සමස්ත ලංකා ළමා මලල ක්‍රීඩා සැණකෙළිය | දිනමිණ

සමස්ත ලංකා ළමා මලල ක්‍රීඩා සැණකෙළිය

ෆවුස් මොහොමඩ්
ගාල්ල මැදගම ආදර්ශ විදු­හල් කණ්ඩා­යම භාර නිලූකා ප්‍රියන්ති සහ විෂාරා ජය­ව­ර්ධන ගුරු මහ­ත්මිහු සහ අහං­ගම මාවැල්ල ප්‍රාථ­මික විදු­හලේ කණ්ඩා­යම භාර ආචාර්ය එස්.ඒ.කපුගේ

පිටියේ එක් පසෙක යාපනය සාන්ත පැට්‍රික් විදුහලේ කුඩා දරුවන් සහ ගාල්ල මාවැල්ල ප්‍රාථමික විදුහලේ දරුවන් අතර සංවාදයකි. උන්ගලුඩ පෙයර් එන්න...? (ඔයාගේ නම මොකක්ද) දෙමළ බසින් සාන්ත පැට්‍රික් විදුහලේ දරුවකු එසේ අසද්දී මාවැල්ල ප්‍රාථමික විදුහලේ දරුවකු තරමක ලජ්ජාශීලීව ඊට පිළිතුරු දෙමින් තම නම කියයි. මේ දෙපිරිස තරග කිරීමෙන් පසුව ලද විවේකයේදී ඔවුනොවුන් අතර සාමුහිකත්වය බෙදා ගන්නේ ඒ අයුරිනි.

උතුරත්, දකුණත් යා කළ මේ අපූරු සිදුවීමත්, ඊට සමාන තවත් සිදුවීම් රැසකුත් දකින්නට ලැබුණේ නාවලපිටිය ජයතිලක ක්‍රීඩාංගණයේදී පසුගියදා නිමාවට පත්වූ සමස්ත ලංකා ළමා මලල ක්‍රීඩා සැණකෙළිය (kids athletics) අතරතුරදීය.

යාපනයේ මිතුරකු දෙමළ බසින් තමාගේ නම විමසා සිටි බව ඊළඟට එම දරුවා දිවගොස් පවසන්නේ එස්.ඒ.කපුගේ මහතාටය. මාවැල්ල ප්‍රාථමික විදුහලේ කණ්ඩායම නාවලපිටියට කැටුව ආ භාරකාර ගුරුවරයා ඔහුය.

‘අපි ආවේ 5 ශ්‍රේණියේ මිශ්‍ර ක්‍රීඩාවලටයි. කොට්ඨාස, කලාප හා පළාත් තරගවලින් ජයග්‍රහණය කරලා සෑහෙන්න සටනකින් පසුවයි අවසන් වටයට ආවේ. අපේ දරුවන් මේ සැණකෙළියට එන්නේ පුදුම සතුටකින්. දරුවන්ගේ පෞරුෂය ඔප් නංවන්නත්, අනිත් ජාතීන් අතර සුහදත්වය වර්ධනය කරගන්නත් මේ සැණකෙළිය හරි වැදගත්.’ කපුගේ මහතා එසේ කීවේය.

අහංගම, හබරාදූව ආසන්නයේ පිහිටා ඇති මාවැල්ල ප්‍රාථමික විදුහල වසර සියයකටත් වඩා පැරැණි පාසලකි. මුලින් එහි 6, 7 වැනි ඉහළ ශ්‍රේණියේ දරුවන් ඉගෙනුම ලැබුවත් කාලයාගේ අවෑමෙන් දැන් ඒ පාසල පස්වැනි ශ්‍රේණිය දක්වා පන්ති පැවැත්වෙන පාසලක් බවට පත්වී ඇත්තේ දරුවන්ගේ සංඛ්‍යාව ක්‍රමයෙන් අඩුවන නිසා බව කපුගේ මහතා කීවේ කනගාටුවෙනි.

