ශ්‍රී ලංකා පිතිකරුවන්ගෙන් සිම්බාබ්වේ පිලට ප්‍රබල පිළිතුරක් | දිනමිණ


 

ශ්‍රී ලංකා පිතිකරුවන්ගෙන් සිම්බාබ්වේ පිලට ප්‍රබල පිළිතුරක්

මැතිව්ස් නොදැවී 92යි

මෙන්ඩිස් 80

ටෙස්ට් ඉනිම 6කදී අසාර්ථක වීමෙන් පසු හරාරේහිදී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයට එක්වූ කුසල් මෙන්ඩිස් සහ ඇන්ජලෝ මැතිව්ස් ඊයේ රැස්කළ අර්ධ ශතක හේතුවෙන් සිම්බාබ්වේ පිල සමඟ පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ තෙවැනි දිනය නිමාවනවිට පළමු ඉනිම ක්‍රීඩා කරන සංචාරක ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම කඩුලු 4ක් දැවී ලකුණු 295ක් රැස් කිරීමට සමත්ව සිටී.

සත්කාරක සිම්බාබ්වේ කණ්ඩායම පළමු ඉනිමට ලකුණු 358ක් රැස්කළ අතර ඒ අනුව කඩුලු 6ක් අතැතිව සිටින ශ්‍රී ලංකාව තවත් ලකුණු 63ක් පසුපසින් සිටී.

ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 92ක් සහ ධනංජය ද සිල්වා ලකුණු 42ක් ලබා නොදැවී කඩුල්ලේ රැදී සිටිති. දෙදෙනා අතර 5 වැනි කඩුල්ලට ගොඩනැගුණු නොබිඳුණු සබඳතාව ලකුණු 68කි.

සිය 10 වැනි ටෙස්ට් ශතකය වෙත පියමනින මැතිව්ස් ඊයේ රැස්කළේ 35 වැනි ටෙස්ට් අර්ධ ශතකයයි. හතරේ පහර 7ක් සහ හයේ පහර 2ක් එල්ල කළ ඔහු පන්දු 253කට මුහුණදී තිබූ අතර සිල්වාගේ ඉනිමට පන්දු 73කදී හතරේ පහර 5ක් ඇතුළත් විය. ඔහු 6 වැනි ටෙස්ට් අර්ධ ශතකයට ලකුණු 8ක් පසුපසින් සිටී.

ලකුණු 42කට කඩුල්ලක් දැවී තිබියදී ඊයේ දිනය ඇරැඹු ශ්‍රී ලංකා ඉනිමේ දෙවැනි කඩුල්ලට තවත් ලකුණු 50ක් එක්වෙද්දී තරගයේ දිවා විවේකයටත් පෙර එම සබඳතාව නතර කිරීමට වික්ටර් නයාචී සමත් විය.

ඔහු, සිය මංගල ටෙස්ට් කඩුල්ල ලෙස ලකුණු 37ක් ලබාසිටි ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්න දවාගත්තේ සිම්බාබ්වේ පිල වෙනුවෙන් මංගල ටෙස්ට් තරගයට ක්‍රීඩා කරන එයින්සිල් නඩ්ලොවු උඩ පන්දුවක් රැක ගැනීමෙනි.

ලකුණු 92දී කරුණාරත්න දැවී යෑමෙන් අනතුරුව කුසල් මෙන්ඩිස්ට එක්වූ ඇන්ජලෝ මැතිව්ස් තෙවැනි කඩුල්ලට ලකුණු 92ක සබඳතාවක් ගොඩනගමින් සිටියදී නායචීගේ දෙවැනි කඩුල්ල ලෙස මෙන්ඩිස් දැවී ගියේය. පළමු ස්ලිප්හි පන්දු රකිමින් සිටි බ්‍රෙන්ඩන් ටේලර් උඩ පන්දුවක් රැක ගන්නා විට මෙන්ඩිස් ලකුණු 80ක් රැස්කර තිබිණි. පන්දු 163කට මුහුණ දෙමින් හතරේ පහර 8ක් එල්ල කර තිබු මෙන්ඩිස් ඊයේ රැස්කළේ සිය ටෙස්ට් තරග දිවියේ 11 වැනි අර්ධ ශතකයයි.

මැතිව්ස් මෙන්ම මෙන්ඩිස්ද ටෙස්ට් ඉනිම 6කට පසුව අර්ධ ශතක රැස් කිරීම කැපී පෙනුණි. ඔවුන් දෙදෙනාම පසුගිය වසරේ අගෝස්තු මස ගාල්ලේ පැවැති ටෙස්ට් තරගයේදී නවසීලන්තයට එරෙහිව අර්ධ ශතක රැස්කර තිබූ අතර ඉන් අනතුරුව ක්‍රීඩා කළ ඉනිම හයේදීම අසාර්ථක වූහ. නවසීලන්තයට එරෙහිව කොළඹ දී පැවැති තරගය සහ පාකිස්තානයේ පැවැති තරග දෙකෙදී මෙන්ඩිස් සහ මැතිව්ස් ලකුණු අතරට පිවිසීමට අපොහොසත්වූ අතර මෙන්ඩිස් රැස්කළ ඉහළ ලකුණු සංඛ්‍යාව වූයේ 32කි. මැතිව්ස් පාකිස්තානයේදී ලකුණු 31ක් රැස්කර තිබිණි.

මුළු ලකුණු 184දී මෙන්ඩිස් දැවී ගිය අතර ඉනිමට තවත් ලකුණු 43ක් එක්වෙද්දී පන්දු යැවූ සිම්බාබ්වේ නායක ෂේන් විලියම්සන් වෙත පෙරළා ලබාදුන් උඩ පන්දුවක් රැක ගැනීම හේතුවෙන් සිවුවැනි කඩුල්ල ලෙස දිනේෂ් චන්දිමාල්ගේ ඉනිම ලකුණු 12කින් නතර විය.

 

අද තරගයේ සිවුවැනි දිනයයි.

 

නව අදහස දක්වන්න