මහාද්වීපික අන්තර් ක්‍රීඩා සමාජ තරගාවලිය | දිනමිණ

මහාද්වීපික අන්තර් ක්‍රීඩා සමාජ තරගාවලිය

ප්‍රින්ස් ගුණසේකර

-ශ්‍රී ලංකා පාපන්දු තරගය අද තුරඟ තරග පිටියේදී

 

ඩිෆෙන්ඩර්ස් (යුද හමුදාව) පාපන්දු සමාජයේ පුහුණුකරු ඩඩ්ලි ස්ටැන්වෝල් මහතා හා නායක සුනිල් රොෂාන්, භූතාන පාරෝ පාපන්දු ක්‍රීඩා සමාජයේ පුහුණුකරු පුෂ්ප ලාල් ෂර්මා මහතා හා නායක ජිග්මී දොර්ජේ මාධ්‍ය හමුවේදී. ඡායාරූප - හර්බට් පෙරේරා

 

භූතාන පාරෝ පාපන්දු ක්‍රීඩා සමාජය හා ශ්‍රී ලංකා ඩිෆෙන්ඩර්ස් (යුද හමුදාව) පාපන්දු සමාජය අතර තරගය රීඩ් මාවත තුරඟ තරග පිටියේදී අද පස්වරු 7ට විදුලි ආලෝක ධාරා මැද ආරම්භ වෙයි. ආසියානු පාපන්දු සම්මේලනය සංවිධාන කරන මහාද්වීපික අන්තර් ක්‍රීඩා සමාජ පාපන්දු තරගාවලියේ මූලික වටයේ තරගයක් ලෙස මෙය සංවිධාන වේ.

ආසියානු පාපන්දු සම්මේලනය වාර්ෂිකව මේ තරගාවලිය සංවිධාන කරන අතර 2018 වසරේ ඩයලොග් චැම්පියන් ශූරයන් වූ ඩිෆෙන්ඩර්ස් (යුද හමුදාව) පාපන්දු සමාජය හා භූතාන අන්තර් ක්‍රීඩා සමාජ ශූරතාව දිනාගත් පාරෝ පාපන්දු කණ්ඩායම මේ තරගය සඳහා සුදුසුකම් ලබා සිටිති. මෙය තරග අදියර දෙකක් යටතේ පැවැත්වෙන අතර දෙවැනි තරගය මේ මස 29 වැනිද තිම්පූ අගනුවර චැන්ග්ලිමිතාන් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත.

ඩිෆෙන්ඩර්ස් (යුද හමුදාව) පාපන්දු සමාජය මේ තරගයට නව මුහුණුවරකින් පිවිසෙන අතර නයිජීරියාවෙන් ක්‍රීඩකයන් දෙකක් හා ඝානා රටෙන් ක්‍රීඩකයෙක් එක්කොට ඇත. එම ක්‍රීඩකයෝ රිනවුන්, සෙරන්ඩිබ් හා රෙඩ්ස්ටාර් යන ක්‍රීඩා සමාජවලට ක්‍රීඩා කළ අය වෙති. සුනිල් රොෂාන්ගේ නායකත්වයෙන් පිටියට පිවිසෙන ඩිෆෙන්ඩර්ස් (යුද හමුදාව) පාපන්දු සමාජයට ජාතික පාපන්දු පිලට ක්‍රීඩා කරන ක්‍රීඩකයන් කිහිපදෙනකු ඇතුළත්ව සිටී. ඩිෆෙන්ඩර්ස් පාපන්දු සමාජයේ සිටි ජ්‍යෙෂ්ඨතම ක්‍රීඩක 40 හැවිරිදි මොහොමඩ් ඉසෙදීන් මේ තරගයට ක්‍රීඩා නොකරන අතර ඒ වෙනුවට දක්ෂ ප්‍රහාරකයන් තම කණ්ඩායම සතුව ඇතැයි පුහුණුකරු ඩඩ්ලි ස්ටැන්වෝල් මහතා පැවැසීය.

ශ්‍රී ලංකා පාපන්දු නිවහනේ ඊයේ පැවැති මාධ්‍ය හමුවකදී ඒ මහතා පැවැසූවේ සති තුනක පුහුණුවකින් අනතුරුව භූතාන පිලට එරෙහිව හොඳ සටනක් දීමේ සූදානමකින් පසුවන බවය. “කණ්ඩායම් දෙක අතරේ තරග දෙකක් පැවැත්වෙනවා. ඒ නිසා මේ පළමු තරගය ජය ගැනීම වැදගත්. ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයන් ඉදිරියේ මේ පළමු තරගය පැවැත්වීම වාසිදායකයි” ස්ටැන්වෝල් මහතා පැවැසීය.

“මෙම තරගයට මානසිකව හා ශාරීරිකව ඉතාම හොඳ තත්ත්වයක අපේ කණ්ඩායම ඉන්නවා. පළමු වතාවට ආසියානු සම්මේලන කුසලාන තරගාවලියකට අප එක්වන්නේ. අපේ කණ්ඩායමේ භූතාන ජාතික පාපන්දු පිලේ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් දෙදෙනකු හා කනිෂ්ඨ ක්‍රීඩකයන් 4ක් ඉන්නවා. ඉතාම සමබර කණ්ඩායමක් අප සතුයි” භූතාන පාරෝ පාපන්දු ක්‍රීඩා සමාජයේ නායක ජිග්මී දොර්ජේ පැවැසීය.

නව අදහස දක්වන්න