‘ළමයින්ගේ කුසලතා ඔප් නංවන්න ගුරුවරු ගොඩාක් උත්සාහ ගන්නවා. අඩු පහසුකම් ඇති පාසලක් වුණත් අපි ගිය අවුරුද්දේ කණ්ඩායම් දෙකක්ම අරන් ආවා.’ කපුගේ මහතා සතුටින් යුතුව කියයි.

අධ්‍යාපන අමාත්‍යාංශය හා එක්ව නෙස්ලේ ලංකා සමාගම 3, 4 සහ 5 ශ්‍රේණිවල දරු දැරියන් වෙනුවෙන් මේ සමස්ත ලංකා ළමා මලල ක්‍රීඩා සැණකෙළිය වාර්ෂිකව පවත්වන්නේ 2015 වසරේ සිටය. ඇතැම් පාර්ශ්ව එය තරගාවලියක් ලෙස හඳුන්වනු ලැබුවත් සැබැවින්ම එය සැණකෙළියක් ලෙස හැඳින්වීම වඩාත් සුදුසුය. මේ සැණකෙළිය සංවිධාන කෙරෙන්නේ කුඩා වියේ සිටම දරු දැරියන් අතර එකමුතුකම, කණ්ඩායම් හැඟිම හා සුහදත්වය වර්ධනය කිරීමට අඩිතාලම දැමීමටය. එය ප්‍රාථමික අධ්‍යාපන අංශයට අයත් එකකි. ප්‍රාථමික දරු දැරියන්ගේ ක්‍රීඩා දස්කම් ඔප් නංවා ගැනීමටත්, ගුරුවරුන්ට හා මාපියන්ට තම දරුවන්ගේ දස්කම් හඳුනාගැනීමටත් සමස්ත ලංකා ළමා මලල ක්‍රීඩා සැණකෙළිය කදිම වේදිකාවක් බවට පත්වී තිබේ.

කුඩා වියේ සිටම දරුවන් ක්‍රීඩාවට යොමු කිරීමෙන් ඔවුන්ගේ හැකියාවත් වර්ධනය වන අතර අනාගතයේ ජාතික තලයේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් බවට පත්වීමට අඩිතාලම ද ඉන් ගොඩ නැගේ.

ගාල්ල මැදගම ආදර්ශ විදුහල් කණ්ඩායම සමස්ත ලංකා ළමා මලල ක්‍රීඩා සැණකෙළියට සහභාගි වූයේ තුන්වැනි වතාවටය. ප්‍රාථමික දරු දැරියන් වෙනුවෙන් මෙවැනි ක්‍රීඩා සැණකෙළියක් සංවිධාන කිරීම පිළිබඳ එම විදුහලේ කණ්ඩායම භාරව පැමිණ සිටි නිලූකා ප්‍රියන්ති සහ විෂාරා ජයවර්ධන ගුරු මහත්මිහු අධ්‍යාපන අමාත්‍යාංශයට සහ පූර්ණ අනුග්‍රාහකත්වය සපයන නෙස්ලේ ලංකා සමාගමට නොමඳ ස්තූතිය පුද කළහ.

‘දරුවන් මෙවැනි ක්‍රීඩා සැණකෙළියකදි පුහුණුව ලබන්නේ ක්‍රීඩා කිරීම සම්බන්ධයෙන් පමණක් නෙවෙයි. කණ්ඩායමක් හැටියට සාමුහිකව කටයුතු කිරීමටත් පුහුණුවක් ලබාගන්නවා. ඒ වගේම වෙනත් පාසල්වල දරු දැරියන් සමග සුහදත්වය වර්ධනය කරගැනීමටත් මේක ලොකු අත්වැලක්.’ ඔවුහු කියා සිටියහ.

තෙදිනක් පුරා පැවැති සමස්ත ලංකා ළමා මලල ක්‍රීඩා සැණකෙළියට සහභාගි වූ දරු දැරියන්ගේ සංඛ්‍යාව අටදහසකටත් වැඩිය. දිනය පුරා ජයතිලක ක්‍රීඩාංගණයේ එහා මෙහා දිව යමින් ඉතා ප්‍රීතියෙන් යුතුව කාලය ගත කළ මේ කුඩා දරු දැරියන්ට කිසිදු වෙහෙසක් නැතිවා මෙනි. ඔවුන් සෙසු පාසල්වල දරු දැරියන් හා එක්ව ප්‍රීතිය බෙදා හදා ගත්හ.

