පුටින් සහ ට්‍රම්ප් දෙන්න දෙපැත්තේ | දිනමිණ


 

පුටින් සහ ට්‍රම්ප් දෙන්න දෙපැත්තේ

ජනාධිපති ට්‍රම්ප්ට එරෙහිව විපක්ෂය දෝශාභියෝගය රැගෙන ආවේ යුක්රේනය සමඟ සිදුකළ දුරකතන සංවාද කිහිපයක් මුල්කර ගනිමිනි. එහෙත් එය බරපතළ ලෙස සැලකිල්ලට ගෙන නැති බවක් සෙනෙට් සභිකයන්ගේ ක්‍රියා කලාපයෙන් ඉතා පැහැදිලිය. ඉකුත් බ්‍රහස්පතින්දා එය විවාදයට ගන්නා විට අවම වශයෙන් ඩිමොක්‍රටික් සභිකයන් 9 දෙනෙක් සහ රිපබ්ලිකන් සභිකයන් 22 දෙනෙක් සභා ගැබේ නොසිටියහ. ඇතැම් අය පොතක් කියවමින් කාලය ගෙවා දමනු ද දැකිය හැකි විය.

රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් ඉදිරිපත් කළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධිත කෙටුම්පත ÒඩුමාÓ හෙවත් එරට පාර්ලිමේන්තුව ඒකච්ඡන්දයෙන් සම්මත කළේය. නි‍යෝජිතයන් 432 දෙනාම ඊට පක්ෂව ඡන්දය ප්‍රකාශ කිරීම විශේෂ කාරණයකි. කොමියුනිස්ට් පක්ෂයේ නායක ගෙනඩි ෂුහනොව් සංශෝධන කිහිපයක් යෝජනා කළ අතර පෙබරවාරි 11 වැනිදා එය දෙවැනිවර කියවන විට එම සංශෝධන ද ඇතුළත් කරනු ඇතැයි විශ්වාසය පළ කළේය. කෙටුම්පත අවස්ථා 3 කදී කියවා සම්මත කරගත යුතුය. දෙවැනි සහ තුන්වැනි වට ද ‍මෙලෙසම ජය ගැනීමට හැකිනම් එය විශාල ජයග්‍රහණයකි. පළමු වටයේදී එය ඒකච්ඡන්දයෙන් සම්මත වීමෙන් පෙනෙන්නේ මෙම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ පාර්ලිමේන්තුවේ පක්ෂ - විපක්ෂ සියලු දෙනා පිළිගන්නා බවය. කතානායක යෂෙස්ලාව් වොලොදින් කියා සිටියේ මෙය එක්සත් බව ප්‍රබල ලෙස ප්‍රකාශයට පත්වූ අවස්ථාවක් බවයි.

රුසියාවේ වත්මන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ක්‍රියාත්මක වූයේ 1993 සිටය. වොරිස් යෙල්ට්සින් ජනාධිපතිවරයා සිය බලතල වැඩි කිරීමට දැරූ ප්‍රයත්නයත් සමඟ ඔහු හා පාර්ලිමේන්තු මන්ත්‍රීවරු අතර මත ගැටුම් ඇතිවිය. වත්මන් ව්‍යවස්ථාව ඉදිරිපත් වූයේ එම අර්බුදය විසඳාගැනීම වෙනුවෙනි.

ජනාධිපති පුටින් නව ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ පිළිබඳ දැනුම් දුන්නේ සාම්ප්‍රදායිකව වාර්ෂිකව සිදුවන ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව ඇමතීමේ අවස්ථාවේදී එම කතාවේ අවසන් විනාඩි කිහිපය තුළදීය. ඔහු ඒ බව ප්‍රකාශ කර පැය කිහිපයක් ගතවන විට අගමැති දිමිත්‍රි මෙඩ්වදෙව් ප්‍රමුඛ ආණ්ඩුව ඉල්ලා අස්විය. අගමැතිවරයා කියා සිටියේ ප්‍රතිසංස්කරණ සිදුකිරීමට අවශ්‍ය අවකාශය ජනාධිපතිවරයාට ලබා‍ දෙමින් එම තීරණය ගත් බවය. එමඟින් නව කැබිනට් මණ්ඩලයක් පත්කිරීමට ජනාධිපති පුටින්ට අවස්ථාව සැලසිණි. ජනාධිපතිවරයාගේ දීර්ඝකාලීන සමීපතමයකු වන මෙඩ්වදෙව් වෙත රාජ්‍ය කවුන්සිලයේ නියෝජ්‍ය ප්‍රධානී තනතුර පිරිනැමිණි. රාජ්‍යයේ ආරක්ෂාව පිළිබඳ කාර්යයන්හි වගකීම පැවරෙන්නේ ද මෙම කවුන්සිලයටය. එමෙන්ම නව ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ මඟින් දැනට ජනාධිපතිවරයා සතු ඇතැම් ප්‍රධාන බලතල රාජ්‍ය කවුන්සිලයට හා පාර්ලිමේන්තුවට පවරාදීම ද සිදුවේ.

