වියපත් නොවන අගනුවර තරුණ කවි සමාජය | දිනමිණ

වියපත් නොවන අගනුවර තරුණ කවි සමාජය

 ‘අගනුවර තරුණ කවි සමාජයේ අබිමන් 85‘ කාව්‍ය ලොව සොඳුරු මාංගල්‍ය මේ මස 26 වැනි දින පෙරවරුවේ දෙහිවල ඇස් ද ඇස් ජයසිංහ ශ්‍රවණාගාරයේ දී පැවැත්වේ.

1985 අංක 35 දරන පාර්ලි‍මේන්තු පනතින් ආවරණය ලද ශ්‍රී ලංකාවේ ඇති එක ම කාව්‍ය සංසදය අගනුවර තරුණ කවි සමාජයයි. දශක අටකටත් වඩා වැඩි කාලයක් තුළ සිංහල සඳැස් කවියට, සාහිත්‍ය ක්ෂේත්‍රයට හා නව පරපු‍රේ නිර්මාණශීලි පරපුරට ප්‍රදීපස්ථම්භයක්ව ආලෝකය දෙමින්, නගර මධ්‍යයේ ඉදිකළ මහා ස්ථම්භයක් ව ශක්තිය උරුම කර දෙමින් සිටී. ප්‍රවීණ හා නූතන පරපුරේ කවි කිවිඳියන්ගේ සාමුහිකත්වයෙන් අදටත් සාහිත අඹර පෑයූ පුරසඳක් සේ බැබළෙමින්, පෙරටුගාමී මෙහෙවරක යෙදෙන අගනුවර තරුණ කවි සමාජය, මේ වනවිට විදේශීය ශාඛා කිහිපයකින් වර්ණවත්ව ඉදිරියට ගමන් කරමින් සිටී.

වර්තමානයේ කොළඹ විහාර මහා දේවී උද්‍යානය නමින් ප්‍රකට, එදා වික්ටෝරියා උයන නමින් හැඳින්වූ ස්ථානයෙහි වූ චමත්කාරජනක සුන්දර පරිසරය සිය උපන් පියස කොට වර්ෂ 1935 අප්‍රේල් මස 18 වැනි දින එතැනට රැස් වූ පී. බී. අල්විස් පෙරේරා, විල්සන් හෑ‍ගොඩ, ආර්. එම්. ද අල්විස්, පීටර් පෙරේරා, ඇතුළු කවීහු කිහිප දෙනෙකු “කොළඹ කවි සමාජය” නමින් පිහිටුවා ගත් කාව්‍ය සංසදය, පසුකලීනව “අගනුවර තරුණ කවි සමාජය” යන නමින් ජනගත වීය. පසුව එය ප්‍රකට වූ යේ අ. ත. ක.ස. යන කෙටි යෙදු‍මෙනි. ශ්‍රී ලංකාවේ අති සම්භාවනාවට පත් ප්‍රවීණ කවියන්ගේ සහභාගීත්වය යටතේ යු‍ගයෙන් යුග ප්‍රභාවත්ව පෙරට සපැමිණි අතකසය, වර්තමානයේදී ප්‍රවීණ හා ප්‍රකට වියත් කවි කිවිඳියන්ගේ සාමුහික එකතුවකින් හා එකමුතුවකින් ශක්තිමත්ව, නව පරපුරේ කවි කිවිඳියන්ගේ ද සහාය ලබමින් ක්‍රියාත්මකව පවතී.

අතීතයේදී කොළඹ යුගයේ හා කොළඹ කවීන්ගේ පාරාදීසයක්ව පැවැති අගනුවර තරුණ කවි සමාජය” එල්ලවූ ප්‍රබලම අභියෝගයක්ව පැවති කොළඹ කවියෝ සමනල ලෝකවල අතරමංව, ගං, විල්, මල්, හෙල් පිළිබඳ බොහෝ කවි ලියූ පිරිසක් ය යන මිථ්‍යා මතය අභිබවමින් කටයුතු කරනු ලැබීය. කාව්‍ය ලක්ෂණවලින් පෝෂිත, ළයට විරිතට අනුව ‘යවහන්’ දෝෂවලින් ස්වායක්තව, එළිවැට හා එළිසමය රකිමින්, සඳැස් කවියේ රුව ගුණ සුරකිමින්, කවි ලියන ප්‍රශස්ත හා ප්‍රබුද්ධ පිරිසක් අතීතයේ සිට මේ දක්වා සම්බන්ධව සිටී.