මෙවර සැණකෙළියේ පළමු දිනයේ පැවැති 3 ශ්‍රේණියේ තරග තරගවලින් බාලක ශූරයන් බවට පත්වූයේ හැටන් හී සාන්ත මේරි විදුහලය. ගිනිගත්හේන ප්‍රාථමික විදුහල බාලිකා අංශය ජයගනිද්දි මුලතිව් දිස්ත්‍රික්කයේ තුන්නිකායි හි කොඩකාඩියකුලම් මහ විදුහලේ දරු දැරියෝ මිශ්‍ර තරග ඉසව්වේ ශූරතාව දිනාගත්හ.

දෙවැනි දිනයේ තරගවලදි කොත්මලේ ඩෙල්ටා ගැමුණුපුර මහ විදුහලෙන් පැමිණි දරුවන් 4 ශ්‍රේණියේ බාලක ශූරතාව දිනාගත්හ. එහි බාලිකා ශූරතාව දිනාගනු ලැබුවේ විල්ගමුව මොන්ටි ගොපල්ලව ප්‍රාථමික විදුහලේ දැරියන් විසිනි. හැටන් හි ක්ලෙවර්ටන් දෙමළ මහා විද්‍යාලයේ දරු දැරියෝ මිශ්‍ර ශූරතාව ජයගත්හ.

අවසන් දිනයේ පැවැති පස්වැනි ශ්‍රේණියේ තරගවලදි කටුගස්තොට අංකුඹුර ආදර්ශ පාසලේ දරු දැරියෝ බාලක හා බාලිකා ශූරතා ද්විත්වයම දිනාගත්හ. මිශ්‍ර තරග අංශය ජයගනු ලැබුවේ හැටන් හි කිව් දෙමළ විදුහලේ දරු දැරියෝ විසිනි. විදුලිබල රාජ්‍ය අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ සහ අධ්‍යාපන අමාත්‍යාංශයේ ක්‍රීඩා අධ්‍යක්ෂ දයා බණ්ඩාර මහත්වරු මේ ක්‍රීඩා සැණකෙළියේ ප්‍රධාන ආරාධිතයන් ලෙස එක්වෙද්දි මධ්‍යම පළාත් ක්‍රීඩා අධ්‍යක්ෂ අතුල ජයවර්ධන, අධ්‍යාපන අමාත්‍යාංශයේ ශාරිරික අධ්‍යයන හා ක්‍රීඩා සහකාර අධ්‍යක්ෂ ආර්. රුවන්පතිරණ, ක්‍රීඩා උපදේශිකා ශ්‍රියානි කුලවංශ, ක්‍රීඩා සම්බන්ධිකාරක අයි.පී.පද්මලතා මහත්ම මහත්මිහු සැණකෙළිය සාර්ථක කරගැනීමට දැඩි කැපවීමෙන් යුතුව කටයුතු කළහ.

සමස්ත ලංකා ළමා මලල ක්‍රීඩා සැණකෙළියේ පූර්ණ අනුග්‍රාහක නෙස්ලේ ලංකා සමාගමේ උපසභාපති බන්දුල එගොඩගේ, වෙළෙඳ ප්‍රවර්ධන හා අනුග්‍රාහකත්ව ජ්‍යෙෂ්ඨ කළමනාකරු සජීව වික්‍රමසිංහ සහ සාමුහික කටයුතු හා මහජන සම්බන්ධතා පිළිබඳ ජ්‍යෙෂ්ඨ කළමනාකරු දමිත කුලතුංග මහත්වරු ඇතුළු පිරිස මේ සැණකෙළිය සාර්ථකව නිමා කිරීමට නිහඬ දායකත්වයක් ලබා දුන්හ.


ඡායාරූප - රංජිත් අසංක

නව අදහස දක්වන්න