ජනතාව ඡන්දය දී ගෙදර යවපු එජාපය සමඟ අපේ එකතුවීමක් නෑ | දිනමිණ


 

ජනතාව ඡන්දය දී ගෙදර යවපු එජාපය සමඟ අපේ එකතුවීමක් නෑ

ජනාධිපතිවරණයේදී ජනතාව සිය ඡන්දය භාවිතා කළේ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව ඉවත් කිරීමට නිසා වත්මන් රජය එජාපය සමඟ එකතුවී ගමන් කිරීමේ කිසිදු බලාපොරොත්තුවක් නොමැති බව වරාය සංවර්ධන රාජ්‍ය ඇමැති කනක හේරත් මහතා පැවසීය.

ඒ මහතා මේ බව පැවසුවේ බත්තරමුල්ල නෙළුම් මාවත ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ කාර්යාලයේදී ඊයේ (24) පැවැති මාධ්‍ය හමුවට සහභාගි වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේ ද කීය.

පසුගිය කාලයේදී දේශපාලන පළිගැනීම් වෙනුවෙන් අත්අඩංගුවට ගැනීම් සිදුවුණා. වත්මන් රජය යටතේ සාධාරණ හේතුවකින් තොරව , නිසි පරීක්ෂණයකින් තොරව අත්අඩංගුවට ගැනීම් සිදු කරන්න එපා . පසුගිය රජය යටතේදී ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු ඇතුළු කණ්ඩායමෙන් විශාල වශයෙන් දේශපාලන පළිගැනීම් සිදුකළා.

රන්ජන් රාමනායක මහතාගේ හඩපට සිදුවීම් දෙස බලනවිටදී දේශපාලන අධිකාරියේ සහාය ඇතිව විනිසුරුවරුන් , පොලීසියේ නිලධාරීන්ගේ උසස්වීම් වෙනුවෙන් යම්යම් කටයුතු සිදු වී තිබෙන බව පෙනෙන්න තිබෙනවා. රන්ජන් රාමනායක මහතා පවසන ආකාරයට මේ සියලු කටයුතු සිදුකර තිබෙන්නේ හොරකම් අල්ලන්න කියනවා. නමුත් ඒ දේවල්වලින් ඇත්තටම සිදු කර තිබෙන්නේ කුමක්ද කියා පැහැදිලියි. එක්සත් ජාතික පක්ෂ රජයෙන් අමාත්‍යංශයක් දුන්නේ කොහොමද කියා ගැටලුවක් තිබෙනවා. එතුමාගේ කතාවලින් රටත් , පාර්ලිමේන්තුවත් නොමඟ යවනවා. මහා සංඝරත්නයට , ජනමාධ්‍ය ප්‍රධානීන්ටත් අපහාස කරනවා. අවසානයේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවායැයි කියූ සීඩී තැටි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලත් නැහැ.

හොඳම සුසංයෝගය වන්නේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අගමැතිවරයා වශයෙන් සජිත් ප්‍රේමදාස මහතා සුදුසු කියා අජිත් පි. පෙරේරා මහතා ප්‍රකාශ කරනවා. එතුමා පසුගිය කාලය පුරාවටම ගෝඨාභය රාජපක්ෂ මහතාට විරුද්ධව විවිධ අදහස් පළ කළා. ඒ නිසා එතුමා කියන දේවල් අපට විශ්වාස කරන්න බැහැ. ජනතාව ජනාධිපතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කළේ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව ඉවත් කරන්නයි. මේ දේවල්වලින් පෙනී යන්නේ ඔවුන් පරාජය බාරගැනීමට අකමැති බවයි. නමුත් මහමැතිවරණයේ දී එක්සත් ජාතික පක්ෂය ඓතිහාසික පරාජයකට ලක් වෙනවා.

ඒවගේම ගානියා බැස්ටියන් සහ ක්‍රිෂාන්ත කුරේ මහතා සමඟ දුරකථන සංවාද සිදුවී තිබෙන බව පොලිස් විමර්ශනවලදී හෙළි වී තිබෙනවා.

අඩුආදායම්ලාභී පවුල්වල දරුවන්ට රැකියා අවස්ථා ලබාදීම ආරම්භ කර තිබෙනවා. ඒ නිසා වයස 18- 45 අතර තරුණ ප්‍රජාවට ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා අයැදුම්පත්‍ර ලබාගැනීමට හැකියාව තිබෙනවා. පසුව පවත්වනු ලබන සම්මුඛ පරීක්ෂණයක් හරහා පෙබරවාරි අවසාන වනවිට ඒ කටයුතු සිදුකරන්න බලාපොරොත්තු වෙනවා. ඒවගේම පක්ෂ පාට බේදයකින් තොරව උපාධිධාරීන්ට රැකියා අවස්ථා ලබාදෙන්න ඉදිරි මහමැතිවරණයට පෙර කටයුතු කරනවා.

චන්දිමා කරුණාරත්න

නව අදහස දක්වන්න