නාලන්දාවට විශිෂ්ඨ සේවයක් කළ හිටපු විදුහල්පති ධර්මා ගුණසිංහයන් අභාවප්‍රාප්ත වෙයි | දිනමිණ


 

නාලන්දාවට විශිෂ්ඨ සේවයක් කළ හිටපු විදුහල්පති ධර්මා ගුණසිංහයන් අභාවප්‍රාප්ත වෙයි

කොළඹ නාලන්දා විද්‍යාලය වෙනුවෙන් ඉමහත් සේවාවක් ඉටු කළ ධර්මා ගුණසිංහ මහතා අවුරුදු අනූවක් ආයු වලඳා අද (22) දින අභාවප්‍රාප්ත වූයේය.

1958 වසරේ විද්‍යා ගුරුවරයකු ලෙස නාලන්දා විද්‍යාලයට එක්වූ එතුමා ඉන් පසුව කණිෂ්ඨ විද්‍යාලයේ විදුහල්පතිවරයා ලෙස ඉමහත් සේවයක් ඉටු කළේය.

ඉන් පසුව 1982 වසරේ සිට 1990 දක්වා නාලන්දා මහා විද්‍යාලයේ විදුහල්පතිවරයා ලෙස පත්වූ එතුමා තම සේවා කාලය තුළ නාලන්දාවෙහි උන්නතිය වෙනුවෙන් විශාල සේවාවක් ඉටු කළේය.

ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලැබූ ධර්මා ගුණසිංහ මහතා උසස් අධ්‍යාපන සඳහා ගාල්ල මහින්ද විද්‍යාලයට ඇතුළත් වූයේය.

ඉන් පසුව ඔහු මහරගම ගුරු විද්‍යාලයේ අධ්‍යාපනය අවසන්කොට ගුරු වෘත්තීයට එක් විය.

ශ්‍රි ලංකාවේ ප්‍රමුඛ බෞද්ධ පාසල වන නාලන්දාව දියුණුවෙන් දියුණුවට පත් කිරීම සඳහා තම ජීවිත කාලයම කැපකල ධර්මා ගුණසිංහ මහතා සර්වෝදය සංගමයේ භාණ්ඩාගාරිකවරයා වශයෙන් මෙන්ම සර්වෝදය භාර අරමුදලේ ප්‍රධාන විධායක නිළධාරියා ලෙස ශ්‍රි ලංකාවේ ජනතාවගේ ප්‍රගමනය වෙනුවෙන් විශාල සේවයක් ඉටු කළේය.

එතුමා අද්විතීය පඬිරුවනක් වූ දිවංගත ආචාර්ය සිරි ගුණසිංහ මහතාගේ බාල සොයුරා වේ.

එතුමාගේ දේහය  (23) දින උදෑසන 8.30සිට රාත්‍රි 10.00දක්වා බොරැල්ල ජයරත්න මල්ශාලාවේ Respect අවමංගල අංගනයේ අවසන් ගෞරවය සඳහා තැන්පත් කර තබන අතර 24 වැනි සිකුරාදා උදෑසන 9.00 සිට සවස 3.30 දක්වා කොළඹ නාලන්දා විද්‍යාලයේ මලලසේකර රංග ශාලාවේ අවසන් ගෞරවය සඳහා තැන්පත් කර තබනු ලබයි.

පාංසකූල කටයුතු සවස 2.30ට පැවැත්වීමට නියමිතය .

අවසන් කටයුතු හෙට (24) සිකුරාදා ප.ව. 4.30 බොරැල්ල කනත්තේ ආදාහනාගාරයේදී පැවැත්වීමට අවමංගල කමිටුව තීරණය කොට තිබේ.

අවමංගල උළෙල සඳහා පැමිණෙන ආදි නාලන්දීයයන් අවසන් ගෞරවය දැක්වීම සඳහා විද්‍යාලයීය ටයි පටිය පැළඳඑන මෙන් අවමංගල කමිටුව විශේෂ ඉල්ලීමක් කරයි.

නව අදහස දක්වන්න