ව්‍යවස්ථාවේ සාධනීය වෙනසකට ජනපතිට සහාය දෙමු | දිනමිණ

ව්‍යවස්ථාවේ සාධනීය වෙනසකට ජනපතිට සහාය දෙමු

ඇමැති නීතිඥ නිමල් සිරිපාල ද සිල්වා

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ආර්ථික වැඩපිළිවෙළ ශක්තිමත් කර සංවර්ධනය වේගවත් කිරීමට ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ සාධනීය වෙනස්කම් රැසක් සිදු කිරීමට ඉදිරි මහ මැතිවරණයේ දී තුනෙන් දෙකක බලයක් ඒ මහතාට ලබා දිය යුතු බව අධිකරණ මානව හිමිකම් හා නීති ප්‍රතිසංස්කරණ ඇමැති නීතිඥ නිමල් සිරිපාල ද සිල්වා මහතා කියයි.

ඇමැතිවරයා මේ අදහස් පළ කළේ මහියංගනය රිදීමාලියද්ද ප්‍රදේශයේ පැවති ජන හමුවකදීය.

එහි දී වැඩිදුරටත් අදහස් පළ කළ ඇමැතිවරයා මෙසේ ද සඳහන් කළේය.

රටේ දිශානතිය වෙනස් කර එය හොඳ දිශාවකට හැරවීමට ගෝඨාභය රාජපක්ෂ මහතාට ඔබ ලබා දුන් ඡන්දය අපතේ ගියේ නෑ. එය ජනතාව මෙන්ම රටක් ලෙස ගත් පසුවත් වැඩදායී ඡන්දයක් බවට පත් වුණා. වැට් බද්ද ඇතුළු බදු රාශියක් අඩු වුණා. ගොවි ජනතාවට බලපාන බෝග වර්ග කිහිපයක් පිටරටින් ගෙන්වීම දැන් නතර කර තිබෙනවා. අපේ රටේ නිෂ්පාදනය කරන තවත් බෝග කිහිපයක් ගෙන්වීම තහනම් කිරීමට ඉදිරියේ දී රජය කටයුතු කරනවා. ඒ සමඟම ගොවි ජනතාවගේ ආර්ථිකය, අතමිට සරු වෙනවා. බඩඉරිඟු ගෙන්වීම තහනම් කළා. කුරක්කන්, මෙනේරි, අල, කව්පි වගේ ලංකාවේ නිෂ්පාදනය කරන්න පුළුවන් ඒවා ගෙන්වීමත් අපි තහනම් කරනවා. අද ගම්මිරිස්වල මිල වැඩි වෙලා. මේ සියලු සහන ගෝඨාභය රාජපක්ෂ මහතා ජනතාවට ලබාදීමට කටයුතු කළා. එ් මහතා මේ රටේ ආර්ථිකය ගොඩ නංවමින් සිටිනවා. ඒ නිසා අපි ඒ මහතා ආරක්ෂා කර ගත යුතුයි. ඒ මහතාගේ ඉදිරි ආර්ථික වැඩපිළිවෙළ ශක්තිමත් කිරීමට ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේත් සාධනීය වෙනස්කම් රැසක් සිදු කර දිය යුතුයි. ඒ සඳහා ඉදිරි මහ මැතිවරණයේ දී විශිෂ්ට ජයක්, තුනෙන් දෙකක බලයක් ලබාගැනීමට කටයුතු කළ යුතුයි.

පසුගිය රජයෙන් විධිමත් සංවර්ධනයක් වුණේ නෑ. ඒ නිසා අපි ගෝඨාභය රාජපක්ෂ මහතා බලයට පත් කර ගත්තා. රිදීමාලියද්ද කොට්ඨාසය මහවැලියට පවරාගැනීමට අපි කටයුතු කළා. ඉදිරි මහ මැතිවරණයට පෙර සියලු උපාධිධාරීන්ට පත්වීම් ලබා දෙනවා. බාහිර අභ්‍යන්තර කියලා බෙදීමක් නෑ. සියලු දෙනාට පත්වීම් දෙන බව ගෝඨාභය රාජපක්ෂ මහතා කැබිනට් මණ්ඩලයේ දී සඳහන් කළා. ඒ වගේම සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ අසමත් තරුණ තරුණියන් ලක්ෂයකට රැකියා ලබා දෙනවා. ඒ රැකියා ලබා දෙන්නේ දරිද්‍රතාවයෙන් වැඩි වශයෙන් පෙළෙන අයටයි. උසස් පෙළ සහ සාමාන්‍ය පෙළ සමත් අයට ඉල්ලන්න බෑ. ඒ අයට ඉදිරි මහ මැතිවරණයෙන් පසු රැකියා ලබාදීමේ වැඩපිළිවෙළක් අපි ක්‍රියාත්මක කරනවා. ලබන මහ මැතිවරණයෙන් පසු පිහිටවනු ලබන නව රජය යටතේ ගම්වල සංවර්ධනය වේගවත් කරනවා. අපි පසුගිය රජයේ ඇමැතිකම් ලබා ගත්තා. ඒ ලබා ගත්තේ ජාතික රජයක් ලෙස අපේ පක්ෂයේ එකඟත්වය අනුවයි. නමුත් ඒ රජයේ ප්‍රතිපත්ති හරි නෑ කියලා තේරුම් ගියා. ඒ නිසා අපි එයින් ඉවත් වුණා.

එක්සත් ජාතික පක්ෂයේ පවතින අර්බුදය නිසා එම පක්ෂයේ සාමාජිකයන් අපි සමඟ එක් වෙමින් සිටිනවා. අපි ඒ අය සාදරයෙන් පිළි ගන්නවා. පොදුජන පෙරමුණේ සාමාජිකයන් පමණක් නෙවෙයි ගෝඨාභය රාජපක්ෂ මහතාගේ දැක්ම සහ වැඩපිළිවෙළ නිසා ඒ මහතා වටා එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකයන් එක්රැස් වෙමින් සිටිනවා. අද රාජ්‍ය සේවයේ අල්ලස, දුෂණය දුරු කිරීමට මෙන්ම කාර්යක්ෂම රාජ්‍ය සේවයක් ඇති කරලීමට කටයුතු කර තිබෙනවා. එදා බණ්ඩාරනායක මහතා එක්සත් ජාතික පක්ෂයේ සිට ඇවිත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පිහිටුවනු ලැබුවා. පක්ෂ පාට භේද අමතක කර දුක් විඳින ග්‍රාමීය ජනතාවගේ ප්‍රශ්න විසඳාලීමට අපි කැප විය යුතුයි.

ප්‍රදේශයේ ආබාධිත ජනතාවට රෝද පුටු පරිත්‍යාගයක් ද මෙහි දී සිදු විය.

නව අදහස දක්වන්න