ගෞරවාන්විතව නීතියට අනුව | දිනමිණ


 

ගෞරවාන්විතව නීතියට අනුව

ජනාධිපතිවරයා පොලිසියට උපදෙස් ගණනාවක් ලබා දී ඇත. ඒ පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමේ දී ක්‍රියා කළයුතු ආකාරය ගැනය. එක උපදේශනයක සඳහන් වන්නේ අත්අඩංගුවට ගනු ලබන සියලු දෙනාට සමාන ලෙස සැලැකිය යුතු බව ය. තව උපදේශනයක සඳහන් වන්නේ පුද්ගල ගෞරවයට හානියක් නොවන ලෙස අත්අඩංගුවට ගැනීම සිදුවිය යුතු බවය. තවත් උපදේශනයක සඳහන් වන්නේ කිසිදු බලපෑමකට යටත් නො වී නිත්‍යානුකූල ලෙස අත්අඩංගුවට ගැනීම සිදුවිය යුතු බවය. පුද්ගලයකු අත්අඩංගුවට ගනු ලබන්නේ නීතිය ක්‍රියාත්මක කිරීමේ පළමු පියවරක් හැටියට ය. එයින් පුද්ගලයා වරදකරුවකු යැයි සනාථ වන්නේ නැත. එබැවින් අත්අඩංගුවට ගැනීම දඬුවමක් ලෙස සලකා ක්‍රියා කිරීම වැරැදිය.

ඇතැම් සිදුවීම්වලට අනුව විනිසුරුවන් අත්අඩංගුවට ගැනීමට සිදු වේ. උසස් පොලිස් නිලධාරීන් අත්අඩංගුවට ගැනීමට සිදු වේ. වෛද්‍යවරුන්, ගුරුවරුන් වැනි වෘත්තිකයන් අත්අඩංගුවට ගැනීමට සිදු වේ. මහජන නියෝජිතයන් අත්අඩංගුවට ගැනීමටද සිදු වේ. මේ සෑම තැනැත්තකු ම සමාජයේ ගෞරවයට හා සම්මානයට පාත්‍ර වූ අය විය හැකි ය. එබඳු අයගේ දෑතට මාංචු දමා පොලිස් රථයකට තල්ලු කරන විට මහජනයා තුළ කෝපයක් හටගැනීමට වුව ඉඩ තිබේ. එහෙත් නීතිය ක්‍රියාත්මක විය යුතුය. මෙහිලා පොලිස් නිලධාරීන්ගේ හැසිරීම බෙහෙවින් විනීත විය යුතුව තිබේ. නිලධාරීන්ගේ ආමන්ත්‍රණය මෙන්ම අත්අඩංගුවට ගනු ලබන විලාසය ද මෙහි දී වැදගත් ය. රාජකාරියක් ඉටු කරන ආකාරයෙන් මිස; පළිගැනීමක් සිදුකරන ආකාරයෙන් අත්අඩංගුවට ගැනීම සිදු නොවිය යුතුය.

නීතිය කාටත් පොදු බව ද එහි බලය සියල්ලට ඉහළින් පැවැතිය යුතු බවද කියනු ලැබේ. ඒ අනුව රටේ නායකයා වුව නීතිය ඉදිරියේ හිස නැමිය යුතුය. පාකිස්ථානයේ නායකයන් වරින් වර අත්අඩංගුවට පත් වී ඇති අතර ඇතැම් නායකයන් හිරබත් කා තිබේ. ශ්‍රී ලංකාවේ ද මහජන නියෝජිතයන් වරින්-වර අත්අඩංගුවට පත් වී ඇත. සමහරුන් රිමාන්ඩ් බන්ධනාගාරයේ ගත කර ඇත. විනිසුරුවන් වැනි නීතියට සම්බන්ධ ඉහළ නිලධාරීන් අත්අඩංගුවට පත්වන්නේ කලාතුරෙකින් ය. එහෙත් රටේ ඇති සිදුවීම්වලට අනුව උසස් පුද්ගලයන් අත්අඩංගුවට පත්වීමද රක්ෂිත බන්ධනාගාර ගත කිරීමද පොදු දෙයක් බවට පත් වී ඇත. මෙයින් සනාථ වන්නේ සමාජයේ පවත්නා පොදු පිරිහීම යැයි කිව හැකි ය.

බරපතළ ගණයේ අපරාධකරුවකු අත්අඩංගුවට ගැනීමට යන පොලිස් නිලධාරියා ඔහුට මුහුණ දීම සඳහා සූදානමකින් යා යුතුය. ඔහුට මහත්මයකුට සලකන අයුරින් කතා කළ හැකි ද යන්න ගැටලුවෙකි. බරපතළ අපරාධ කිහිපයකට සම්බන්ධ හිමිනමක් අත්අඩංගුවට ගැනීමට ගිය පොලිස් නිලධාරියෙක් මරණයට පත්විය. ඒ හිමි නම පොලිස් නිලධාරියාට පහර දී ඔහුගේ බෙල්ල මිරිකා මරා දැම්මේය. එහෙත් එබඳු අපරාධකාරයන් අත්අඩංගුවට ගැනීමද, විනිසුරුවකු අත්අඩංගුවට ගැනීමද අතර වෙනසක් පවතී. උසස් නිලතල දරන අය විමර්ශනවලින් පසු නැවත සේවයට වාර්තා කළ යුතුය. ඒ අනුව ඔවුන් මහජන විශ්වාසය හා ගෞරවය ආරක්ෂා කර ගත යුතුය.

