථය වන්නේ සමස්ත ආර්ථික ක්‍රියාවලියේ හදවත ලෙස රාජ්‍ය අංශය පවතින බව ය. ජනාධිපතිවරයා අත ගසා ඇත්තේ නියම තැනට යැයි කිව හැකි ය. රාජ්‍ය අංශය ශක්තිමත් වේ ද ඒ ඔස්සේ බොහෝ ආර්ථික ඉලක්ක ජයගත හැකි ය.

රැකියා විරහිත උපාධිධාරීන්ගේ සංගම් ගණනාවක් තිබේ. මේ සංගම් වරින් - වර රජයට එරෙහි ව විරෝධතා දක්වන ආකාරයද පසුගියදා දැක ගන්නට ලැබිණි. එසේ කිරීම සාධාරණ ය. උපාධිධාරීන්ට රැකියා ලබාදීමට රජයක් නිල වශයෙන් බැඳී නැතත් ඔවුන්ගේ විරැකියාව ප්‍රසාරණය වීමෙන් පෙනී යන්නේ ආණ්ඩුවක ඇති නොහැකියාව මිස, වෙනත් දෙයක් නොවේ. උපාධිධාරීන්ට රාජ්‍ය අංශයේ රැකියා ලබාදීම ගැනත් කිසිදු භේදයකින් හා අක්‍රමිතාවකින් තොරව එම වැඩසටහන ක්‍රියාත්මක වීම ගැනත් මුළු රටම සතුටින් පසුවන බවක් දකින්නට ලැබේ.

 

නව අදහස දක්වන්න