නව ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ

රුසියාවේ නව අගමැතිවරයා වශයෙන් ජනාධිපති පුටින් තෝරාගත්තේ හිටපු බදු නිලධාරියකු වන මිඛයිල් මිෂස්තින් ය. එම පත්වීම ඉකුත් සතියේදී ඩුමාව විසින් අනුමත කෙරිණි. යෝජිත ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් නව අගමැතිවරයා කිසිදු ආකාරයකින් හෝ ජනාධිපතිවරයාට අභියෝග නොකරනු ඇත යන්න විශ්ලේෂකයන්ගේ අදහසය.

නව ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ මඟින් ජනාධිපති ධුරය දැරීමේ වාර ගණන දෙවරකට සීමා කර ඇත. එය කඩින්කඩ වුවද එක දිගටම වුවද වෙනසක් නොවේ. ඊට අමතරව ජනාධිපතිවරයා සතු ඇතැම් බලතල පාර්ලිමේන්තුව හෝ වෙනත් යාන්ත්‍රණයක් වෙත පැවරීමට ද නියමිතය. විශ්‍රාමිකයන්ගේ වේතන ඉහළ නැංවීම, ජීවන වියදමට සරිලන පරිදි වැටුප් වැඩිවීම් ආදී ප්‍රගතිශීලී යෝජනා ගණනාවක්ම ඊට අන්තර්ගතය.

පුටින් විවේචනය කරන අය මෙම ප්‍රතිසංස්කරණ ඔහු සිය බලය වැඩිකර ගැනීම සඳහා රැගෙන ආ බව අදහස් කළද ජනාධිපති බලතල වැඩිකර ගැනීමක් ඉන් සිදුව නැති බව පෙනෙන්නට තිබේ. කෙසේ වුවද, ඇතැම් විශ්ලේෂකයන්ගේ අදහස් භූගෝලීය වශයෙන් ලොව විශාලම රාජ්‍ය මෙන්ම ලොව ප්‍රබලම න්‍යෂ්ටික බලවතුන් දෙදෙනාගෙන් අයෙකු වන රුසියාව සම්බන්ධයෙන් පුටින්ගේ නායකත්වය හෝ මැදිහත්වීම එහි ගැබ්ව තිබිය හැකි බවය.

ජනාධිපති පුටින් 67 හැවිරිදිය. 1999 දී පළමු වරට රුසියාවේ බලයට පත්වන විට ඔහු 47 හැවිරිදි වියේ පසුවිය. එවක් පටන් මේ දක්වා අගමැති හෝ ජනාධිපති යන භූමිකා දෙකෙන් එකක් දරමින් ඔහු රුසියාවට නායකත්වය දෙමින් සිටී.

ව්‍යවස්ථාව අනුව එක දිගට තුන්වරක් බලයේ සිටීමේ හැකියාවක් නැති බැවින් ඔහු අගමැති වශයෙන් පත්වී ජනාධිපති ධුරය මෙඩ්වදෙව්ට පැවරීය. ඊළඟ වතාවේ යළිත් ජනාධිපති ධුරයට පත්විය. 2024 වර්ෂය දක්වා ජනාධිපති ධුරය දැරීමට ඔහුට හැකියාව තිබේ. පුටින්ගේ විරුද්ධවාදීන්ගේ අදහස හිටපු කේ. ජී. බී. නිලධාරියකු වන ඔහු ඉන් ඔබ්බට ද බලයේ සිටීමේ අභිලාෂය ඇතිව ක්‍රියාකරන බවය. ඇතැම් විශ්ලේෂකයන්ගේ අදහස ජාතියේ පියා වැනි අභිදානයකට ඔබින අයුරින් ඔහු ක්‍රියාකරමින් ඇති බවය.

පුටින්ගේ නව ආණ්ඩුවේ අගමැති මණ්ඩලයේද කලින් ආණ්ඩුවේ සිටි සමීප මුහුණු ගණනක් දැකිය හැකිය. ආරක්ෂක, විදේශ කටයුතු, මුදල්, කෘෂිකර්ම, බලශක්ති ආදී ඇමැති තනතුරුවල වෙනසක් සිදුව නැත. ආර්ථික කටයුතු ඇමැති ධුරයේ සහ පළමු උප අගමැති ධුරයේ වෙනසක් සිදුව තිබේ.

