සෞඛ්‍ය අමාත්‍යාංශයේ දූෂණ සොයන්න | දිනමිණ

සෞඛ්‍ය අමාත්‍යාංශයේ දූෂණ සොයන්න

අගමැති උපදෙසින් කමිටුවක්

සෞඛ්‍ය අමාත්‍යාංශයේ සිදු වී ඇතැයි කියන දූෂණ වංචා සොයා බැලීම සඳහා අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි අමාත්‍යාංශ මට්ටමෙන් කමිටුවක් පත් කෙරේ.

අමාත්‍යාංශ මට්ටමින් එම කමිටුව පත් කිරිමට පියවර ගන්නා බව සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා, කාන්තා හා ළමා කටයුතු සහ සමාජ ආරක්ෂණ අැමැති පවිත්‍රා වන්නිආරච්ච් මහත්මිය පවසයි.

එමෙන්ම හිටපු සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න ,රුපියල් බිලියන 40 ක හිඟ බිල් තබා ගොස් ඇති බවත්, එම හිඟ බිල් පියවීමට ලබන සතියේ අැමැති මණ්ඩල සංදේශයක් ඉදිරිපත් කරන බවත් ඇමැතිනිය කියයි.

“බෙහෙත් සම්බන්ධයෙන් හිඟයක් ඇති නොවීමට ආණ්ඩුවක් වශයෙන් අප වගබලා ගන්නවා. නමුත් හිටපු සෞඛ්‍ය ඇමැති රාජිත අමාත්‍යවරයා සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් යන අවස්ථාව වන විට සහ මේ අවස්ථාව වන විටත් රුපියල් බිලියන 40 ක හිඟ බිල් තියලා තිබෙනවා. අපට ගෙවන්න අති විශාල මුදල් හිඟ තියලා තිබෙනවා. අපේ ආණ්ඩුව පත් වුණාට පස්සේ මෙවැනි තත්ත්වයන් පිළිබදව දැනුවත් කරපුවාම භාණ්ඩාගාරයෙන් බිලියන 10 ක මුදලක් සෞඛ්‍ය අමාත්‍යාංශයට ලබා ගැනීමට පුළුවන්කම ලැබුණා. නමුත් මේ වන විටත් ගිය ආණ්ඩුව කාලේ හිඟ බිල් රුපියල් බිලියන 40 ක් තිබෙනවා. මේ සතියේ නැවත අැමැති මණ්ඩල සංදේශයක් අැමැති මණ්ඩලයට යනවා සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඒ හිඟ බිල් පියවීම සදහා. එමෙන්ම අගමැතිතුමා මා වෙත දැනුම් දුන්නා දූෂණ පිළිබඳ සොයා බැලිම සඳහා අමාත්‍යාංශ මට්ටමෙන් කමිටුවක් පත් කරන්න කියලා. ඒ අනුව අමාත්‍යාංශය මට්ටමින් එම කමිටුව පත් කිරීමට පියවර ගන්නවා. ඒ අනුව වැරදි කරපු අයටත් ඒ වැරදි කරපු කොම්පැනි වලටත් දඩුවම් ලැබේවි කියා අප හිතනවා.”යැයිද අැමැතිනිය අවධාරණය කරයි.

නව අදහස දක්වන්න