අඩු ආදායම්ලාභී රැකියාවලට එක් පවුලකින් එක් සාමාජිකයකුට ඉල්ලුම් කළ හැකියි | දිනමිණ

අඩු ආදායම්ලාභී රැකියාවලට එක් පවුලකින් එක් සාමාජිකයකුට ඉල්ලුම් කළ හැකියි

නුවන් කොඩිකාර

සමෘද්ධි සහනාධාරය සඳහා සුදුසුකම් ලබා තිබෙන, එම ලයිස්තුවල ඉන්න සහ මෙතෙක් සමෘද්ධිය ලබා ගැනීමට නොහැකි වුණ අඩු ආදායම්ලාභීන්ට රැකියා ලක්ෂයේ වැඩසටහනට ඉල්ලුම් කළ හැකි බව රජය පවසයි.

එක පවුලකින් එක් සමාජිකයකුට හෝ සමාජිකාවකට පමණක් මීට ඉල්ලුම් කර හැකි අතර ආබාධිත දරුවන් සහිත පවුල්වල අයට, වයස්ගත පුද්ගලයන් ඉන්න ආදායම් මාර්ග නොමැති පවුල්වල අයට ද විශේෂ අවස්ථාවක් ලබා දීමට රජය තීරණය කර තිබේ.

එම රැකියාව සඳහා යොමු කිරීමට පෙර ඔවුන්ට ලබාදෙන පුහුණු කාලයේ දී මාසයකට රුපියල් විසි දෙදහස් පන්සියයක් වැටුපක් ගෙවන බවත් ඊට අදාළ පුහුණුවත්, එම රැකියාවත් ලබාදෙනු ලබන්නේ ඔවුන් ජීවත් වන ප්‍රදේශයෙන් වන බවත් තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ රාජ්‍ය ඇමැති ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පැවැසීය.

ඊට අදාළ අයඳුම්පත් ලබාදීම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් ආරම්භ කර ඇති බවත් තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ රාජ්‍ය අමාත්‍යාංශයේ ඇසිදිසි මැඳුර ශ්‍රවණාගාරයේ පැවැති මාධ්‍ය හමුවට සහභාගීවෙමින් රාජ්‍ය ඇමැතිවරයා එසේ ප්‍රකාශ කළේය.

ඇතැම් අයට ප්‍රශ්නයක් තිබුණා සමෘද්ධි පවුල්වලින් රැකියා සඳහා බඳවා ගත්තම සමෘද්ධිය අහිමි වෙවි කියා. ඒ නිසා සමෘද්ධි පවුල් නැතුව අඩු ආදායම්ලාභී පවුල්වලට රැකියා ලාබාදීමේ වැඩපිළිවෙළ ශක්තිමත් කිරීම සඳහා පෙරේදා සිට මෙම අයඳුම්පත් බෙදාහරින්න කටයුතු යොදා තිබෙනවා යැයි ද ඒ මහතා කියා සිටියේය.

රාජ්‍ය ඇමැතිවරයා මෙසේද පැවැසීය.

ප්‍රාදේශීය ලේකම් කාර්යලවලින් අයදුම්පත් ලබාගැනීමෙන් පසු අපි නිර්නායකයන් කිහිපයක් ලබා දී තිබෙනවා. ඒ අනුව අඩු ආදායම්ලාභී පවුල්වල සමාජිකයකුට හෝ සමාජිකාවකට මේ සඳහා ඉල්ලුම් කළ හැකියි. අයඳුම්පත් ලබාගත් පසු එම අයඳුම්පත ග්‍රාමසේවක නිලධාධාරීන් අනුමත කළ යුතුයි. ඒ එම පවුලේ ආදායම් තත්ත්වය පිළිබඳ සඳහන් කර. වයස අවුරුදු 18 ත් 40 ත් අතර අයට, ඒ වගේම මේ අයගේ වෙනත් කුසලතාවන් ගැනත් මෙහිදි සැලකිල්ලක් දක්වනවා. හැබැයි සාමාන්‍ය පෙළ සමත් අයට මේ සඳහා ඉදිරිපත් වෙන්න බැහැ. සාමාන්‍ය පෙළ දක්වා ඉගෙන ගත් අයට මේ සඳහා ඉදිරිපත් විය හැකියි.