නව ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ මඟින් සිදුවන ප්‍රධාන කාර්යයක් නම් පුරවැසියන්ගේ සුබසාධනය සැලසීම හා රුසියාව තවදුරටත් ශක්තිමත් රාජ්‍යයක් ලෙස ඔසොවා තැබීම බව ජනාධිපති පුටින් නව ආණ්ඩුව වැඩ අරඹන අවස්ථාවේ ප්‍රකාශ කළේය. එමෙන්ම ඒවා සපුරාගත හැකි ඉලක්ක බව තමන්ට හොඳටම විශ්වාස බව ද ඔහු කියා සිටියේය. මෙහිදී ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේ ආණ්ඩුකරණයේදී ඉතා තුලනාත්මකව එය ගෙන යාමට හැකි වූ බවය. කලින්ද ආණ්ඩුවේ කටයුතු කළ දක්ෂයන් නව ආණ්ඩුවේ ද වගකීම් දරන බව ඔහු සඳහන් කළේ සිය කණ්ඩායමට අභියෝග ජය ගැනීමේ හැකියාව ඇති බව දැක්වීමට මෙනි.

විවේචකයන් කවරක් ප්‍රකාශ කළද කොමියුනිස්ට් පක්ෂය නියෝජනය නොකරමින් බලයට පත්ව, සීතල යුද්ධයේ නිමාවත් සමඟ දුෂ්කරතා හා අභියෝගවලට මුහුණ දෙමින් සිටි රුසියාව යළි ලොව ප්‍රබල රාජ්‍යයක් ලෙස ඔසොවා තැබුවේ ජනාධිපති ව්ලැදිමීර් පුටින්ය. වසර ගණනාවක් තිස්සේ ලොව බලසම්පන්නම පුද්ගලයන් අතර සිටින පුටින් එම ලැයිස්තුවේ ඉහළම තැනට ද පැමිණියේය.

ට්‍රම්ප්ට එරෙහි දෝෂාභියෝගය

අමෙරිකාව පමණක් නොව සෙසු ලෝකය ද මේ දිනවල අවධානයෙන් සිටින ප්‍රමුඛ කාරණයක් නම් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව ඉදිරිපත්ව ඇති දෝෂාභියෝගයයි.

සෙනෙට් මණ්ඩල හමුවේ එය විවාදයට ගැනෙමින් තිබියදී සෙනෙට් සභිකයන් ඇතැමෙක් නිදිකිරා වැටෙමින් සිටි බව ද, තවත් අය ජංගම දුරකථනවලින් වීඩියෝ ක්‍රීඩාවල යෙදෙමින් සිටි බව ද බී. බී. සී. ය වාර්තා කළේය. කඩදාසිවලින් තැනූ ජෙට් යානයක් සභාවට ඉහළින් පියාසර කළ අවස්ථාවන් ද තිබිණි.

දෝෂාභියෝගය මඟින් මූලිකව නඟන චෝදනාව අමෙරිකානු ප්‍රජාතන්ත්‍රවාදයට හානි සිදුවන අයුරින් ජනාධිපති ට්‍රම්ප් බලය අවභාවිත කර ඇති බවය. දෝෂාභියෝග විවාදය දීර්ඝ එකක් වීම ද සෙනෙට් සභිකයන් මෙවැනි හැසිරීම් පළකරන්නට හේතුවක් වන්නට ඇත. එමෙන්ම තමන් ඊට උනන්දුවක් නොදක්වන්නේ යන පණිවිඩය ලබාදීම ද ඔවුන් අපේක්ෂා කළා විය හැකිය. මෙහිදී සෙනෙට් සභිකයන් ක්‍රියාකරන්නේ දෝෂාභියෝග විභාගයේ ජූරි සභිකයන් වශයෙනි. ජනාධිපතිවරයා චෝදනාවලට වරදකරු යැයි සෙනෙට් මණ්ඩලය තීරණය කළහොත් ඔහු ධුරයෙන් නෙරපනු ඇත. මෙවැනි අවස්ථාවක ඊට පෙර ඉල්ලා අස්වීමේ හැකියාව ද ජනාධිපතිවරයාට තිබේ. වෝටර් ගේට් අපවාදය හමුවේ ජනාධිපති රිචඩ් නික්සන් ගත්තේ එම පියවරය. ඔහුට එරෙහිව දෝෂාභියෝග යෝජනාවක් ඉදිරිපත් වීමට පෙර ඔහු ගෙදර ගියේය. එසේ වුවද ජනාධිපති ට්‍රම්ප් එවැනි පියවරක් නොගන්නා බව ඉතා පැහැදිලිය.

