ඉනිම 6කට පසු කුසල් මෙන්ඩිස්ගෙන් අර්ධ ශතකයක් | දිනමිණ


 

ඉනිම 6කට පසු කුසල් මෙන්ඩිස්ගෙන් අර්ධ ශතකයක්

ශ්‍රී ලංකාව 205/3යි

මැතිව්ස් නොදැවී 51යි

ටෙස්ට් ඉනිමක 6කදී අසාර්ථකවී සිටිමින් හරාරේහිදී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයට එක්වූ කුසල් මෙන්ඩිස් රැස්කළ අර්ධ ශතකය ‍හේතුවෙන් සිම්බාබ්වේ කණ්ඩායම සමග පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ තෙවැනි දිනය වූ ඊයේ සවස තේ පානය සඳහා තරගය නතර කරනවිට කඩුලු 3ක් දැවී ලකුණු 205ක් රැස් කිරීමට සංචාරක ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට හැකිවිය.

සත්කාරක සිම්බාබ්වේ කණ්ඩායම පළමු ඉනිමට ලකුණු 358ක් රැස්කළ අතර ඒ අනුව කඩුලු 7ක් අතැතිව සිටින ශ්‍රී ලංකාව තවත් ලකුණු 153ක් පසුපසින් සිටී.

ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 51ක් සහ දිනේෂ් චන්දිමාල් ලකුණු 6ක් ලබා නොදැවී කඩුල්ලේ රැදී සිටි අතර 35 වැනි ටෙස්ට් අර්ධ ශතකය රැස්කළ මැතිව්ස් හතරේ පහර 3ක් සහ හයේ පහරක් එල්ල කර තිබුණේ පන්දු 159කට මුහුණ දෙමිනි.

ලකුණු 42කට කඩුල්ලක් දැවී තිබියදී ඊයේ දිනය ඇරැඹු ශ්‍රී ලංකා ඉනිමේ දෙවැනි කඩුල්ලට තරගයේ දිවා විවේකයටත් පෙර තවත් ලකුණු 50ක් එක්වෙද්දී එම සබඳතාව නතර කිරීමට වික්ටර් නයාචී සමත් විය.

ඔහු සිය මංගල ටෙස්ට් කඩුල්ල ලෙස ලකුණු 37ක් ලබාසිටි ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්න දවාගත්තේ සිම්බාබ්වේ පිල වෙනවෙන් මංගල ටෙස්ට් තරගයට ක්‍රීඩා කරන එයින්සිල් නඩ්ලොවු උඩ පන්දුවක් රැක ගැනීමෙනි.

ලකුණු 92දී කරුණාරත්න දැවී යෑමෙන් අනතුරුව කුසල් මෙන්ඩිස්ට එක්වූ ඇන්ජලෝ මැතිව්ස් තෙවැනි කඩුල්ලට ලකුණු 92ක සබඳතාවක් ගොඩනගමින් සිටියදී නායචීගේ දෙවැනි කඩුල්ල ලෙස මෙන්ඩිස් දැවී ගියේය. පළමු ස්ලිප්හි පන්දු රකිමින් සිටි බ්‍රෙන්ඩන් ටේලර් උඩ පන්දුවක් රැක ගන්නා විට මෙන්ඩිස් ලකුණු 80ක් රැස්කර තිබිණි. පන්දු 163කට මුහුණ දෙමින් හතරේ පහර 8ක් එල්ල කර තිබු මෙන්ඩිස් ඊයේ රැස්කළේ සිය ටෙස්ට් දිවියේ 11 වැනි අර්ධ ශතකයයි.

පසුගිය වසරේ අගෝස්තු මාස ගාල්ලේ පැවැති ටෙස්ට් තරගයේදී නවසීලන්තයට එරෙහිවය අර්ධ ශතකයක් රැස්කළ මෙන්ඩිස් ඉන් පසු ක්‍රීඩා කළ ඉනිම 6 දීම අසාර්ථක විය. නවසීලන්තයට එරෙහිව කොළඹ දී පැවැති තරගය සහ පාකිස්තානයේ පැවැති තරග දෙකෙදී මෙන්ඩිස් රැස්කළ ඉහළ ලකුණු සංඛ්‍යාව වූයේ 32කි.

ඩොනල්ඩ් ටිරිපානෝ යැවූ ඉනිමේ 12 වැනි ඕවරයෙන් පළමු පන්දුවෙන් ලකුණු 21ක් ලබාසිටි ඕෂද ප්‍රනාන්දු පෙරේදා ශ්‍රී ලංකා ඉනිමේ පළමු කඩුල්ල ලෙස දැවී ගියහ. පන්දු 41කට මුහුණදුන් ඔහු හතරේ පහර 2ක් එල්ල කර තිබිණි.

අද තරගයේ ස්වුවැනි දිනයයි.

නව අදහස දක්වන්න