බොක්සිං ශූර මයික් ටයිසන් කිහිප වරක් අත්අඩංගුවට පත් වී ඇත. එක් වරක් ඔහුගේ දෑතට මාංචු දැමු පොලිස් නිලධාරීන් දෙදෙනකු ඔහුගේ උරහිස් දෙපැත්තෙන් අල්ලාගෙන පොලිස් කූඩුව වෙත ගමන් කර තිබේ. මෙහිදී ටයිසන් පොලිස් නිලධාරීන්ට කියා ඇත්තේ මගේ අත් දෙක වැඩ කළොත් උඹලා දෙන්නාව විනාශයි යන්නය. පොලිස් නිලධාරීන් සිනාසෙනු මිස කිසිවක් කියා නැත. මේ සිද්ධියෙන් පෙනීයන්නේ වෘත්තීය පොලීසිය සිය රාජකාරිය උපේක්ෂා සහගත ව ඉටු කරන බවය. අපේ ඇතැම් පොලිස් නිලධාරීන් වරෙක හැඟුම්බරය. වරෙක ආවේගශීලීය. වරෙක පක්ෂග්‍රාහීය. ජනාධිපතිවරයාගේ උපදේශනය වී ඇත්තේ බලපෑම්වලට යටත් නොවී නිත්‍යානුකූල ලෙස රාජකාරිය ඉටු කරන්න යන්නය.

පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම, පරීක්ෂණ හා නඩු විභාග පැවැත්වීම හා පුද්ගලයන් සිරගත කිරීම සම්බන්ධයෙන් යහපාලන ආණ්ඩුව ක්‍රියාකර ඇති ආකාරය රන්ජන් රාමනායකගේ හඬපට සිද්ධියෙන් පැහැදිලි වෙයි. විශේෂයෙන් පොලීසිය, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පමණක් නොව; අධිකරණය පවා ස්වාධීන ව ක්‍රියා කර නැති බව එහි එන තොරතුරුවලින් සනාථ වෙයි. පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම හා සිරගත කිරීම කුමන්ත්‍රණකාරී ලෙස ද නාටකීය ලෙස ද සිදු වී ඇති බව පෙනී යයි. යහපාලන ආණ්ඩුව යටතේ පොලිස් දෙපාර්තමේන්තුවේ හැසිරීම භයානක තත්ත්වයක තිබූ බවද පැහැදිලිය. පොලීසියේ ලොක්කන් නීතිය නවන්නට උත්සාහ කළේ ද එම කාලයේ ය. ජනාධිපතිවරයාගේ උපදේශය වන්නේ පරණ ක්‍රමය මුළුමනින්ම වෙනස් කළ යුතු බවය. එනම්; නීතියට පිටින් කිසිවක් කළ නොහැකි බවය.

විශේෂ පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමේ දී නීතිපති උපදේශන ලබාගැනීම වඩා වැදගත් බවද ජනාධිපතිවරයා කියා තිබේ. අත්අඩංගුවට ගැනීම සඳහා නෛතික ප්‍රතිපාදන තිබිය යුතු සේම අත්අඩංගුවට ගනු ලබන ආකාරයෙහි ද යුක්තිගරුකභාවයක් පැවැතිය යුතුය. මානව නිදහස යන්න සෑම පුද්ගලයකුගේ ම අයිතියකි. එම අයිතිය උල්ලංඝනය කිරීම ද අපරාධයක් හැටියට සලකයි. සිරකරුවන්ට ඇති අයිතිවාසිකම් ගැන එක්සත් ජාතීන්ගේ සංවිධානය සඳහන් කර ඇත. එක්සත් ජාතීන්ගේ සංවිධානය, රතුකුරුස සංවිධානය, ජාත්‍යන්තර ක්ෂමා ආයතනය වැනි ජගත් සංවිධාන සිරකරුවන්ගේ මානව හිමිකම් ගැන නිරන්තර අවධානයකින් පසුවෙයි. සිරකරුවන් යනු දඬුවමකට යටත් වූ පුද්ගලයන් ය. එහෙත් අත්අඩංගුවට පත්වන පුද්ගලයකුට දඬුවම් නියම වී නැත. එක අතෙකින් බලන විට අත්අඩංගුවට පත්වන පුද්ගලයා යුක්තිය ඉටු කිරීමට සහයෝගය ලබා දෙන්නෙකි. එබැවින් ඔහු ආරක්ෂා කළ යුතුය. ඔහුගේ ගෞරවය ද රැකිය යුතුය.

නව අදහස දක්වන්න