ස්විට්සර්ලන්තයේ ද වෝස් හි පැවැත්වෙන ලෝක ආර්ථික සංසදයේ සමුළුවට සහභාගිවීම සඳහා ගොස් සිටින ට්‍රම්ප්, එහිදී ප්‍රකාශ කළේද මෙම චෝදනා අසත්‍ය මෙන්ම පදනම් විරහිත ඒවා බවයි.

සෙනටයේ හැසිරීම

ජනාධිපති ට්‍රම්ප්ට එරෙහිව විපක්ෂය මෙම යෝජනාව රැගෙන ආවේ යුක්රේනය සමඟ සිදුකළ දුරකතන සංවාද කිහිපයක් මුල්කර ගනිමිනි. එහෙත් එය බරපතළ ලෙස සැලකිල්ලට ගෙන නැති බවක් සෙනෙට් සභිකයන්ගේ ක්‍රියා කලාපයෙන් ඉතා පැහැදිලිය. ඉකුත් බ්‍රහස්පතින්දා එය විවාදයට ගන්නා විට අවම වශයෙන් ඩිමොක්‍රටික් සභිකයන් 9 දෙනෙක් සහ රිපබ්ලිකන් සභිකයන් 22 දෙනෙක් සභා ගැබේ නොසිටියහ. ඇතැම් අය පොතක් කියවමින් කාලය ගෙවා දමනු ද දැකිය හැකි විය. කෙසේ වුවද, නිදිකිරා වැටුණු බවට චෝදනා එල්ල වූ ඇතැම් සභිකයන් කියා සිටියේ තමන් දෑස් පියාගෙන අවධානයෙන් ඊට සවන් දෙමින් සිටි බවය. ඇතැම් මාධ්‍ය ඔවුන් එසේ දෑස් වසාගෙන සිටි විනාඩි ගණන පවා වාර්තා කර තිබිණි.

අමෙරිකා ඉතිහාසයේ මේ දක්වා කිසිදු ජනාධිපතිවරයකු දෝෂාභියෝගයක් මඟින් ඉවත් කර නැත. මෙවරද ‍එවැනි හැකියාවක් නැති බව බොහෝදුරට පැහැදිලි කාරණයකි. සෙනෙට් සභිකයන්ගේ හැසිරීම්වලින් පළකෙරෙන සංඥාවද එවැන්නකි. සාමාන්‍යයෙන් ජංගම දුරකතන, ලැප්ටොප්, ටැබ්ලට් පරිගණක ආදිය සභා ගැබ තුළට රැගෙන ඒම අනුමත නොකෙරේ. සම්ප්‍රදාය එය වුවද නිරන්තරයෙන් එය උල්ලංඝනය වනු දැකිය හැකිය. මේ තත්ත්වය සාමාන්‍ය දෙයක් බවට පත්ව තිබුණද මෙවර එය විශේෂයෙන් මාධ්‍ය අවධානයට ලක්විය. එමෙන්ම මෙවැනි විභාගයක් පවත්වන අවස්ථාවක ජනමාධ්‍යයට සභාවට පිවිසීමට ඇති අයිතිය ද දැඩිව සීමා කෙරේ.

අමෙරිකා ඉතිහාසයේ දෝෂාභියෝගයකට මුහුණ දුන් තුන්වැනි ජනාධිපතිවරයා ඩොනල්ඩ් ට්‍රම්ප්ය. මෙවැනි යෝජනාවක් සම්මත වීමට නම් ඊට 2/3 අනුමැතියක් ලැබිය යුතුය. බහුතර රිපබ්ලිකන් නියෝජනයක් සහිත සෙනෙට් මණ්ඩලයේදී එය සම්මතවීමට හැකියාවක් නැති බව පෙනෙන්නට තිබේ. රිපබ්ලිකන් නියෝජිතයන් පමණක් නොව ඩිමොක්‍රටික් නියෝජිතයන් ඇතැමෙක් ද එක්කෝ ඊට එරෙහිව ඡන්දය ප්‍රකාශ කිරීමට හෝ ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළැකී සිටීමට ඉඩ තිබේ. ජනාධිපති ට්‍රම්ප් මෙය අභියෝගයක් ලෙස බාරගත් බවක් ද පෙනෙන්නට නැත.

ධම්මික සෙනෙවිරත්න

නව අදහස දක්වන්න