යාපනෙන් තොග ඇවිත් එළවළු මිල අහසින් පොළවට | දිනමිණ


 

යාපනෙන් තොග ඇවිත් එළවළු මිල අහසින් පොළවට

පසුගිය මාස කිහිපයේ සිටම ශීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබූ එළවළු මිල 21 දින සිට වීශාල වශයෙන් පහත වැටෙමින් පවතින බව දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ වෙළෙන්දෝ පවසති.

මෙසේ එළවළු මිල පහත වැටීමට ප්‍රධානතම හේතුව බවට පත්ව ඇත්තේ යාපනය අර්ධද්වීපයේ විශාල වශයෙන් එළවළු තොග 21 දින අලුයම සිට දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට ලැබීම ආරම්භ වීමත් සමඟ බව වෙළෙන්දෝ වැඩි දුරටත් කියා සිටිති.

කන්ද උඩරට ප්‍රදේශ වලින් ලැබෙන ගෝවා ,බෝංචි,කැරට් , ලීක්ස් හැර අනෙකුත් එළවළු බොහොමයක මිල මේ ආකාරයෙන් පහත වැටීම විශේෂත්වයකි.

එළවළු වර්ග බොහොමයක් ඉකුත් සතියේ දී කිලෝවක් රුපියල් 150ත් 300ත් අතර මිලයකට අලෙවි වූ අතර 21 දින පෙරවරුව වන විට එම එළවළු කිලෝවක තොග මිල රුපියල් 60 සිට 80 දක්වා පහත වැටී තිබිණි.

එමෙන්ම රාබු නෝකෝල් වැටකොළු කරවිල පතෝල වම්බටු දඹල මෑකරල් ආදී සියලුම එළවළු වර්ග කිලෝවක තොග මිල රුපියල් 40 සිට රුපියල් 80 දක්වා මිලකට පැවැති අතර මෙම එළවළු වර්ග සියල්ලම කිලෝව රුපියල් එකසිය පනහේ සිට රුපියල් 300 දක්වා මිල ගණන් යටතේ අලෙවි වූ බව වෙළෙන්දෝ කියති,

යාපනය අර්ධද්වීපයෙන් විශාල වශයෙන් එළවළු තොග ලැබීම නිසා එමෙන්ම පහත රට ප්‍රදේශවල ද එළවළු අස්වැන්න මේ දිනවල නෙළීමත් සමඟ දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට එළවළු තොග ලැබෙමින් පවතී.

විදේශ රටවලින් ගෙන්වා ඇති ලොකු ලූණු කිලෝවද රුපියල් 45 සිට රුපියල් 90 දක්වා වූ මිලකට අලෙවි වෙයි. පසුගිය සතියේ ලොකු ලූනු කිලෝවක් රුපියල් 150ත් 200ත් අතර ඉහළ මිලකට අලෙවි වීම සිදු වූ අතර මේ වන විට එම මිලද කිලෝව රුපියල් 45 දක්වා අඩු ව තිබීම විශේෂත්වයකි.

පසුගිය සති කිහිපයේ රුපියල් 400 ත් 600ත් අතර අලෙවිවූ අමුමිරිස් කිලෝවක තොග මිල රුපියල් 180 ත් 200 දක්වාද රුපියල් 250කට අලෙවිවූ වම්බටු කිලෝව මේ වන විට රුපියල් 45ත් 60 දක්වාද රුපියල් 180 කට අලෙවි වූ දඹළ කිලෝව රුපියල් 35 දක්වාද රුපියල් 180 කට අලෙවි වූ පතෝල කිලෝව රුපියල් 60 දක්වා පහත වැටී තිබේ.

නුවරඑළිය ප්‍රදේශයේ පහුගිය දින කිහිපයේ පැවති වර්ෂාව හේතුවෙන් ගෝවා බෝංචි ලීක්ස් කැරට් මිල පසුගිය සතියට වඩා යම් මට්ටමකින් අඩු වුවද කැරට් කිලෝවක් රුපියල් 350ත් 400ත් අතර බොන්චි කිලෝවක් රුපියල් තුන්සියයකට අලෙවි වූ බෝංචි කිලෝව රුපියල් 160 දක්වා මිල පහත වැටී තිබේ .ලීක්ස් කිලෝවක් රුපියල් තුන්සිය හැටකට අලෙවි වූ අතර මේ වන විට ලීක්ස් කිලෝවක තොග මිල ද රුපියල් 240 දක්වා පහත වැටී තිබේ. ඉකුත් සතියේ රුපියල් 350ක් 400ක් අතර වූ අතර අලවි වූ තක්කාලි කිලෝව තොග මිල ද රුපියල් 250 දක්වා පහත වැටී තිබීම විශේෂත්වයකි.

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථාන වෙළෙන්දන් කියා සිටියේ මින් ඉදිරියට දිගටම එළවළු ලැබීමත් සමඟ මිල පහත යන බවට විශ්වාසය පළ කළ හැකි බව ය .යාපනය අර්ධද්වීපයේ විශාල වශයෙන් ලැබෙන එළවළු නිසා රටේම එළවළු මිල පහත යනු ඇති බව ව්‍යාපාරිකයෝ විශ්වාසය පළ කරති.

යාපනය අර්ධද්වීපයෙන් වීශාල වශයෙන් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට බීට්රූට් තොග ලැබීමත් එක්ක පසුගිය සතියේ කිලෝවක් රු 280කට අලවි වූ බිට් කිලෝව රුපියල් 60 දක්වා පහත වැටී ඇති බව දඹුල්ලේ වෙළෙන්දෝ කියති .

සිගිරිය විශේෂ

නව අදහස දක්වන්න