අතකසයේ මේ අනවරත ගමන් මග තුළ ගෙවූ කාලය පුරාවටම ඒ ඒ යුග ආලෝකමත් කරමින් ජ්‍යෙෂ්ඨම හා ප්‍රවීණතම කිවිවරු පහළොස් (15) දෙනෙකු එහි සභාපතිත්වය සඳහා පත්ව සිටි බවට ලේඛනගතව ඇත. පී. බී. අල්විස් පෙරේරා, විමලරත්න කුමාරගම, සාගර පලන්සූරිය, බඹරකොටුවේ සුධර්ම සෙනෙවිරත්න, යූ. ඒ. එස්. පෙරේරා (සිරි අයියා), එච්. එම්. කුඩලිගම, විමලේන්ද්‍ර වතුරේගම, සූරසේන ආටිගල, උපනන්ද බටුගෙදර, විමලසිරි පෙරේරා, බිංගිරියේ විජය කුමාර, චිත්‍රානන්ද අබේසේකර, වල්ගම සෝමතිලක, සේසිරි විජේසේකර හා ගාල්ලේ බර්ලින් ඒ කවීහු වෙති.

මේ සියල්ලන් ම මේ වන විට දිවි මඬළින් සමුගෙන ඇත. වත්මන් සභාපතිත්වය දරන ප්‍රනීත් පෙරේරා එහි දහසය (16) වැනි සභාපතිවරයා ය.

ගෙවුනු කාල වකවානුව තුළදී ශ්‍රී ලංකාවේ බිහිවූ ප්‍රවීණතම මෙන් ම, ප්‍රබුද්ධ, ප්‍රශස්ත කවි කිවිඳියෝ රාශියක්ම සිය නිර්මාණකරණයේ බිහිදොර බවට පත්කර ගනු ලැබුවේ, අගනුවර තරුණ කවි සමාජයේ සෙවණැල්ල ය. නව පරපුරේ බොහෝ කවි කිවිඳියෝ අන්තර් ජාලයේ මුහුණු පොත හරහා අද නව නිර්මාණ ලොව හමුවේ ව්‍යාප්ත කිරීමට හා ඔවුනොවුන් අතර සිය නිර්මාණ සජීවීව හුවමාරු කර ගැනීමට සාධනීය ප්‍රවේශයක් ලබා ඇති බව පෙනේ.

මෙය නිවැරදිව හඳුනාගත් වත්මන් අතකස නිල මඬුල්ල, එසේ පිබිදී එන නව පෙළ අතකසය හා ඒකරාශී කර, ඔවුනගේ ඉදිරි මඟට ප්‍රබල අත්වැලක් සැපයීමට ද ඉදිරිපත්ව ඇත. ගෙවීගිය වසර කිහිපය තුළ අතකසයේ ඉහළ නිලතල දැරූ නිලධාරී මණ්ඩලයේ අධීක්ෂණය යටතේ සිදුකළ කාර්යයන් අතර, පාසල් සිසු සිසුවියන් ප්‍රමාණාත්මකව සදැස් කවියට යොමු කිරීම, නව සැලසුම්වලට අනුව හිටිවන කවි හමු පැවැත්වීම, අන්තර්ජාල වෙබ් අඩවි, මුහුණු පොත (Face Book) හරහා නව කාව්‍ය සංකල්පනා ජනගත කිරීම, නව පෙළෙහි කාව්‍ය කෘති එළි දැක්වීම වැනි සුවිශේෂී සමාජයීය කටයුතු කිරීම, නර්තනාංග සහිත කාව්‍ය රංගන කරලියට ගෙන ඒම, විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍යය ඔස්සේ සඳැස් හා නිසඳස් කවි නිර්මාණ ජාලගත කිරීම අවශ්‍යයෙන්ම පෙන්වා දිය හැකි ය.

අගනුවර තරුණ කවි සමාජයේ කවීහු එදා පෙනී සිටියේත්, අද පෙනී සිටින්නේත් හරවත්, අර්ථවත්, රසවත් ප්‍රාගුණ්‍යයෙන් පිරි කාව්‍ය සම්ප්‍රදාය තුළ මිස, අයාලේ යන කවිය තුළ නොවන බව අනිවාර්යයෙන් ම අවධාරණය කළ යුතු ය.

එය මනාසේ පසෙක් කරගත් එහි වත්මන් නියමුවෝ පාසල් මට්ටමින් විශ්වවිද්‍යාල මට්ටමින් හා සමාජයීය මට්ටමින් සිංහල කවිය වඩාත්ම ස්ථාවරව ප්‍රතිෂ්ඨාපනය කර, ජනගතකිරීම වෙනුවෙන් නිරතුරු නිස්සරණාධ්‍යාසී කැපවීමකින් කටයුතු කරති.

මෙවර අතකස අබිමන් 85 කාව්‍ය සොඳුරු මංගල්‍යයේදී සුපුරුදු පරිදි ජ්‍යෙෂ්ඨ ප්‍රවීණ කවියන්, කීර්තිමත් මාධ්‍යවේදීන් හා විශිෂ්ට කලාකරුවන් සඳහා සම්මත සම්මාන පිරිනැමේ.

 

කලාභූෂණ කිවිපති

ඩබ්ලිව්. කේ. සරත් විමලසිරි

මාධ්‍ය ලේකම්

අගනුවර තරුණ කවි සමාජය

නව අදහස දක්වන්න