නොරොච්චෝල දෙවැනි අදියර ප්‍රමාදයෙන් දිනකට මිලියන 250ක පාඩුවක් | දිනමිණ


 

නොරොච්චෝල දෙවැනි අදියර ප්‍රමාදයෙන් දිනකට මිලියන 250ක පාඩුවක්

චමීර ඇල්ලදෙණිය

නොරොච්චෝලේ ගල් අගුරු බලාගාරයේ 02 වැනි අදියර ක්‍රියාත්මක කිරීම ප්‍රමාද කිරීම නිසා ලංකා විදුලි බල මණ්ඩලයට දෛනිකව රුපියල් මිලියන 250ක පාඩුවක් සිදු වේ.

ලංකා විදුලිබල මණ්ඩලයේ අලාභය සම්බන්ධයෙන් සිදු කරන ලද වාර්තාවේ මේ කරුණු අතුළත් අතර, නොරොච්චෝලේ දෙවැනි අදියර ක්‍රියාත්මක කිරීමට ප්‍රමාදවීමට හේතුව රාජ්‍ය ආයතන තුනක් තුළ ඇති කඹ ඇදිල්ලක් බව සඳහන් වේ. මේ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වන ලෙස ලංකා විදුලිබල මණ්ඩලයේ ඉහළ පෙළේ නිලධාරීන් ඇමැතිවරයාට වාර්තාව ලබාදෙමින් පැවසූහ.

ලංකා විදුලි බල මණ්ඩලය, මහජන උපයෝගීතා කොමිසම හා සුනිත්‍ය බලශක්ති අධිකාරිය යන ආයතන තුන එකට සිට තීරණ ක්‍රියාත්මක කරන්නැයි විදුලි බල හා බලශක්ති ඇමැති මහින්ද අමරවීර මහතා නිලධාරීන්ට දැනුම් දුන්නේය.

ඛනිජ තෙල් අමාත්‍යාංශයේ දී විදුලි බල ව්‍යාපෘති ආරම්භ කිරීම වෙනුවෙන් සාකච්ඡාවක් පැවැති අතර, විදුලි බල පනතේ අඩු ලුහුඩුකම් ඇතොත් ඒවා සංශෝධනය කර දී විදුලිබල ව්‍යාපෘති කඩිනමින් ආරම්භ කිරීමට අවශ්‍ය පරිසරය සකසා දෙන බවද ඇමැතිවරයා කීය.

මේ වසර තුළ නොරොච්චෝලේ ගල් අගුරු බලාගාරයේ දෙවැනි අදියර හා කෙරවලපිටිය LNG බලාගාරයේ ද ඉදි කිරීම් ආරම්භ කිරීමට නියමිතය. මේ බලාගාර දෙකෙන් ජාතික විදුලි පද්ධතියට මෙගවොට් 600ක විදුලි ධාරිතාවක් එක්වේ. එම නිසා පළමුවෙන්ම නොරොච්චෝල ගල් අගුරු බලාගාරය ඉදි කිරීමේ කටයුතු අරඹන්නැයි ද ඇමැතිවරයා දැනුම් දුන්නේය.

පසුගිය රජයේ වසර පහක කාලය තුළ එක් විදුලි බලාගාරයක් හෝ ක්‍රියාත්මක නොකිරීමට පියවර ගැනීම නිසා අද වන විට සමස්ත විදුලි අවශ්‍යතාව සැපයීමට ලංකා විදුලි බල මණ්ඩලයට නොහැකි වී තිබේ. ජාතික විදුලි බල පද්ධතිය තුළට ඉදිරි කාලය තුළ හැකි තරම් පුනර්ජනනීය විදුලිබලය ආශ්‍රිතව අමතර විදුලි ධාරිතාවන් එක් කිරීම කෙරෙහි අවධානය යොමු කිරීමටත්, දැනට හඳුනාගෙන ඇති හා අනුමැතිය ලබා දී ඇති පුනර්ජනනීය විදුලි බල ව්‍යාපෘති ඉතාමත් ඉක්මනින්ම ආරම්භ කිරීමටත් තීරණය විය.

ජාතික විදුලි පනතේ වගන්තිවල සිර වී නොසිට විදුලිබල පද්ධති ක්‍රියාත්මක කිරීම සඳහා වගකීම් පවරා ඇති ආයතන වෙන් වෙන් වශයෙන් නොව එකට සිට තීන්දු තීරණ ගන්නා ලෙසත්, අන්‍යෝන්‍ය වශයෙන් යම් යම් විවේචන තිබුණත්, ජාතික අවශ්‍යතාවක් සේ සලකා කටයුතු කරන්නැයි ද, නෛතික වශයෙන් මතුවන කාරණාවල දී රජය විසින් නීතිපති ඇතුළු නීතිපති දෙපාර්තමේන්තුව දැනුම්වත් කර ඊට අවශ්‍ය සහයෝගය ලබා ගත හැකි බවත් ඇමැතිවරයා අවධාරණය කළේය.නොරොච්චෝල ගල් අගුරු බලාගාරයේ තුන්වැනි අදියරේ ඉදිකිරීම් කටයුතු ප්‍රමාදවීම නිසා මේ වනවිට දිනපතා රුපියල් මිලියන 250ක පාඩුවක් ලංකා විදුලි මණ්ඩලයට සිදු වෙතැයි එහි නිලධාරීන් තමන්ට වාර්තා කර ඇතැයි කී ඇමැතිවරයා රටේ ප්‍රධාන රාජ්‍ය ආයතනයකට සිදුවන මෙවැනි අති දැවැන්ත පාඩුවක් හරහා එම ආයතනය බරපතළ ගැටලුවකට මුහුණ දෙන බවද කීය.

ඇමැතිවරයාගේ ඉල්ලීම පරිදි ඉදිරි කටයුතුවල දී එක්ව තීන්දු තීරණ ගැනීමට එම ආයතන තුනේ නිලධාරීහු එකඟත්වය පළ කළහ.මේ අවස්ථාවට ලංකා විදුලි බල මණ්ඩලය, සුනිත්‍ය බලශක්ති අධිකාරිය හා මහජන උපයෝගිතා කොමිසමේ ඉහළ නිලධාරීහු සහභාගි වී සිටියහ.

 

නව අදහස දක්වන්න