මේ තෝරා ගැනීම හා පුහුණුව විනිවිදභාවයෙන් සිදුකරන්න කියා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා උපදෙස් ලබා දී තිබෙනවා. ඒ අනුව බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බළකා දෙපාර්තුමේන්තුවක් ස්ථාපිත කර තිබෙනවා. තව නොබෝ දිනකින් ඒ දෙපාර්තුමේන්තුවට අධ්‍යක්ෂ ජෙනරාල්වරයකු පත් කරනවා. ඒ අධ්‍යක්ෂක ජෙනරාල්වරයා පත් වුණාට පස්සේ විශේෂ කමිටුවක් මඟින් සියලු අය තෝරා ගැනීම සඳහා මූලික සුදුසුකම් සපුරා එවා තිබෙනවා ද බලනවා.

මේ රජයට, රජයේ නිලධාරීන්ගේ සහාය විශාල ලෙස ලැබුණා. ඒ නිසා රජයේ නිලධාරිය පිළිබඳ අපිට විශ්වාසයක් තිබෙනවා. ඒ රජයේ නිලධාරීන් ගැන විශ්වාසයක් තිබෙන නිසා එම නිලධාරීන්ට විශේෂ අවස්ථාවක් මේ සඳහා නිර්දේශ ලබාදීමට ලබා දී තිබෙනවා. ඒ අනුව ප්‍රාදේශීය ලේකම්තුමා හෝ තුමියට ඒ අයගේ සහතික කිරීමෙන් පසු කාර්ය සාධන බළකායට එවිය හැකියි. ඉන් පස්සේ රජය ලබා දී ඇති සුදුසුකම් සපුරා ඇද්ද කියලා නැවත කමිටුවකින් පරික්ෂා කර බලනවා. මේ අයට මාස හයක විශේෂ පුහුණුවත් ලබා දෙනවා. ඉන් පස්සේ රුපියල් 22,500 ක වැටුපකට ඔවුන් රැකියා සඳහා අනුයුක්ත කරගන්නවා. ඊට පස්සේ වසර දහයකට පසු දෙපාර්තුමේන්තු මට්ටමේ විශ්‍රාම වැටුපක් තිබෙන පුද්ගලයකු බවට පත් කරනවා. මෙහිදි විශේෂයෙන් කාර්යන් 25 බෙදා තිබෙනවා. හදිසි අවස්ථාවක දී සිදු කරන සේවාවන්, ආයතනවල තිබෙන පුරප්පාඩු, ආපදා තත්ත්වයන්වලදි සේවාවන් යන අංශ පිළිබඳ පුහුණුවක් ලබා දීලා රාජ්‍ය සේවයේ කාර්යක්ෂම සමාජිකයන් බවට එම පිරිස පත්කර ගන්නවා.

අඩු ආදායම්ලාභී පුවුල්වලට තිබුණු ප්‍රශ්නයක් තමයි මේ රජයේ රැකියා ලබා ගැනීමට නොහැකිවීම. පසුගිය කාලයේ මේ අය රැකියා ගත්තේ කාගේ හරි පස්සෙන් ගිහින්. දැන් ජනතාවට අවස්ථාව ලැබී තිබෙනවා තමන්ගේ අඩු සුදුසුකම් තිබෙන දරුවන්ට කිසිම දේශපාලන භේදයකින් තොරව ඉදිරිපත්වීමට. මේ වැඩපිළිවෙළ විශේෂ දෙපාර්තුමේන්තුවක් විදියට ස්ථාපති කර අධ්‍යක්ෂක ජෙනරාල්වරයකු පත් කර ඔහුගේ අධීක්ෂණය යටතට පත් කරනවා.

ඡායාරූපය- විපුල අමරසිංහ

නව අදහස දක්වන්න